විදුලි අර්බුදයට විසඳුම් අපේ රට තුළින්ම හොයා ගන්න පුළුවන් | සිළුමිණ

විදුලි අර්බුදයට විසඳුම් අපේ රට තුළින්ම හොයා ගන්න පුළුවන්

 වඩා ජනප්‍රිය හා ලේසියෙන් ලාභ ලබන ආකාරයේ ව්‍යාපාරයන් ගොඩ නැගීම වෙනුවට ඩීසල් හා දැවි තෙල් භාවිතා කරන ලද බොයිලේරු විශාල ප්‍රමාණයක් දර බොයිලේරු බවට පත් කිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ ජාතික කර්තව්‍යයක් ඉටුකරන ප්‍රොෆෙෂනල් මෙට් කන්සල්ටන්සි සේවා පුද්ගලික සමාගමේ සහ ප්‍රොෆෙෂනල් එකො කෙයා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. ඒ. ජස්ටින් මහතා ඉන්ධන සඳහා වැය වන විදෙස් මුදල් රටතුළ ඉතිරි කර ගන්නට හැකි ක්‍රමවේද ඕනෑතරම් මේ රට තුළම ඇතැයි පවසයි.

ඒ මහතා විසින් ස්වයං උත්සහයෙන් ගොඩනගා ඇත්තේ වඩා ජනප්‍රිය හා ලේසියෙන් ලාභ ලබන ආකාරයේ ව්‍යාපාරයන් නොවීම විශේෂම ලක්ෂණයකි.

ඕනෑ තරම් ලේහෙසි සහගත ව්‍යාපාර කටයුතු රටේ තිබියදී ඇයි ඔබ මෙම අසීරු කාර්යයට අත ගසන ලද්දේ යැයි අප නැගූ පැනයට පිළිතුරු සැපයු සභාපතිවරයා

“මම ආරම්භ කරපු ව්‍යාපාරය වානිජ ව්‍යාපාරයකට එහා ගිය ජාතික කර්තව්‍යයක් ඉලක්ක කළ එකකි. ව්‍යාපාරයක්ම කිරීම මාගේ අරමුණ වූයේනමි අද වන විට මම ඉතාමත් ඉහළ තලයේ ධනවතෙකු වීමට ඉඩ තිබියදීත් මට අවශ්‍ය වූයේ අප නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මේ රටේ ඉහළ තැනකට ආ පුද්ගලයන් ලෙස රටට සුභදායි සේවයක් කිරිමටයි.,,

රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් විදේශවිනිමය ජනනය කිරීමයි. දෙවැන්න විදේශ රට වලට ගලා යන අපගේ ධනය ආරක‍ෂා කර ගැනීමයි.

මේ අතරින් පළමු කටයුත්ත සඳහා සෑම රජයක්ම හා ජාතික වැඩසටහනක්ම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන අතර මා හිතන ආකාරයට දෙවන කටයුත්ත සඳහා අවශ්‍ය පරිදි අවධානයක් යොමු නොවේ. එබැවින් මා මේදෙවන කටයුත්ත සඳහා අත ගසන ලදී. අපරටේ ප්‍රධාන වශයෙන්ම විදේශ වෙත මුදල් ගලායන මාර්ග කිහිපයක් ඇත. එයිනුත් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ ඉන්ධන සඳහා විදේශ වෙත ගලායනු ලබන මහා ධනස්කන්දයයි. මෙම ඉන්ධන සඳහා ගලා යන ධනස්කන්ධය නතර කරගැනීම හෝ අවම කර ගැනීම හෝ කළ හැකිනම් විදේශ විනිමය ඉපයීමට වඩා වැදගත් සේවයක් ඒ තුළින් රටට වන බව මගේ හැඟීමයි. උදාහරණයක් ලෙස තම නිවසේ සිටින කුඩා දරුවෙකුට තම ගේදොර අස්කර අතුගෑමට හැකියාවක් නැත්නම් ඔහු හෝ ඇය වෙත ගෙදර දොර අපිරිසිදු නොකිරීමට ඉගැන්වීම මගින් අවශ්‍ය අරමුණ ඉටු කර ගත හැකිය.

ඉතින් මෙම කටයුත්තට අත ගැසීමේදී මා තෝරා ගනු ලැබූයේ මාගේ ක්ෂේත්‍රයට අදාල ප්‍රධාන වශයෙන් මේ රටේ ස්භාවධර්මය ආරක‍ෂා කරන අතර රටේ මුදල් ආරක‍්ෂා කරගැනීමේ ක්‍රමවේදයන් දෙකයි.

අපරටේ පවත්වාගෙන යන ව්‍යාපාරික කර්මාන්ත ආයතන අතරින් බොහොමයක් සඳහා විශාල ප්‍රමාණයේ බොයිලේරු භාවිතා කරනු ලබනවා. මෙම බොයිලේරු බොහොමයක් පවත්වාගෙන යනු ලැබුයේ ආනයනික ඉන්ධන භාවිතයෙන් වන අතර මේ සඳහා ඩීසල් හෝදැවි තෙල් හෝ බහුලව යොදා ගන්නවා. රටේ පවතින ඉන්ධන භාවිතයෙන් විශාල ප්‍රතිශතයක් මෙම කර්මාන්තශාලාවල පවත්වාගෙන යනු ලබන බොයිලේරු සඳහා භාවිතා කරනු ලබනවා.

මා විසින් මෙම නාස්තිය නවතා ලීම සඳහා අත ගසන විට ශ්‍රී ලංකාව තුළ එය පිළිබඳව එතරම් දැනුමක් නොතිබුනු අතර මාගේ අසීමිත කැප කිරීම් හා ධෛර්යය හේතුවෙන් අද වන විට ඩීසල් හා දැවි තෙල් භාවිතා කරන ලද බොයිලේරු විශාල ප්‍රමාණයක් දර බොයිලේරු බවට පත් කිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර දී ඇති ප්‍රමාණය අති විශාල වන අතර මේ සඳහා ම විසින් පිටි පිටම වසර 6 ක් සම්මානයෙන් පිදුම් පවා ලැබුවා.

අද වන විට තවත් බොයිලේරු විශාල සංඛ්‍යාවක් ඉන්ධන භාවිතයෙන් නඩත්තු වන අතර අප විසින් විශාල ප්‍රමානයේ වැඩ පිළිවෙලක් දියත් කර ඇත්තේ මෙම සියලුම බොයිලේරු දර හො වෙනත් ස්භාවික ද්‍රව්‍ය භාවිතයෙන් දහනය කර පරිසරය දූෂණය අවම කිරීම හා පිට රටට ඇදී යන ධනස්කන්ධය අවම කිරීමටයි.

මෙහිදි තවමත් අපරටේ ව්‍යාපාරිකයින් නිසි අවධානය යොමු කර ඇතැයි නොසිතන අවස්ථාවක ඔවුන් මේ සඳහා යම් කැප කිරීමක් කරන්නේ නම් සීයයට 100ක්ම ඉන්ධන බොයිලේරු වෙනුවට දර මගින් දහනය කරනු ලබන බොයිලේරු හඳුන්වා දීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිය. සමහර අයෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකියි අප දර බොයිලේරු පාවිචිචියට පෙළඹුනහොත් රටේ වන විනාශයක් සිදුවන බවට. කොහෙත්ම එසේ සිදු නොවන අතර අප විසින් ඒ සඳහා විකල්ප වගා හඳුනවා දෙන අතර මෙ ක්‍රීයාවලිය සඳහා භාවිතා කරනු ලබන්නේ රබර් හා ගිනිසීරියා දර පමණි. තවද මෙමගින් අපතේ දමන ලී කුඩු, දහයියා වැනි අපද්‍රව්‍යයන්ට මිලක් ඇති විම නිසා අමතර ආදායම් මාර්ග වැඩි දියුණු වීමට හේතුවක් වනු ඇත. ඉන්ධන බොයිලේරු වෙනුවට දැව බොයිලේරු හඳුන්වාදීමේදී ආයෝජකයින් මූලික ආයෝජනයට යම් මැලිකමක් දැක්වුවද මෙමගින් වසරකටත් අඩු කාලයක් තුළ එම ආයෝජනය කළ මුදලට වඩා ඉතිරියක් දැව භාවිතය නිසා ඉතිරිවනවා. තෙල් පරිභෝජනය නිසා වැයවු අධික මුදල ඉතිරි කර ගන්නත් මෙය මගක් වනවා. මෙවැනි වැඩ පිළිවෙලවල් සඳහා රජය හා බැංකු විසින් ආයෝජකයින් දිරිමත් කිරීමේ වැඩ පිළිවෙලවල් සකස් කරන්නේ නම් අප රටේ ආර්ථික තත්වය ඉහළ නැංවීම සඳහා මහගු ලෙස ඉවහල් වනු ඇත.

ඊට අමතරව විකල්ප බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලය විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට යොදා ගැනීමේ මහා පරිමාණ වැඩ පිළිවෙළකටත් අප යොමුවී තිබෙනවා.

ප්‍රොෆෙෂනල් එකො කෙයා නමින් පවත්වාගෙන යනු ලබන ආයතනය මා සතු ව්‍යාපාර සමූහයේ තවත් එකක් වන අතර එමගින් සූර්ය බලශක්තිය ජනනය කර රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කෙළින්ම දායක වෙමින් සිටිනවා.

මෙම ආයතනය සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් වන බැවින් මෙම ආයතනය මගින් සූර්ය බලශක්ති ප්‍රවර්ධනය කිරිම සඳහා එයට අනුමැතිය ද ලැබී ඇත. මෙම ආයතනය චීනයේ ECSOLAR සමාගම සමඟ සම්බන්ධ වී විදුලි කෝශ හා ඒ හා සම්බන්ධ අනිකුත් උපකරණ මෙරටට ගෙන්වා මෙම සූර්ය බලශක්ති උත්පාදනය සඳහා වන වැඩ පිලිවෙළ ක්‍රියාත්මක කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ පවතින විදුලි අර්බුදය සෑම විටම ඔබ අප අත්විඳ ඇති අතර මෙය වර්ෂාව නැති කාලයට වරින් වර මතුවී එය නැවත යටපත් වි යනු ලබන්නක්.

නමුත් මේ සඳහා ස්ථිර සාර විසඳුම් කරා යන්නේද කියා ජනතාව මැසිවිලි නගනු දක්නට ලැබෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව වැනි ඝර්මකාලීපීය රටවල් වලට නොඅඩුව ලැබෙන සූර්ය බලය හේතුවෙන් විදුලිය සඳහා ජලය නැතීවීම ප්‍රශ්ණයක් කර ගත යුතු නැත. අපට වසරේ දින 365 පුරාවට නොඅඩුව ලැබෙන සූර්ය බලය හරි ආකාරයෙන් යොදා ගන්නේ නම් මෙය ඉතාමත් සරළ කාරණයක් වනු ඇත.

සැම නිවසකටම විදුලි ජනනය සඳහා අවශ්‍ය වන විදුලි කෝෂ ලබා දීම මගින් නිවසේ විදුලි අතිරික්තයක් පවා ජනනය කිරීමමේ හැකියාවක් ඇති අතර දැනට රජය මගින් මෙම වැඩ පිලිවෙල ආරම්භ කර ඇතත් එය ඉතාමත් සීඝ්‍ර ලෙස වර්ධනයක් හෝ ඒ සඳහ අරමුණ කර ගැනීමක් දක්නට ලැබෙන්නේ මද වශයෙනි. තවද මේ සඳහා යන අතිවිශාල මූල්‍යමය ශක්තිය සාමාන්‍ය ජනතාව සතුව නැති අතර ඒ සඳහා රජය මගින් අනිවාර්යය ආයෝජනයක් කළ යුතුව ඇත. අපරටේ දේශපාලකයන් නිතර කියනු ලබන වැකියක් ඇත. එනම් දුප්පත් ජනතාවට බිලී පිත්තක් විනා මාලුවෙක් දීම සිදු නොකළ යුතු බවයි. අප ආයතනය වඩා උනන්දු වන්නේ මේ රට තුළ සිටින ව්‍යාපාරික ප්‍රජාව මේ සූර්ය බල ශක්ති ජනනය සඳහා දිරිගැන්විම හා ඒ තුළින් විශාල බලශත්කි ප්‍රමාණයක් ඉතිරිකරවීමයි.

මෙහිදී මූලික ආයෝජනය තරමක් විශාල වුවද රටේ ව්‍යාපාරික ප්‍රජාව හා රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වු නිෂ්පාදකයින් මේ සඳහා පෙරමුණ ගැනීම ජාතියට කරන විශාල මෙහෙයක් සහ වගකීමක් ඉටුකිරීමක් ලෙස අප සිතමු. මෙම ක්‍රියාවලිය තුළ අප සමාගම සිටිනුයේ ව්‍යාපාරයක්ම ලෙසට වඩා මෙම ජාතික අවශ්‍යතාවයන් අපගේ හදවතටම කාවැදී ඇති අතර අපගේ ලේ නහර තුළ පවා මෙම ජාතික අවශ්‍යතා වෙනුවෙන් කැක්කුමක් පවතින නිසා වෙන් බව අවංකවම කිව යුතුය.

සෑම විශාල කර්මාන්ත ශාලාවකම විශාල වහල පරාසයක් ඇති බැවින් ඒ මත සුර්යකෝෂ සවිකිරීමෙන් අමතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. කර්මාන්ත ශාලාවලට සුර්ය බල කට්ටල සවිකිරීමට මූල්‍ය ආයතන මගින් සහන පොලියට ණය නිකුත් කරන සුලභ ක්‍රමවේදයන් ඇති කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථක වනු ඇත යන්න අපගේ අදහසයි.

ජයසිරි මුණසිංහ

අදහස්