තණ්හා, උපාදාන, භව | සිළුමිණ

තණ්හා, උපාදාන, භව

 පටිච්චසමුප්පාදයෙහි විද්‍යමාන ධර්මතාවන්ගේ ස්වභාවය පිළිබඳ ඉතා සංක්‍ෂේප වශයෙන් ක්‍රමයෙන් විග්‍රහ කොට ඇත. වේදනා ප්‍රත්‍යයෙන් පහළ වනුයේ තණ්හාව යි. එය පහත අයුරින් දක්වා ඇත.

‘‘තත්ථ කතමා වේදනා පච්චයා තණ්හා? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා

පොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා, අයං වුච්චති වේදනා පච්චයා තණ්හා.’’

රූපයන් පිළිබඳ ඇතිවන තණ්හාව රූප තණ්හා නම් වේ. ශබ්ද කෙරෙහි හටගන්නා තණ්හාව සද්ද තණ්හාව ය. ගන්ධ කෙරෙහි හටගන්නා තණ්හාව ගන්ධ තණ්හාව ය. රස කෙරෙහි හටගන්නා තණ්හාව රස තණ්හාව ය. ස්පර්ශය කරෙහි උපදින තණ්හාව පොට්ඨබ්බ තණ්හාව ය. මනායතනයෙහි පමණක් ස්පර්ශ වන ධම්මාරම්මණයන් පාදක කොට හටගන්නා තණ්හාව ධම්ම තණ්හාව ය. විසුද්ධි මාර්ගයෙහි තණ්හාව ලක්‍ෂණ වශයෙන් ද විග්‍රහ කොට ඇත. තෘෂ්ණාව භව දුක් හේතු භාවය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ඒ ඒ ආරම්මණ, භූමි, භවාදීන්හි ඇලීම තෘෂ්ණාවේ කෘත්‍යය හෙවත් කාර්යය වේ. තෘප්තියකට නොපැමිණීම වැටහෙන ආකාරය යි. වේදනාව තෘෂ්ණාවට ආසන්න කාරණය යි. මෙහි දක්වා ඇති ලක්‍ෂණ මනාව වටහා ගැනීමෙන් තෘෂ්ණාව යනු කවරක් ද යන්න තේරුම් ගත හැකිය.

අවිද්‍යා තණ්හා

අවිද්‍යා තණ්හා යනු සංසාර චක්‍රයේ මූල දෙක වේ. සත්ත්වයාට සසරින් මිදීමට අපහසු වනුයේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙහි බලපැවැත්ම හේතුවෙනි. තණ්හාව ඉතා සියුම් අයුරින් ක්‍රියාත්මක වන හෙයින් එය දුරලීම ඉතා අපහසු ය. ඒ ඒ කර්මයන් සිදු කිරීමේදි තණ්හාව ද එයට ප්‍රත්‍ය වේ. නිදසුනක් වශයෙන් චක්ඛු අාදි ඉන්ද්‍රියයන්ගේ පහළ වීම දැක්විය හැක. ඇස යනු පුරාණ කර්මයක් වශයෙන් දක්වා ඇත. ඇස යනු කවරක් ද යන්න පිළිබඳ සිදු කළ විග්‍රහයෙන් ඒ බව මනාව ප්‍රකට වේ. ‘‘දිට්ඨු කාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ඛණා චක්ඛු’’ යන්න විමසීමෙන් මෙය පැහැදිලි කොටගත හැකිය. දකිනු කැමති බව නිදාන කොටගත් කර්මයෙන් නිපන් ප්‍රසාද වත්‍ථුව ඇස නම් වේ. සත්ත්වයෝ කෙතරම් රූප දුටුව ද එයින් සෑහීමකට පත් නොවෙති. නිරතුරුව ම ජීවත් වන්නේ රූප දැකීමේ ආසාවෙන් යුක්තව ය. යම් කුසල කර්මයන් සිදු කිරීමේදී ද එය එසේ ම අනුසය වශයෙන් පවතී. මේ ස්වභාවය තියුණු ප්‍රඥාවෙන් යුක්තව සහ මහත් වීර්යයෙන් ම අවබෝධ කොටගත යුතු ය. අනෙකුත් ආම්මණයන් පිළිබඳ පහළ වන තෘෂ්ණාව ද මේ ස්වරූපයෙන් ම දත යුතු ය.

අරමුණු හා භවයෙහි ඇලීම තෘෂ්ණාවේ කෘත්‍යය යි. තෘප්තියට නොපැමිණීම වැටහෙන ආකාරය යි. සසර පුරා චක්ඛු ආදී තණ්හා, උපාදාන, භව ඉන්ද්‍රියයන් අප්‍රමාණව තෘප්තිමත් කිරීමට මහත් වෙහෙසක් දරා ඇත. එහෙත් එහි තෘප්තියකට නොපැමිණීම සත්ත්වයෝ මිය පරලොව යති. තෘෂ්ණාව පවත්නා හෙයින් එක් භවයකින් කෙළවර නොවී නැවත උපදී. උපන් භවය තුළ සිදු කරන්නේ ද පූර්ව භවයෙහි සිදු කරන ක්‍රියාවලියම ය. භවයෙහි යථා ස්වභාවය තේරුම් නොගෙන කොතෙක් ඉන්ද්‍රියයන් පිනවීමට උත්සහ කළ ද කිසිදා එහි පූර්ණත්වයට පත් නොවේ.

දිට්ඨි උපාදානය

රට්ඨපාල සූත්‍රයෙහි මේ ස්වභාවය මනාව විවරණය කොට ඇත. ‘‘ඌනො ලොකො අතිත්ථො තණ්හා දාසො’’ සත්ත්වයා සෑම විට ම නොසන්සිඳුණු ආශාවන්ගෙන් යුක්තව ම ජීවත් වේ. හැම කල්හි ඌනත්වයක් හෙවත් පූර්ණත්වයට තෘප්තියට පත් නොවුණු ස්වභාවයක් පවතී. එම නිසා ම තණ්හාවේ දාසයෙක් බවට පත්ව සිටී. අවසානයෙහි සිදුවන ක්‍රියාවලිය මෙවැන්නකි.

‘‘ඌනාව හුත්වාන ජහන්ති දෙහං’’ එනම්, පූර්ණත්වයට හෙවත් තෘප්තියට පත්නොවීම ජීවිතය කෙළවර කර යි. කරුණු මෙසේ හෙයින් තණ්හාවේ දාසයෙක් බවට පත් නොවී එය කිසිදා පූර්ණත්වයට පත් නොවන්නක් බව තේරුම් ගෙන නුවණින් යුක්තව කටයුතු කිරීමට උත්සහ කළ යුතු ය. මෙම ස්වභාවය ප්‍රඥාවෙන් වටහාගන්නා තුරු එය ඉක්ම යා නොහැකි ය. තණ්හාව ප්‍රත්‍යයෙන් හටගන්නා අනෙක් කරුණ නම් උපාදානය යි. එහි ස්වභාවය මෙසේ විග්‍රහ කරයි.

‘‘තත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං? කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං.’’ කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදානය යනු තෘෂ්ණා ප්‍රත්‍යයෙන් හටගන්නා උපාදානය යි. අරමුණු දැඩිලෙස ග්‍රහණය කර ගැනීම උපාදානය යි. ප්‍රිය වස්තූන් කෙරෙහි දැඩිලෙස පවත්නා ලෝභය කාමුපාදානය යි. උපාදාන සතරක් වශයෙන් දක්වා තිබුණේ ද ධර්ම වශයෙන් මෙහි විද්‍යමාන වන්නේ තණ්හා, දිට්ඨි යන ධර්මතා දෙක පමණි. දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන අංශ තුන ම දිට්ඨි යනුවෙන් විග්‍රහ කෙරේ. දෘෂ්ටිය, දැකීම යනු දිට්ඨිය යි. එම දැකීම සම්මා දිට්ඨී සහ මිච්ඡා දිට්ඨි වශයෙන් දෙපරිදි වේ. යමක් පිළිබඳ ඇති කරගන්නා පිළිගැනීම් සමූහය ද දිට්ඨි නම් වේ. පවත්නා ස්වභාවයක් වෙනත් අයුරකින් තේරුම් ගැනිම, නිවැරදි දෙයක් වැරදි ලෙස තේරුම් ගැනීම, වැරදි යමක් නිවැරදි වශයෙන් තේරුම් ගැනීම ද මිච්ඡා දිට්ඨිය යි. එය දිට්ඨි උපාදානය යි.

අත්තවාද උපාදානය

අත්තවාද උපාදානය යනු ජීවිතය ආත්ම දෘෂ්ටියෙන් ගැනීම යි. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් වශයෙන් නොසලකා එය මම, මගේ හෝ මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කිරීම අත්තවාද උපාදානය යි. දිට්ඨිය මූලික වශයෙන්ම ආත්ම දෘෂ්ටිය හා බැඳී පවතී. සක්කාය දිට්ඨිය යනු ද මෙම ස්වභාවයක්ම ය. එය යථාර්ථයක් වශයෙන් පවතින්නක් නොව සිතෙහි පහළ වූ සිතුවිලි මාත්‍රයක් පමණි. ඇතැම් විට ශරීර කොටස් මම වශයෙන් සලකයි. රූපය ම මම ලෙස ගනී. කෙතරම් සත්‍යයක් වශයෙන් සලකා කටයුතු කළ ද ජීවිතය යනු ආත්මයක් නොවන බව තේරුම් ගත යුතු ය. එහි භවයෙන් භවයට ගමන් කරන පුද්ගලයකු හෝ වෙනත් කිසිවකු නොමැති බව වටහා ගත යුතු ය. වෙනත් කිසිවකු විසින් මවන ලද දෙයක් ද නොවේ.

සීලබ්බත උපාදානය

සීලබ්බත උපාදානය ද අත්තවාද උපාදානය හා බැඳී පවතී. සත්ත්වයාට විමුක්තිය ලැබීම සඳහා අවැසි මාවත බෞද්ධ දර්ශනය තුළ මනාව විවරණය කොට ඇත. එම මාර්ගයන් අනුගමනය නොකොට වෙනත් මිත්‍යා මාර්ගයන් අනුගමනය කිරීම මෙහිදී සිදු වේ. ඇතම්හු කර්ම හෙවත් පව් තැවීමෙන් විමුක්තිය සැලසිය හැකි බව සලකා විවිධ ව්‍රත අනුගමනය කරති. එයින් අලුත් කර්ම නොකොට පැරණි පව් තැවීම පිණිස ගෝ ව්‍රත, අජ ව්‍රත, කුක්කුර ව්‍රත අනුගමනය කරති. ඒ ඒ සතුන් හැසිරෙන ආකාරයට තම ජීවිතය ද ගත කරති. ඔවුන් ආහාර අනුභව කරන අයුරින් තමා ද අනුභව කරති. නිදන ආකාරය, ගමන් කරන ආකාරය ද එසේ ම සිදු කරති. බුදුරදුන් පෙන්වා දුන්නේ යමෙක් ඒ ක්‍රියාවන් ඒ අයුරින් ම අනුගමනය කරන්නේ නම් මරණින් මතු ඔවුන් ඒ ස්වභාවයට පත් වන බවයි. එනම් එම මාර්ගයන් විමුක්තිය ලැබීම පිණිස නොව දුගතියෙහි ප්‍රතිසන්ධිය ලැබීමට උපනිශ්‍රය වන බව යි. මේ පිළිබඳ බොහෝ විග්‍රහයන් දීඝ නිකායේ පාථික සූත්‍රයෙහි සහ මජ්ක්ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයේ විග්‍රහ කොට ඇත.

උපාදන ප්‍රත්‍යයෙන් හටගනුයේ භවය යි. එහි ස්වභාවය මෙසේ දත යුතු ය: උපාදාන හේතුවෙන් හටගන්නා භවය ආකාර දෙකකින් දත යුතු ය. කර්ම භවය සහ උපපත්ති භවය වශයෙනි. පුණ්‍යාභිසංස්කාරය, අපුණ්‍යාභිසංස්කාරය, ආනෙඤ්ජාභිසංස්කාරය යන තුන කර්ම භවය නම් වේ. සියලු භවගාමී කර්මයන් කර්ම භවයට අයත් වේ. උපපත්ති භවය සත්ත්වයින් උපදින ස්ථාන වශයෙන් ගත යුතු ය. කාමභවය, රූපභවය, අරූපභවය, සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය, ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පඤ්චවෝකාර භවය යනු උපපත්ති භවය යි. උපාදාන ප්‍රත්‍යයෙන් හටන්නා භවය මෙසේ තේරුම් ගත යුතු ය. සත්ත්වයා උපාදානය හේතුවෙන් බොහෝ කර්මයන් රැස් කරයි. කුසල වශයෙන් සහ අකුසල වශයෙන් මෙය සිදු කරයි. එම කුසල සහ අකුසල හේතුවෙන් එයට අනුරූපී භවයන්හි ප්‍රතිසන්ධිය ලබයි. එසේ සිදු කරන ලද කුශලාකුශල සියල්ල කර්මභවය යනුවෙන් හඳුන්වයි. ඒ කර්මයන් නිසා හටගන්නා ස්කන්ධයන්ට උපපත්තිභව යන නාමය යෙදේ.

පටිච්චසමුප්පාදය

කාමභවය යනු සතර අපාය, දිව්‍යලෝක සය, මිනිස් ලෝකය යන ලෝක එකො­ෙළාස යි. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින සත්ත්වයින්ගේ උපාදානස්කන්ධ රූප භව නම් වේ. අරූප ලෝකයෙහි උපදින සත්ත්වයින්ගේ ස්කන්ධ අරූප භව නම් වේ. මෙහි වෝකාර වශයෙන් දක්වන ලද්දේ ද ස්කන්ධයන්ම ය. ඒකවෝකාර භව යනු එක් ස්කන්ධයක් පමණක් විද්‍යමාන භූමීන් ය. අසංඥ භූමියේ විද්‍යමාන වන්නේ රූපස්කන්ධය පමණි. එබැවින් එම ලෝකයන් ඒකවෝකාර භව නම් වේ. අරූප භූමියේ විද්‍යමාන වන්නේ නාමස්කන්ධ සතර ය. එම ලෝක චතුවෝකාර භව නම් වේ. පඤ්චස්කන්ධය ම විද්‍යමාන අනෙකුත් ලෝකයන් පඤ්චවෝකාර භව නම් වේ. මෙසේ කර්ම ප‍්‍රත්‍යයෙන් නිපන් උපාදින්නස්කන්ධයන් විද්‍යමාන ස්කන්ධයන් උපාදාන පච්චයා භව නමින් දක්වා ඇත.

පටිච්චසමුප්පාදය තුළ දැක්වෙන මෙම කරුණු තේරුම් ගැනීම පහසු නොවේ. ඇසට නොපෙනෙන ප්‍රඥාවෙන් යුක්තව ම දැකිය යුතු මෙම ස්වභාවයන් පිළිබඳ මඳ දැනීමක් ඇති පුද්ගලයින් කරුණු විග්‍රහ කිරීමට යෑමෙන් විවිධ දෘෂ්ටි උපදවාගන්නා බව පෙනේ. එසේ හෙයින් කරුණු විමසීමෙන් යුක්තව ම පටිච්චසමුප්පාදයෙහි දැක්වෙන අංග විග්‍රහ කොටගත යුතු ය. සෑම මොහොතක ම ක්‍රියාත්මක වන ධර්මයක් වුව ද එය දැකගැනීම අතිශය දුෂ්කර ය. සසර භව ගමනෙහි එයින් මිදීමට නොහැකිව විවිධ භවයන්හි ප්‍රතිසන්ධිය ලබමින් නිමක් නොමැති දුෂ්කර වූ ගමනක නිරත වනුයේ මෙහි සැබෑ ලක්‍ෂණයන් දැක ගැනීමට නොහැකි හෙයිනි. අවිද්‍යාවෙන් යුක්ත හෙයින් ඇතැම් විට කරුණු නිවැරදි ලෙස විග්‍රහ කළ නමුදු පවසන ලද කරුණු ද ඇතමුන් වැරදි ලෙස වටහාගෙන නොමග යන අයුරු දක්නට ලැබේ. එයින් මිදී නිවැරදි මාවතෙහි සිත පිහිටුවා කටයුතු කිරීමට අවැසි ඥානය උපදවා ගත යුතු ය.

ලබන සතියේ... භව පච්චයා ජාති

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
071-9861535

අදහස්