උරුමයට මුල් තැන දී සංවර්ධනය කරා යන නෙදුන්තිවු | සිළුමිණ

උරුමයට මුල් තැන දී සංවර්ධනය කරා යන නෙදුන්තිවු

 නාගදීපයට ගමන් ගන්නා කුරිකඩ්ඩුවාන් ජැටියෙන් පිටත් වූ අපි ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ පැයකට ආසන්න කාලයක් ගමන් කරමින් ඩෙල්ෆ්ට් දූපතට ළඟා වීමු. මුහුදු මඟින්ම ගමන් කර යා යුතු මෙරට ජනතා පදිංචිව සිටින විශාලතම දූපත ඩෙල්ෆ්ට් හෙවත් නෙදුන්තිවු නමින් හැඳින්වෙයි.

අතීතයේ ලන්දේසීන් විසින් අවස්ථා ගණනාවකදී මේ දූපතේ විවිධාකාර අවශ්‍යතා රැසක් ඉටු කර ගැනීම පිණිස භාවිත කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

පසු කලෙක බූරුවන් හා අශ්වයන්ද මේ දූපතට ගෙන ගොස් ඇතත් බූරුවන් ක්‍රමයෙන් දූපතෙන් ඉවත්ව ගොස් ඇත. ජනතාව පදිංචිව සිටින දූපත් අතුරින් සිය වසකට අධික ඉපැරැණි සංස්කෘතිකාංග මෙන්ම ඉපැරැණි ගෘහ නිර්මාණ කලාවත් අද දක්වාම ප්‍රායෝගික මට්ටමින් පවතින මේ දූපත කාලාන්තරයක් තිස්සේ අවධානයට යොමුව නොතිබුණු නමුත් මේ වන විට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් බවට පත්ව තිබෙන බව අපට පසක් විය.

දූපත්වල සිටින ජනතාවට තිබූ ගමන් පහසුකම් ඉතාම අල්පය.

නාගදීපයට පමණක් එයින් ප්‍රමුඛස්ථානයක් හිමිව තිබුණේ වන්දනාකරුවන් වැඩි පිරිසක් එහි මඟින් එහි ගමන් ගන්නා නිසාය. එහෙත් මේ වන විට නාගදීපය මෙන්ම ඩෙල්ෆ්ට් දූපතට සංවර්ධනයේ අරුණැල්ල වැටී ඇත‍. සංචාරකයන්ගෙන්ද දිනපතාම දූපත පිරෙන්නට පටන් ගෙන තිබේ. එයට හේතුව දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ක්‍රමයෙන් වැඩි දියුණු කිරීමයි. එමෙන්ම ජනතාවගේද බොහෝ අවශ්‍යතා මේ වන විට සපුරාලමින් තිබේ.

දූපතේ සංචාරකයන්ට නැරැඹීමට ඇති ස්ථාන රැසකි. එයින් ප්‍රධානම තැනක් ගන්නා ස්ථාන අතර කැලෑ අශ්ව භූමිය හඳුන්වා දිය හැකිය. යටත් විජිතවාසීන් විසින් ‍දූපතේ රඳවා ගෙන සිටි අශ්වයන්ගෙන් පසුකාලීනව පරම්පරාගතව බිහි වූ අශ්වයන් මේ වන විට වනගත සතුන් ලෙස ක්‍රමයෙන් හුරු වී පසුව වන අශ්වයන්ම බවට පත්ව ඇත. මේ අශ්වයන් ජල පානය කිරීම පිණිස පැමිණෙන ස්ථානය අශ්ව භූමිය ලෙස හඳුන්වනු ලැබේ. අශ්වයන් නිරතුරුවම ජලය පානයට පැමිණීම නිසා දෙස් විදෙස් සංචාරකයෝ එම ස්ථානයට නිරතුරුවම පැමිණෙති. එහෙත් සංචාරකයන් දුටු සැණින් මේ වන අශ්වයෝ හැකි ඉක්මනින් පැන දුවති. දැඩි හිරු රැස් පතිත වන කාල සමයන්හි පවත්නා අධික වියළි කාලගුණයේදී අශ්වයන්ගේ පිපාසය මේ ජල මූලාශ්‍රය සිඳී යයි. එවිට මේ වන සතුන්ගේ පිපාසය නිවාලනු පිණිස නාවික හමුදාව විසින් ජල බවුසර් මඟින් ජලය ගෙන ගොස් අශ්ව භූමියේ ජල මූලාශ්‍රයන්ට යොදවනු ලැබේ.

ක්‍රමයෙන් විශාල වන බව පවසනු ලබන ශිලා ප්‍රතිමා වහන්සේත් සංචාරකයන්ට විශේෂිතම වූ ස්ථානයකි. හින්දු බැතිමතුන්ගේ දැඩි විශ්වසනීයත්වයක් ඇති මේ ස්ථානය හින්දුන් අතර ඉහළම වන්දනයට පත් වූ ස්ථානයකි. එම පිළිමය ශිලා වුවත් එය ක්‍රමයෙන් වර්ධනය වන බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත. සංචාරකයෝ මේ ස්ථානයද නැරැඹීමට අමතක නොකරති.

එසේම මෙරට ඇති අතිවිශාල බයෝබැබ් ගස් තුනෙන් එකක් ද මේ දූපතෙහි පිහිටා ඇති අතර එය නැරැඹීමටද සංචාරකයෝඅමතක නොකරති. මේ කාල වකවානුවේදී ගසේ කොළ හැළී තිබේ. ඒ වසරේ මුල් මාසයන් වන නිසාය. මාර්තු මාසයෙන් පසුව ගසේ කොළ දළුලමින් යළි ලියලනු ඇත.

එමෙන්ම පරවි කූඩුව නමින් ලන්දේසි යුග‍යේ පිට පැවතගෙන එනු ලබන කොටුවද සංචාරකයන්ට විශේෂිත ස්ථානයකි. තවමත් ලන්දේසි යුගය සිහි ගන්වන ලකුණු එහි ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කර නොතිබීම නම් කනගාටුදායකය.

මීට අමතරව දූපතේ කෙළවරට වන්නට ඇති ලන්දේසි යුගයේ ඉඳි කළැයි පැවසෙන කණුවත් මෙහි ඇති පාද ස්පර්ශයත් විශේෂිත වේ.

මේ සියලු නැරැඹුම් ස්ථානයන්ට යාමට හැකි වන සේ මාර්ග පද්ධතිය සකස් කර ඇත්තේ නාවික හමුදාව විසිනි. දූපතට අදාළ බහුතර සේවාවන් සපයනු ලබන්නේ නාවික හමුදාව විසින්මය.

හදිසි රෝගියකු දූපතෙන් ගොඩබිමට (කරිකුඩ්ඩුවාන් ජැටියට හෝ යාපනය රෝහලට ) ගෙන යාමට උපකාරී වන්නේ ද නාවික හමුදාවයි. ඒ සඳහා මේ වන විට නාවික හමුදාව විසින් ගිලන් සේවා ‍අධිවේගී බෝට්ටු දෙකක් නිරතුරුවම සේවයේ යොදවා ඇත. විනාඩි 30කටත් අඩු කාලයකින් දූපතේ සිට කරිකුඩ්ඩුවාන් ජැටියට එමඟින් ගමන් කළ හැකි වේ. අබලන් ධීවර බෝට්ටුවලින් පැමිණියේ නම් එමෙන් දෙගුණයකටත් අධික කාලයක් ඒ සඳහා ගත වේ.

කරිකුඩ්ඩුවාන් ජැටියේ සිට දූපතට ගමන් කිරීම සඳහා තිබූ එක් බෝට්ටු සේවාව වෙනුවට මේ වන විට ලෝක බැංකුව හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය හා උතුරු පළාත් සභාව එක්ව කුඩා නැවක් යොදවා ඇත. 'නෙදුන්තාරකායි' යනුවෙන් නම් කර ඇති එවන් විශේෂ ගමන් සේවාවක් ආරම්භ කර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයයි.

එම නෞකාවේ මෙහෙයුම් කටයුතු ද නාවික හමුදාව විසින් නොමිලයේම සිදු කරනු ලැබේ. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව විසින් මේ නෞකාවේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කළ යුතු වුවත් මේ වන විට නෞකා පාලනය සම්බන්ධ දැනුම ඇති පිරිස් නොමැති නිසා නාවික හමුදාව විසින්ම එම කටයුතු ජනතාව වෙනුවෙන් සිදු කරනු ලැබේ. නෞකාවෙන් ගමන් වාර සඳහා ජනතාවගෙන් ලැබෙන ආදායම ප්‍රාදේශීය සභාවට යොමු කෙරේ.

2016 වසරේ අගභාගයේදී යොදවන ලද මේ නෞකාව දූපත් ජනතාව‍ට ලබා දී ඇති විශේෂ සහනයක් වන අතර නෞකාවට අමතරව අවශ්‍ය අවස්ථාවන්හිදී මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් බස් රථ ඇතුළු බරවාහන පවා දූපතට ගෙන යාහැකි පාලම්පාරුවක සහාය ලබා දීමට කටයුතු කර ඇත. ‍දූපත අභ්‍යන්තරයේ ජනතාවගේ ගමනාගමන පහසුව පිණිස ලංගම බස් රථයක්ද යොදවා තිබේ.

දූපතේ සියලු ජනතාවගේ අඳුර දුරලමින් ඉන්ධන ඇසුරෙන් විදුලි ජනක යන්ත්‍ර මඟින් විදුලිය බලය ලබා දෙන්නට මේ වන විට කටයුතු යොදා ඇති අතර ජනතාවගේ සංස්කෘතිකාංග හා ජීවන රටා පවත්වා ගනිමින්ම සංවර්ධන කටයුතු සිදු කරන්නට පියවර ගෙන තිබේ.‍

විශේෂයෙන්ම උතුරේ ඇතැම් පළාත්වල තවමත් දක්නට ඇති මේ දූපතේ සියලුම නිවාසයන්ගේ පාහේ දක්නට ඇති නිවසේ මුළුතැන්ගෙය නිවස ඉදිරිපසින්ම තිබීමේ ගෘහ නිර්මාණ ලක්ෂණය තව දුරටත් එලෙසින්ම ආරක්ෂා කර ගන්නට ඉඩ සලසා ඇත.

දූපතේ රැකියා විරහිත තරුණ තරුණියන් උදෙසා විශේෂ රෙදිපිළි නිමැවුම්හලක් ද නාවික හමුදාව විසින් මේ වන විට ස්ථාපිත කර ඇති අතර එහි මේ වන විට 40කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති. එම ඇඟළුම් හලේ නාවික හමුදාවට නිල ඇඳුම් මැසීමේ කාර්යය සිදු කරනු ලබන අතර සතියේ දින 6ක සේවා කාලයක් සහිතව මෙහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට රුපියල් 35000කට අධික වැටුපක් හිමි වේ. කිසිදා කිසිදු රැකියාවක සේයාවක් හෝ නොතිබූ මේ තරුණ තරුණියන්ට තමන් දිවි ගෙවනු ලබන දූපතේම මෙසේ ස්ථිර රැකියාවක් හිමි වීම ගැන ඔවුහු සතුටු වෙති.

සංචාරකයන් මෙහි පැමිණීමත් සමඟම දූපතේ බොහෝ ජනතාවගේ අත මිට සරුවන්නට පටන් ගෙන තිබේ. බඩ ඉරිඟු කරල් අලෙවි කරන්නාගේ සිට දැනට පවත්නා එකම හෝටලය දක්වාම සංචාරකයන්ගේ පැමිණීම සිදු වන හෙයින් එය දූපතේ ජනතාවගේත් රටේ සමස්ත සංචාරක වර්ධනයටත් ආර්ථික වර්ධනයටත් හේතු සාධක වී තිබේ.

එසේම සංචාරකයන් උදෙසා ප්‍රවාහන සහසුකම් සැපයීමට ත්‍රිරෝද රථ සහ ජීප් රථද මේ වන විට දූපතෙහි ස්ථාපිතව තිබේ. කාලාන්තරයක් තිස්සේ ජනතාවගෙන් බොහෝ ඈතට වී ස්වාධීන දූපතක් ලෙසින් පැවැතුණු ඩෙල්ෆ්ට් දූපතට දැන් තනියක් නැත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ පැමිණීමත් පාරම්පරිකත්වය රැකදෙමින් ජනතාවගේ අවශ්‍යතා උදෙසා සිදු කරන්නා වූ සංවර්ධනයත් නිසා දූපතට මේ වන විට එළිය වැටී තිබේ. පානීය ජල ප්‍රශ්නය කාලාන්තරවක් ජනතාවට ගැටලුවක්ව තිබුණද නාවික හමුදාවේ ව්‍යාපෘතීන් නිසා ඒ ගැටලුද මේ වන විට විසඳී ගොසිනි. සාමකාමී නිහඬ දිවියක් ගෙවන මේ දූපතේ සංවර්ධන කටයුතු මේ ආකාරයෙන්ම සිදු විය යුතු යැයි අපද අපේක්ෂා කරන්නේ එයින් පාරම්පරිකත්වය මෙන්ම උරුමයද රැකෙමින් සිදු වන්නා වූ සංවර්ධනය රටට වැඩදායි වන නිසයි. දූපතේ තවමත් වැට ලෙසින් යොදා ඇති මුහුදු පාෂාණ කියා පාන්නේ ඒ උරුමය තවත් සියවසක් හෝ පැවතිය යුතු බවකි.

ජනතා අවශ්‍යතා ඉටු කරන සංවර්ධනයක් මේ දූපතේ වැසියන්ට ලැබී ඇති බව පැවසිය හැක්කේ 1996 වසරේදී දුපතේ කළ සංචාරකයදී ඒ ජනතාව ගෙවූ දිවිය අප එකල දුටු නිසාය.

(විශේෂ ස්තුතිය කමන්ඩර් දිනේෂ් බණ්ඩාර, කමාන්ඩර් දිනේෂ් කරුණාරත්න, ලුතිනන් මාලක විදානපතිරණ, ලුතිනන් කේ.ඒ. නිලංක මහත්වරුන්ට)

තාරක වික්‍රමසේකර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්