පෑදි දියට බොර දිය එක්ක­රනු එපා! | සිළුමිණ

පෑදි දියට බොර දිය එක්ක­රනු එපා!

(මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙනි.)

ජලය සොබාදහමේ අපූරු දායාදයක් වූවත් ජලය සුරැකීම සඳහා සොබාදහමේ පිහිට සෙවීමට ද සිදුව තිබේ. ඒ ගැන මේ වසරේ ලෝක ජල දිනයේ තේමාවෙන්ම ඉඟි සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1992 දී ලෝක ජල දිනය නියම කරමින් සෑම වසරකම මාර්තු 22 වන දින එය උත්කර්ශවත්ව පැවැත්වීමට තීරණය කළේ, ජලය අතිශය වැදගත් වූද, හිඟ සම්පත්ක් වූද, වාතාවරණයක් යටතේය. 1993 සිට ලෝක ජල දිනය විවිධ තේමා යටතේ ලොව පුරා සිහි කරන්නේ අද මුළු ලොවටම ජලයේ වැදගත්කම පෙනී ගොස් ඇති හෙයිනි. මේ වසරේ ලෝක ජල දිනයේ තේමාව වන්නේ ”ජලය වෙනුනේ සොබාදහම” (Nature for Water) යන්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි 21 වන සියවසේ අප මුහුණ දෙන ජල අභියෝගයන්ට සොබාදහම පාදක විසඳුම් අනාවරණය කර ගත යුතුය.

ජලය ආශ්‍රිතව අද අප මුහුණදෙන ගැටලු මොනවාද ?. ඒ අතර ප්‍රධාන වන්නේ ආරක්‍ෂිත ජලයේ ඌනතාවයි. විශේෂයෙන් පිරිසුදු පානීය ජලය නොමැති වීම හෝ හිඟ වීමයි.

ලෝක ජනගහනයෙන් බිලියන 2.1 ක් පමණ මේ ගැටලුවෙන් පීඩා විඳින බව හඳුනාගෙන තිබේ. ඔවුනගේ සෞඛ්‍ය, අධ්‍යාපනික හා සමස්ත ජීවිතය පුරා ජලය ගැටලුවක් වී තිබේ. මෑත භාගයේ පාරිසරික පද්ධතීන්හි ඇති වූ බිඳ වැටීම්, මානව පරිහරණය සඳහා වන ජලය කෙරෙහි ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව බලපා ඇත. සරලව දක්වන්නේ නම් ලෝකයේ ජනතාවට ප්‍රමාණවත් පරිදි පානීය ජලය ලැබෙන්නේ නැත. ලැබෙන ජලය පවා බොහෝ විට පානයට සුදුසු මට්ටමක පවතින්නේ ද නැත. එසේ වන්නේ ජලයහිඟ වීම හෝ අපවිත්‍ර වීම හෝ දූෂණය වීම නිසාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 වසර සඳහා අපේක්‍ෂා කරන තිරසර සංවර්ධන ඉලක්කයක් වන සැමට ආරක්‍ෂිත ජලය සැපයීම ඉටුකර ගැනීම සැම රටකටම පහසු නැත. අප රට මේ ඉලක්කය ලඟා කර ගනිමින් සිටියත් තෙවන ලෝකයේ බොහෝ රටවල් ඊට ආසන්න වී නැත. එසේ වීමට හේතු පැහැදිලිය.

පාරිසරික බිඳ වැටීම් සමඟ දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් බලපා ඇත. එහෙත් මීට දොස් තැබිය යුත්තේ සොබාදහමට නොව සොබාදහම වනසන මානවයාටය. මේ කරුණ පිළිබඳව නොතකා අපට ජල ගැටලුවට විසඳුම් සෙවීමට නොහැකි වනු ඇත.

මෑතක සිට කෙටි කලක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීමද, ඒ ආශි‍්‍රතව ජල ගැලීම් ද සුලභ අත්දැකීමක් බවට පත්ව ඇත. එහෙත් එම ජලය පිරිපහදු කොට සකසා ගැනීමේ කාර්යය ද, ජලය ගබඩා කර ගැනීමේ ක්‍රියාවලිය ද, තෙවන ලෝකයේ රටවලට අභියෝග වේ. එමෙන්ම මේ ගංවතුර තර්ජන නිසා වාරිමාර්ග පද්ධති ද, කෘෂිකාර්මික බිම්ද, වෙනත් ඉඳිකිරීම්ද, විනාශ වී යෑම සුලභය.මේ අතර විවිධ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වී පානීය ජලයට ද, එක්වීමෙන් භයානක ප්‍රතිඵල උද්ගතවී තිබේ.

කෙටි වර්ෂා කාලයක් හා දීර්ඝ නියං කාලයක් උදාවීමෙන් අප්‍රිකා ආසියා කලාපවල ආර්ථිකයටද, පොදුවේ ජන ජීවිතයටද ඇති කළ බලපෑමද, මෑත කාලීන සුලභ අත්දැකීමකි.

පානීය ජලය හිඟ වීමෙන් හෝ නැතිවීමෙන් නියං කාලවල තෙවන ලෝකයේ බොහෝ අය මියයති. රෝගී වෙති. ඉතිරිවන අය තුළ පවා ශාරීරික ශක්තිය හීන වීම නිසා නිෂ්පාදන හැකියාව අඩු වී ගොස් ඇත. ජල හිඟය බෝග වගාවන්ට ද, අහිතකරව බලපෑම නිසා තත්ත්වය තවත් බියකරු කොට ඇත.

ශ්‍රී ලංකාවේ ද වියළි කළාපයේ වසර කිහිපයක් එක දිගට පැවැති නියඟය නිසා ජනතාවගේ සෞඛ්‍ය පමණක් නොව ආර්ථික ශක්තිය ද හීනකොට ඇත. මේ තත්ත්වය බෙහෙවින් දරුවන් කෙරෙහි ද, බලපෑම නිසා එය අනාගතය කෙරෙහිද, සෘණාත්මක ප්‍රතිඵල ඇතිකරයි. මේ සඳහා විවිධ විසඳුම් ඉදිරිපත්ව ඇති මුත්, ඇති කළ බලපෑම රටටමඅහිතකරය. ජලය රැක ගැනීමත් අනාගත පරපුර වෙත පැවරීමත් සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට සිදුවී ඇත.

ජලයෙන් තොරව මානවයාට පමණක් නොව සත්ත්ව හා ශාක ප්‍රජාවට ද ජීවිතයක් නැත. උපතේ සිට විපත දක්වා සෑම කාර්යයකටම ජලය අවශ්‍යවේ. ජලය පූජනීය ලෙස සලකන්නේ එනිසා විය හැක. ලෝකයේ ආරම්භය ජලයෙන් සිදුවී යැයි භාරතීය සහ ශ්‍රීක දාර්ශනිකයන් විශ්වාස කළේ ද මේ නිසා විය හැකිය. ගැමියෝ ජලයේ අභිචාරාත්මක අර්ථ දකිති. විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් ඉහළ යැයි සැලකෙන අද පවා එහි වෙනසක් නොවන තරම්ය. අදත් ජලය ආශ්‍රිත විවිධ යාතුකර්ම දැක ගත හැකිය. බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් ආදී සෑම ආගමක්ම ජලය පූජනීය ලෙස දකී.

සියලු ආගම් ජලය වැදගත් ලෙස පිළිගත්තා පමණක් නොව ජලය අපවිත්‍ර කිරීම, අපතේ හැරීම ප්‍රතික්ෂේප කෙරිණි. අදත් ජලය සොබාදහමේ සුවිශේෂී නිමාවකි. ඊට විකල්පනැත. ජනගහනය වර්ධනයත්, කාර්මිකකරණයත්, නාගරීකරණයත්, විවිධ සංවර්ධන ව්‍යාපාරත් නිසා ජලය පරිභෝජනය ඉහළ යෑම මෙන්ම, ජලය දූෂණයට ලක්වීමද, සිදුවිය. ඒ නිසාම පිරිසුදු ජලය පිළිබඳ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන්නට වී තිබේ. ජලය නිර්මාණය වූ සොබාදහම රැක ගත යුතු බවට මතයක්ද ගොඩ නැගෙමින් තිබේ.

සොබාදහම ආශ්‍රිතව ජලය පිළිබඳ බොහෝ ගැටලු විසඳිය හැකිය. මේ අනුව හරිත (Green) හා අළු පැහැ (Grey)අවව්‍යුහ අතර සුසංයෝගයක් පැවතිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාස කරයි. වනාන්තර ඇති කිරීම හා ආරක්‍ෂා කිරීම, ගංවතුර පිටාර තැනි ප්‍රති නිර්මාණය, තෙත් බිම් ආරක්‍ෂණය ආදී ක්‍රියා මාර්ග මගින් ජල චක්‍රය සමබර කිරීම මේ හරිත විසඳුම් අතර වේ. අළු පැහැ විසඳුම් මොනවාද? බොහෝවිට අළු පැහැ හෝ කළු පැහැ ජලය ලෙස සැලකෙන්නේ භාවිත කොට ඉවතලන අප ජලයයි. සිංහල ගැමියා ”පෑදි දියට බොර දිය එක්වන්න එපා” යි ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා සිදුවන හානිය දන්නා බැවිනි.

කිසිවිටක ජලයට අපද්‍රව්‍ය එක් නොකළ යුතු බවත්, එසේ කිරීම පාපයක් බවත්, ගැමියා විශ්වාස කරයි. එපමණක් නොව ආරාම, වනපෙත්, ගහකොළ, වැව් පොකුණු ආදිය තැනීම පින්කම් ලෙසිනි ඔවුන් ඉගෙනගෙන ඇත්තේ. පින්තාලිය ගමක සංකේතයක්ව තිබිණි. මෙලෙස හරිත හා අළු පැහැ අවව්‍යුහ අතර සුසංයෝගයක් ගැන අපේ සම්ප්‍රදායේ වුවත්, එම විශ්වාස පද්ධතිය බිඳ දමමින් ක්‍රියාකිරීමට මෑත භාගයේ සිට ජනතාව පුරුදුව සිටීම ඛේදවාචකයකි.

මෙම විෂම වාතාවරණයෙන් මිදීමට පැරණි විශ්වාස අවිචාරයෙන් පිළිගත යුතු නැතත්, ඒ ඇසුරෙන් විචාරාත්මකව ඇගයුම් පද්ධති ගොඩනගා ගත හැකිය.

ඊට අමතරව ජල මූලාශ්‍ර රැකීම සඳහා නව වැඩපිළිවෙලද ක්‍රියාත්මක කළ හැකිය. ඒ අතර ජල මූලාශ්‍ර ආශ්‍රිත වන වගාව හොඳ ප්‍රතිඵල ඇතිකළ බවට ලෝකයේ නිදසුන් පවතී.

ගංගා ඇළ දොළ ආදියට අප ජලය මුසුවීව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත හැකිය. අප ජල කළමනාකරණය සඳහා පිරිපහදු ඇති කළ හැකිය.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ මෙබඳු පිරිපහදු මධ්‍යස්ථානයක් දැනට පේරාදෙණිය ගැටඹේ ප්‍රදේශයේ ඉදි කරමින් පවතී.

මහනුවර නගරයේ සියලූ අප ජලය එක්රැස් කොට පිරිපහදු කිරීම මෙම මධ්‍යස්ථානය මගින් 2019 වසරේ දී මැද භාගයේ සිට ක්‍රියාත්මක කරනු ඇත.

මෙය දියුණු තාක්‍ෂණික ක්‍රම යොදා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වුවත්, ඒ සමඟ පරිසර සංරක්‍ෂණය පිළිබඳ සාම්ප්‍රදායික හරිත ක්‍රමයට සුසංයෝගී කර ගන්නා බව කිවයුතුය.

එමෙන්ම මෙම අප ජලය නළ මගින් පිරිපහදුව වෙත ගෙන එන්නේ සොබාදහමේ ක්‍රියාත්මක වන ගුරුත්ව බලය භාවිත කරමිනි.

මේ වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ජල දින තේමාව අර්ථවත් කරනා සංකේතයක් ලෙස මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය හැදින්විය හැක්කේ ඒ අර්ථයෙන් පමණක් නොව ව්‍යාපෘති බල ප්‍රදේශයේ ඇළ දොළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මගින් එය තව දුරටත් අර්ථවත් කරන හෙයිනි.

මේ සඳහා ජපන් අන්තර් ජාතික සහයෝගීතා ඒජන්සිය ආධාර සපයන අතර, ක්‍රියාවට නඟන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ එක්ව මහනුවර මහ නගර සභාවයි.

එහෙත් ප්‍රදේශයේ ජනතාව හා විවිධ සංවිධාන එක්ව ප්‍රජා වැඩසටහනක් ලෙසද මෙය ක්‍රියාවට නඟන්නේ සොබාදහමේ ඇති සහයෝගීතා න්‍යාය සිහියට නංවමනි.

Comments