කොළඹ කුඩු පාතාලය මැඩ සංහිඳියාව වර්ධනයට පාපන්දු ක්‍රීඩාව නඟාසිටුවනවා | සිළුමිණ

කොළඹ කුඩු පාතාලය මැඩ සංහිඳියාව වර්ධනයට පාපන්දු ක්‍රීඩාව නඟාසිටුවනවා

 ඔහු මොහොමඩ් අක්‍රම්ය. පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සිය ජීවිතයේ කැපකිරීම් කළ ක්‍රීඩකයෙකි. ජාතික තලයට පැමිණීම නොහැකිවූයේ ආර්ථික අඟහිඟතා ඔහුට බලපෑම් කළ හෙයිනි. ඒ වෙනුවට ඔහු කළේ තමන් ආර්ථිකයෙන් ශක්තිමත් වූ පසු දේශීය පාපන්දු නගාසිටුවීමට උත්සුක වීමය. කලක් පාපන්දුවෙන් ඈත්ව සිටි ඔහු යළි පාපන්දුව සමඟ එක්වීමේ තීරණය සමඟ අපි සිළුමිණ ක්‍රීඩාවේ මුල් පිටුව වෙනුවෙන් ඔහු හා සම්මුඛ වීමු.

මොකක්ද ඔබට පාපන්දු එක්ක තියෙන බැඳීම?

ඒක මගේ පුංචි කාලය දක්වා දිවෙනවා. මම ජාතික තලයේ ඉන්න ඕනෑ ක්‍රීඩකයෙක්. ඒ බැඳීම තමයි මගේ තවමත් තියෙන්නේ.

ඇයි ඔබ ජාතික තලය ස්පර්ශ නොකළේ?

මට මුදල් අඟ හිඟතා තිබුණා. ඉතිං මට පාපන්දු වෙනුවට ව්‍යාපාරික ජීවිතය තෝරාගන්න වුණා.

ඊට පස්සේ යළි පාපන්දු එක්ක එක්වෙන්නෙ?

රොජර්ස් ක්‍රීඩා සමාජය හදලා. අපි පාපන්දු ක්‍රීඩාවේ හුඟක් දුර යන්න සමත්වුණා.

දුර කියන්නෙ?

ජයග්‍රහණ රැසක්. ජාතික තලයේ ක්‍රීඩකයන් අපේ කණ්ඩායමේ හිටියා.

ඊට පස්සෙ?

කාලයත් එක්කම යළිත් රටේ ක්‍රීඩාව වැටුණ. අපිත් ක්‍රීඩාවෙන් ඈත් වුණා.

දැන් යළි එක්වෙන්න තීරණය කළේ?

මට ආපහු වැටහුණා පාපන්දුව බොහෝදේ කරන්න සමත් කියලා. ඒ නිසා මම ඒකත් එක්ක වැඩකරන්න තීරණය කළා.

ඒ කියන්නේ මොකක්ද කරන්නෙ?

රොජර්ස් ක්‍රීඩා සමාජය ආපහු වැඩ පටන් ගන්නවා. ජාත්‍යන්තර තලයේ කණ්ඩායමක් නිර්මාණය කිරීම තමයි සැලසුම.

කරන්න පුළුවන් වෙයිද,

ඇයි බැරි? කොළඹ කොච්චර දක්ෂ ළමයි ඉන්නවද?

කවුද ඒ?

සිංහල, මුස්ලිම්, දෙමළ අය මිශ්‍ර කණ්ඩායම් වලින් අපිට හුඟාක් හොඳ කණ්ඩායමක් හදන්න පුළුවන්.

ඒ කියන්නේ සංහිඳියා කණ්ඩායමක්?

ඉස්සරත් මේ සංහිඳියා කණ්ඩායම හිටියා. ඒක සංහිඳියා කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. කොහොමත් මුස්ලිම් විතරක් සාර්ථක කණ්ඩායමක් හදන්නත් බෑ. ඒක සාර්ථක වෙන්නේ හොඳ සම්මිශ්‍රණයක් තියෙනවා නම්. මම හදන්නේ එය හදන්නයි.

එහෙම කරද්දී ජාතික සමගිය ගැනද ඔබ කතාකරන්න හදන්නෙ?

අපි ජාතික සමගිය වෙනුවෙන් කොහොමත් වැඩකරනවා. මෙතැනදී ඊටත් අමතරව තමත් අරමුණක් තියෙනවා.

ඒ මොකක්ද?

කොළඹ නගරයේ ඉන්න පාතාලය, කුඩු පරාජය කරන්න. සෞඛ්‍ය සම්පන්න තරුණ පරපුරක් හදන්න. ඉක්මනින් සල්ලි හොයලා කෙටිකාලයකින් විනාශ නොවෙන තාරුණ්‍යයක් නිර්මාණය කරන්න ආණ්ඩුවට උපකාර කරන්න.

කොළඹ මේ දේවල් කරන්න ආණ්ඩුව උදව් කරයිද?

ඇයි නැත්තෙ. නගරාධිපතිනී රෝසි සේනානායක මැතිණිය මම හොඳින් අඳුනනවා. ඇයට වැඩක් කරන්න ඕනෑ දේශපාලන චරිතයක්.

මොකක්ද ඔබ ඇය සමඟ කරන්න යන්නෙ?

කොළඹ තියෙන පාපන්දු ක්‍රීඩා පිටි සංවර්ධනය කරනවා. ක්‍රීඩකයන්ට හවසට ගිහින් ක්‍රීඩා කළ හැකි පාර්ක් ටික ශක්තිමත්ව හදලා දෙන එක තමයි මගේ එක උවමනාවක් වෙන්නෙ.

ඔබ මේ විධිහට ජාතික පාපන්දු පරිපාලනයටත් අත ගහයි වගේ?

අනේ නෑ. මම කාලයක් ඔතනට එන මගේ හිටියා. දැන් මට එහෙම කිසි උවමනාවක් නෑ. හැබැයි පාපන්දුවෙන් හැදෙන්නෙ නැතිව පාපන්දුව හදන්නන බලධාරීන් උත්සුක විය යුතුයි කියලා මම හිතනවා.

ඔබ කවදද ඔය වැඩසටහන ක්‍රියාවට නංවන්නෙ?

මේ වසර ඉවර වෙන්න පෙර අපි මේ වැඩපිළිවෙල පටන් ගන්නවා. අපෙන් සමාජයට විය යුතු විශාල යුතුකමක් වශයෙනුයි මම එය සලකන්නෙ.

ඩබ්ලිව්. ආර්. කුමාර

Comments