නිකාය කාරක සභා ගන්නා වූ පියවර කුමක් ද? | සිළුමිණ

නිකාය කාරක සභා ගන්නා වූ පියවර කුමක් ද?

 තෙල්දෙණියේ දී තරුණයන් පිරිසක් අතින් පහර කෑ සිංහල තරුණයා මාර්තු මස තුන්වැනි දා මිය ගියේ ය. ඒ කාලය තුළ කිසිම වාර්ගික නොසන්සුන්තාවක් පැන නොනගින්නේ එය අසංවර හා අවිනීත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් ලෙස සැලකූ නිසා විය හැකිය. එහෙත් මියගිය තරුණයාගේ මෘත දේහයට අවසන් ගෞරවය දක්වන්නට මාර්තු හතර වැනිදා ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව පැමිණෙන්නේ ය. ඊට පැය කිහිපයකට පසුව වාර්ගික ගැටුම් හට ගනී.

මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථානයන්ට හා නිවෙස්වලට පහර එල්ල කරන අතර ඒ ප්‍රකෝපකාරීහු පොලිසි අත්අඩංගුවට පත් වෙති. එහෙත් පසුදින පොලීසියට පෙළපාලියකින් යන පිරිස අත් අඩංගුවට ගත් පිරිස නිදහස් කරන්නැයි බල කෙරේ. ඒ අතර කුප්‍රකට භික්ෂූන් වන ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ද අම්පිටියේ සුමන හිමි ද ක්‍රියාකාරීව කටයුතු කළහ. උන්වහන්සේලාගේ උත්සාහය වූයේ මුස්ලිම්වරුන්ගේ දේපළ වලට හානි කළැයි චෝදනා මත අත් අඩංගුවට ෙගත් සිංහල මැරයන් නිදහස් කර ගැනීමයි. එම නොසන්සුන්තාව මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිර ගිය අතර දෙපාර්ශ්වයේ ගැටුම් පාලනය කිරීමට ආරක්ෂක අංශ අසමත් විය.

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ජන කොටස් අතර බෞද්ධ භික්ෂූන් සිටි අතර එක් භික්ෂුවක් හඩ නගා පවසන්නේ "මන්නය තියෙන්නේ කොස් කොටන්න ද" යන්නයි. මේ තරුණ භික්ෂූන්ට නායකත්වය දෙන්නේ ඉහ නිකට පැසී ඇති භික්ෂූන් විසිනි. මේ භික්ෂූන්ට කුමන ආණ්ඩුව බලයට පත් වුවත් තම ආධිපත්‍යමවාදී හැසිරීම පවත්වාගෙන ගෙන යෑමට කිසිම බාධාවක් එල්ල නොවේ. වර්ගවාදී ලෙස කටයුතු කරමින් වාර්ගික අගතිය ඇතිවන ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ නීතිය ද අක්‍රීය වේ.

විවිධ නම්වලින් ක්‍රියාත්මක වන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් විසින් සෑහෙන කලෙක සිට සරු පසක් නිර්මාණය කරන ලදි. ඒ පසෙහි වර්ගවාදී හැඟීම් යහමින් පෝෂණය විය. ඒ නිසා "ඕකුන්ට පහරදීම කොච්චර උනත් හොඳ වැඩක්" යන අදහස බොහෝ සිංහලයන් තුළ ඇති විය. ඊට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මේ භික්ෂූන් විසින් වර්ධනය කළ වාර්ගික සැක සංකා හා ප්‍රති විරෝධයයි. දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ විධි විධාන සංග්‍රහය අනුව මෙවැනි භික්ෂූන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකි වුවත් ඒ සම්බන්ධයෙන් රජය කිසිම පියවරක් නොගැනීම ශෝචනීය ය.

ගිය වසරේ නොවැම්බරයේ දී ගාල්ලේ ගිංතොට ඇතිවූ වාර්ගික නොසන්සුන්තාව ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය කිරීම පිටුපස ද සිටියේ අන්තවාදී බෞද්ධ භික්ෂූන්ය. ගාල්ලේ සිංහල බෞද්ධ සමාජය තුළ පිළිගැනීමක් සහිත භික්ෂූන් ප්‍රචණ්ඩත්වය වැපිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට බලධාරීහු බිය වූහ. එවිට මහජන නොසන්සුන්තාවක් ඇතිවිය හැකි නිසා එය නුසුදුසු ක්‍රියාවක් බව බලධාරීහු කල්පනා කළහ.

මෙවැනි භික්ෂූන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වන්නේ රජය පමණක් නොවේ. බෞද්ධ භික්ෂු සංවිධානය ද ඒ සම්බන්ධයෙන් මුනිවත රකී. බෞද්ධ භික්ෂූන්ගේ විනය පාලනය වන්නේ ඒ ඒ භික්ෂූන් අයත් වන නිකාය කාරක සංඝ සභාවන් මගින් ය. එහෙත් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි හෝ අම්පිටියේ සුමන හිමි යන බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් කිසිම විනය පියවරක් ඒ ඒ නිකායන් විසින් ගන්නා බවක් පෙනෙන්නට නොමැත. වරක් මහ නායක හිමිවරුන් හමුවන්නට ගිය ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව ඇමතූ උන් වහන්සේල දිරිදෙන ප්‍රකාශ කළා මිස විනය ආරක්ෂා කිරීමට කිසිම පියවරක් නොගත්හ. පසු අවස්ථාවක සියම් මහ නිකායේ උභය කාරක සංඝ සභාව ඒකාබද්ධව නිකුත් කළා යැයි කියූ නිවේදනය මගින් ද ප්‍රතිචාර දැක්වූයේ සමාජ කොටස් මැර භික්ෂූන්ට ගෞරව නොකිරීම සම්බන්ධයෙන් පමණි. භික්ෂූන් මැර හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායකවීම උන් වහන්සේලාට ගැටලුවක් නොවූ තරම් ය.

සිවුරක් දැරූ පළියට පුද්ගලයකු භික්ෂුවක් වන්නේ නැත. කෙනෙක් විනය ධර ධර්ම ධර ශීලයක් සමාදන්ව ඒ අනුව කටයුතු කරන්නේ නම් පමණක් භික්ෂුවක් වන්නේ ය. සිල්වත් භික්ෂුවකට සමාජය දක්වන ගෞරවය මැර හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වන සිවුරුධාරීන්ට දැක්විය යුතු නැත. එහෙත් කාරක සංඝ සභාවන් උනන්දු වන්නේ මැර හා ප්‍රචණ්ඩ සිවුරුධාරීන්ට සමාජය ලවා ගෞරවය ලබා ගැනීමට මිස විනය ගරුක සංඝ සමාජයක් පවත්වාගෙන යෑමට නොවේ.

අබරන්

අදහස්