නිකාය ගැටුම අව­සන් කර­න්නට පරා­ක්‍ර­ම­බා­හුගේ මැදි­හත් වීම | සිළුමිණ

නිකාය ගැටුම අව­සන් කර­න්නට පරා­ක්‍ර­ම­බා­හුගේ මැදි­හත් වීම

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්‍ම දූත පිරිස දෙවනපෑතිස් රජු (ක්‍රි.පූ. 247 - 207) කල බු.ව. 236 දී හෙවත් මීට වසර 2325 කට පෙර අනුරාධපුරයට සැපත්වීම පිළිබඳ පුවත ලංකා ඉතිහාසය තුළ සටහන් වූ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ සංසිද්ධිය බවට කිසිදු විවාදයක් නැත.

පසුකාලීනව වැඩ විසූ භික්ෂූන් වහන්සේලා ගේ වාසස්ථාන අතර අනුරාධපුර මහා විහාරය නමින් කේන්ද්‍රස්ථානයක් ඇති විය. මහා විහාරය භික්ෂූන්වහන්සේලාගේ වාසස්ථානයක් වූවා පමණක් නොව ථෙරවාද බුද්ධ ධර්මය උගෙනීම, උගැන්වීම, පිළිපැදීම හා ග්‍රන්ථ කරණය පිළිබඳව ද ප්‍රකට මධ්‍යස්ථානයක් බවට පත්විය. යුගයේ අග්‍රගණය විද්‍යාපීඨය බවට පත්වූයේ අනුරාධපුර මහා විහාරයයි.

ටීකාචාර්ය ශ්‍රී සාරිපුත්ත සංඝරාජ මාහිමියන්ගේ සාරත්ථදීපනී විනය ටීකාවෙහි සඳහන් පාඨයක සිංහල ස්වරූපය මෙ‍ෙස් විය.

“... මහ මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් ලංකාවට ගෙන එන ලද ඒ අර්ථ කතා මාර්ගයද පසුව ලාංකික මහතෙරවරුන් විසින් සිංහල භාෂාවෙන් තබන ලදී...”

මෙයින් ගම්‍ය වන්නේ මහා විහාරය පාලි අට්ඨකතා සිංහලයට පරිවර්තනය කළ මධ්‍යස්ථානය වූ බවයි.

අනුරාධපුර නුවර දෙවනවර රාජ්‍යත්වයට පත් වළගම්බා මහරජ දවස මෙරට බුදු සසුනේ නිකාය භේදය මුල්වරට හටගත් පුවත ඉතා ප්‍රකටය.

සතුරා තම පසුපස හමා එද්දී පලායන රජු දැක ගිරි නම් වූ නිඝන්ඨයා නැගූ වහසි බස් ඇසූ රජු පසු කලෙක සතුරා පරදවා ජයගෙන අනුරාධපුරයට පැමිණ ගිරි නිඝන්ඨාරාමය වනසා දමා එතැන තම නම හා එහි විසූ නිඝන්ඨයාගේ නමද ඒකාබද්ධ ‍කොට ‘අභයගිරිය’ තනා පෙර තමාට උදව් උපකාර කළ භික්ෂූන් වහන්සේට පූජා කිරීම නිසා අභයගිරිය මහා විහාරයෙන් අන්‍ය වූ ආගමික මධ්‍යස්ථානයක් බවට පත්විය.

මහා විහාරයෙන් වෙන්ව ගිය ඇතැම් භික්ෂූහු අභයගිරිය තම වාසස්ථානය හා අධ්‍යාපනස්ථානය බවට පත්කර ගත්හ.

මහා විහාරය පාලි භාෂාව මුල්කොටගෙන ථෙරවාදය හදාළ අතර, අභයගිරිය සංස්කෘතයෙ මුල්තැන්හි තබා ගනිමින් මහායානය උගැන්ම හා ව්‍යාප්තිය අරබයා ක්‍රියාත්මක විය.

එවකට මහායාන ධර්‍ම ග්‍රන්ථ මෙහි පැවැති බවට ක්‍රි.ව. 399 - 414 අතර මෙරටට සැපත් ෆාහියන් භික්ෂුව සිය වාර්තා සටහන්වල සඳහන් කර ති‍ෙබ්.

මහීශාසක නිකායිකයින්ගේ විනය පිටකය, දීර්ඝාගම හා සංයුත්තාංගම සූත්‍ර හා සංයුක්ත පඤ්චය පිටකය යන ග්‍රන්ථ ෆාහියන් විසින් ලබාගත් බවද ඒ පොත් චීනයේ නොතිබූ බවද වැඩිදුරටත් එතුමා සඳහන් කර තිබේ.

මේ අතර දකුණු ඉන්දියාවෙන් පැමිණි ධම්මපාල හා බුද්ධදත්ත වැනි මහ පඬිවරුන් පාලි භාෂාව පිළිබඳ මහා විශාරදයන් විය. ඔවුහු අනු‍රාධපුර මහා විහාරය ඇසුරු කළහ. මේ උගතුන් නොයෙක් දාර්ශනික මත හා සමයාන්තර මත සසඳා ථෙරවාදය හා මහායානය අතර ඇති විශේෂතා හඳුනා ගන්නට ඇත.

කෙමෙන් අභයගිරිය සංස්කෘත භාෂාව මුල්කොටගත් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස මෙන් ම සමයාන්තර කේන්ද්‍රස්ථානයක් ලෙසට ද ඉමහත් කීර්තියකට පත්විය.

මහා විහාරයට වඩා ව්‍යාප්තව හා නිදහස්ව අභයගිරියේ අධ්‍යාපන කටයුතු සිදු වූවා විය හැකිය. ෆාහියන් භික්ෂුව සඳහන් කරන පරිදි රටේ ගෞරවයට පාත්‍ර වූ ධර්‍මගුප්ත නම් පඬිවරයෙකු මෙ සමයේ වාසය කොට තිබේ. විමුක්ති මාර්ගය ලියූ උපතිස්ස තෙරණුවෝ ද, අභයගිරි වාසිකයෙකි. උන්වහන්සේ වැඩවාසය කළේ බුද්ධඝෝෂ මාහිමයන් මෙරටට සැපත් වීමට කලිනි. අභයගිරියේ විසූ තවත් මහ පඬිරුවනක් නම් සද්ධම්මෝපයන නම් ග්‍රන්ථය ලියූ අභයගිරි චක්‍රවර්ති ආනන්ද මාහිමියන්ය.

මේ යුගයේ බලයට පත් රජවරුද අභයගිරියට විශේෂ සැලකිලි දක්වා තිබේ. එපමණක් නොව මෙරටට සැපත් විදේශීය වන්දනා කරුවෝද, වෙළෙන්දෝද, අභයගිරියට විවිධ පූජා පැවැත්වූ බව සඳහන් වෙයි. චීන ජාතික වෙළෙන්දන් පටපිළි හා විජිනිපත් ද පිදූ බවට ‍ෆාහියන්ගේ සටහන් සාක්ෂි සපයයි.

මහා විහාරය හා මිහින්තලය ථෙරවාදයේ මූලිකත්වයෙන් පැවැති අතර, අභයගිරිය, ජේතවනය හා දක්ෂිණාරාමය ද මහායානයේ කේන්ද්‍රස්ථාන බවට පත් විය.

අභයගිරිකයන්ගේ අධ්‍යාපන මාධ්‍යය භාෂාව වූ සංස්කෘතය එවකට ඉතා දියුණු තත්වයක පැවැති බවට සාධක ලෙස කුමාරදාස මහරජු ජානකීහරණය ග්‍රන්ථය රචනා කිරීම හා මහානාම හිමියන් බුද්ධගයාවේ සංස්කෘත පද්‍යමය සෙල්ලිපියක් පිහිටුවූ බවටද ඇති තොරතුරු සාධක සපයයි.

මහා විහාරයත්, අභයගිරියත් අතර පැවැති නිකාය විරෝධතා මෙන් ම දාර්ශනික මතවාදවල වෙනස්කම් හිමි වූ බවත් ථෙරවාදීන්ගේ භාෂා මාධ්‍යය වූ පාලි භාෂාවට එවන් පිළිගැනීමක් නොතිබූ බවත් අනාවරණය වෙයි.

අනුරාධපුර රාජධානියේ අන්තිම සිංහල රජු වූ 5 වැනි මිහිඳු රජු සමයේ ලියූ කපාරාරාම සංස්කෘත ශිලා ලේඛනය කපාරා පිරිවෙනේ වැඩසිටි සංඝනන්දි නම් තෙර කෙනෙකු‍න්ගේ කෘතියකි. මෙම සෙල්ලිපියේ එන සංස්කෘත පද්‍ය දෙකක් පිළිබඳව මෑතකාලීන උගතුන්ගේ අවධානය යොමුවිය. ඉන් හැඟීයන්නේ මෙතුමා සංස්කෘතය කෙළපැමිණි පඬිවරයෙකු බවයි. එවකට පැවැති මේ මහාකපාරා පිරිවෙන අභයගිරිකයන්ගේ ප්‍රකට අධ්‍යාපන මධ්‍යස්ථානයක් වීය.

කෙසේ වුවද මහා විහාරය හා අභයගිරිය දෙපාර්ශ්වයම වරින්වර රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ පූජා සත්කාර හා සම්මානයන්ට ලක්වී තිබේ.

නිකාය භේදය ගැන නොසලකා ඇතැම් රජවරු දෙපාර්ශ්වයට ම සමව සැලකූ අතර තව සමහරෙක් එක් පසෙකට පමණක් විශේෂ සැලකිලි දැක්වූ අවස්ථාද අපට හමුවෙයි.

මහාවංශ කර්තෘ මහානාම හිමියන් මහා විහාර පාර්ශ්වය නියෝජනය කිරීම (මතභේද තිබේ) නිසාත් අභයගිරිය පිළිබඳව හැබෑ පුවත් මහාවංශය තුළින් ගිලිහී යන්නට ඇත.

ධර්‍මරුචිකයන් යැයි හැඳින්වූ අභයගිරි භික්ෂූන්ගේ ව්‍යක්ත භාවය, පාණ්ඩිත්‍යය හා වෙනත් සැබෑ පුවත් මහාවංශය තුළින් අපට හමු නොවන්නේ මේ නිසා විය හැකිය. රජවරුන් අභයගිරි පාර්ශ්වයට කළ උදව් උපකාර හා පූජා පිළිබඳව වැඩි යමක් වංශ කතා තුළින් අනාවරණය නොවෙයි.

මේ වන විටත් භික්ෂූන් ත්‍රිපිටක ධර්මය කටපාඩමින් ගෙන එමින් ආරක්ෂා කරගත් මහාර්ඝ වස්තුවක් විය. වළගම්බා රජ දවස මාතලේ අළුවිහාරයේදී ත්‍රපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කළ බවට ඇති සඳහන තුළ මේ කටයුත්තට මූලික ව‍ූවෝ අභයගිරිකයන් බව අනුමාන කළ හැකිය. රටමැද අප්‍රකට පෙදෙසක පිහිටි මාතලේ ප්‍රදේශය මෙවන් ගාම්භීර හා උතුම් කාර්යයක් සඳහා තෝරා ගත්තේ ඇයි යන්න ගැටලුවකි. මේ සඳහා ඉතා වැදගත් හා අප්‍රකට හේතු බලපෑවා නිසැකය.

රාජ්‍ය බලය ලද උගතුන් හා ධර්මධර යතිවරයන් මෙන්ම වෙනස් පහසුකම් ද තිබූ අනුරාධපුරය මේ වැදගත් ශාසනික කාර්යය සඳහා යොදා නොගත්තේ අභයගිරිකයන් මහා විහාරයට එරෙහිව තම කාර්යය නිසංසලේ ඉටු කිරීමට සුදුසු පරිසරයක් සෙවූ නිසා විය හැකිය. අභයගිරිවාසී මහ තෙරවරුන් යුගයේ ධර්මධර උගතුන් ලෙස මේ කාර්යයට නොබියව අත ගැසීය.

එවකට අනුරාධපුර මහා විහාරයේ ද කීර්තිධර ධර්‍මධර මහා උගතුන් වාසය කළද මේ ශාසනික වැදගත් කටයුත්ත සඳහා ඔවුන් සහභාගී නොවූයේ දෙපාර්ශ්වය අතර තිබූ නිකාය භේදය නිසා ම විය හැකිය.

මහා විහාරිකයන් සඳහා ඉදිවූයේ ලෝවාමහා ප්‍රාසාදයයි. එය ලෝහයෙන් ඉදිවූවකි. රත්න ප්‍රාසාදයේ සුවිසල් බව හා නිර්මාණ ඓශ්චර්යය මහාවංශ කරුට පෙනී නැති වුවද, ලෝවාමහා ප්‍රාසාදය ගැන එහි මහල් හා කාමර ගැන ඔහු ඉමහත් අභිරුචියකින් සඳහන් කළ හැටි පෙනේ ද?

එවකට මහා විහාරයත් අභයගිරියත් අතර පැවැති තරගය, විරසකය හා ගැටුම ප්‍රදර්ශනය වන මෙවන් තොරතුරු එමටය.

දෙවැනි දාඨෝපතිස්ස රජුද අභයගිරි පාර්ශ්වය වෙනුවෙන් සත්කාර සම්මාන පූජා පැවැත්වූ රජ කෙනෙකි. ඔහු අභයගිරි පාර්ශ්වය වෙනුවෙන් විහාරයක් කරවා පූජා කරද්දී, එය තැනූ බිම් ප්‍රදේශය මහා විහාරය සතු එකකැයි කෝප වූ මහා විහාර භික්ෂූණ් රජුට එරෙහි වී “පත්තනික්කුජ්ජන” විනය කර්මය පවා සිදුකොට රජු කෙරෙහි අප්‍රසාදය පළ කොට තිබේ. ‍

වෝහාරතිස්ස රජු අභයගිරි පාර්ශ්වය සතු පොත් සිය දහස් ගණනක් කඳුගසා ගිනිබත් කළ පුවතක් ද අපට හමුවෙයි. මහාවංශ කර්තෘ මහානාම හිමියන් මේ ප්‍රවෘත්තිය ඉමහත් අභිරුචියකින් සඳහන් කර තිබේ.

සිරිසඟබෝ රජුගෙන් ඉක්බිති සිහසුනට පත් ගෝඨාභය රජු වෛතුල්‍යවාදීන් යයි සැක කළ අභයගිරි භික්ෂූන් සැටනමක් සිරුරෙහි හරකුන්ට මෙන් හංවඩු ගසා රටින් පිටකළ පුවතක් ද ඇත.

වෛතුල්‍ය ධර්මයෙහි නිපුණ යතිවරයෙකුව සිටි සංඝමිත්‍ර තෙරුන් හා රජු‍ගේ මාමා කෙනෙකු වූ මහාවිහාර පාර්ශ්වයේ සිටි රාජගුරු සංඝපාලි මහතෙර අතර පැවැති වාදයකදී සංඝපාල මාහිමියන් ලත් පරාජය නිසා සංඝමිත්‍ර තෙරණුවන් කෙරේ පැහැදුනු රජු අභයගිරි පාර්ශ්වයට යළි නැඹුරු විය. තමා පෙර තෙරවරුන් සැට නමකට හිංසා කොට රටින් නෙරපීමේ පාපී හා දරුණු ක්‍රියාව ගැන අතිශයින් පශ්චාත්තාපයට පත් ඔහු සිය දෙපුතුන් වූ තිස්ස හා සේන සංඝමිත්‍ර තෙර වෙත භාර කළේය. සංඝමිත්‍ර තෙරුන්ගේ කීකරු ශිෂ්‍යයන් ලෙස සිප්සතර හැදෑරු මේ දෙපුතුන් පසුකලෙක රාජ්‍යපද ප්‍රාප්ත විය.

සේන කුමරු අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වූයේ තම සොයුරු සද්ධාතිස්සයන්ගෙන් අනතුරුවය. සේන රජු සංඝමිත්‍රගේ කීකරු ශිෂ්‍යයා වූ හෙයින් අභයගිරියට හොඳ කලක් උදා විය. මහා විහාරය සතුව තිබූ බොහෝ විහාරාරාම ඇතුළු වස්තු සම්භාරයක් ම අභයගිරියට අයත්වූයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවමය.

මහා විහාරයට කෙතරම් නරක හා අසුබ කාලයක් උදාවූයේ ද කිවහොත් මහාවිහාර භික්ෂූන්ට බත් සරළුවක් (බත් හැන්දක්) දුන් අයෙකුට සියයක් දඩ යැයි රාජාඥාවක් ද නිකුත් විය. මහා විහාරවාසී භික්ෂූහු පරපුර මේ යුගයේ දී ඉතා අසරණ තත්වයට පත්වූවා පමණක් නොව බොහෝ දෙනා අනුරාධපුරය හැර යන්නට ද පටන් ගත්තේය.

එතෙක් මහාවිහාරය සතුව තිබූ මිහින්තලය ද රජු විසින් අභයගිරි පාර්ශ්වයට පවරා දෙන ලදී. එහි විවිධ විහාර ආරාම හා උයන්වතු කරවා භික්ෂූන්ට අවශ්‍ය පැන් පහසුව සඳහා නාග පොකුණ ද සකස් කරවා දුන්නේය.

මේඝ වර්ණාභය රජු මහා විහාරයට අතිශයින් පක්ෂපාතීව සිටි රජෙකි. ගෝඨාභය රජු විසින් අභයගිරිකයන්ට කළ නිග්‍රහය නිසා එහි වැඩසිටි උස්සිලියාතිස්ස නම් හිමි කෙනෙකු මහත් බියට පත්ව තමන්ට නතුව සිටි තවත් භික්ෂූන් 300 ක් සමඟ දක්ෂිණාගිරි විහාරයට ගොස් එහි අධිපතිත්වය දරමින් සිටි සාගල නම් හිමි කෙනෙකුන් සමඟ විසූහ.

මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකළ පසු මේ පිරිස ජේතවනාරාමයට පැමිණ විසීය. පෙරදී ‘සාගලික’ නමින් හැඳින්වූ මෙම කණ්ඩායම ජේතවනයේ පදිංචි වීමත් සමඟම ‘ජේතවන නිකාය’ බවට පත්විය.

හේමමාලී කුමරිය විසින් මෙරටට දළදා වහන්සේ වැඩමවූයේ කිත්සිරිමෙවන් රජු සමයේදීය. මේ නම් මහසෙන් රජුගේ පුත්‍රයායි. පියා දැරූ මතයම දැරූ මේ පුතා දළදා වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගෙන රාජාරාමයේ ධර්මචක්‍ර විහාරයේ තැන්පත් කළ බව ඉතිහාසයේ සඳහන් අතර වාර්ෂිකව දළදා පෙරහරක් පවත්වා අභයගිරියට දළදාව වැඩමවා පූජෝපහාර කළ බවද සඳහන් වෙයි.

අනුරාධපුර රාජාවලියේ අවසන් රජු වූ පස්වැනි මිහිඳු රජු තෙක් සිහසුන් පත් සියලුම රජවරු මහා විහාරය හා අභයගිරිය අතර පැවැති නිකාය භේදය හා විරෝධී මතවාද අනුව වරින්වර පක්ෂව හා විපක්ෂව කටයුතු කර තිබේ.

අභයගිරිකයන් සතුව තිබූ ශාස්ත්‍රීය දැනුම මෙන් ම කලා හා සෞන්දර්යමය කුසලතාවය අමතක කළ නොහැකිය. අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ, සඳකඩ පහණ සේම මුරගල් කොරවක්ගල්, පෙතිපිළිම වැනි උතුම් වස්තූන් රැසක් ම ජාතිය සතු අමිල සම්පත් බවට පත්වූයේය. ඔවුන්ගෙන් ජාතියට දායද වූ මෙම වස්තූන් අද අපට ශේෂ වුවද සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථ රාශියක් ම කාලය විසින් විනාශ කර දමා තිබේ.

කාලාන්තරයක් තිස්සේ පැවැත එමින් තිබූ මෙම නිකාය භේදය සමගි කොට සංඝ සමාජය සමගි සාමග්‍රියකට පත් කරවනු සඳහා ඉමහත් වෑයමක් දරා ඇත්තේ පොලොන්නරුවේ රජ වූ මහා පරාක්‍රමබාහු රජු විසිනි.

මහ පැරකුම්බාවන් මෙබඳු පියවරක් අනුගමනය කරන්නට ඇත්තේ ඒ දක්වා ම මෙම භික්ෂූන්ගේ නිකාය අසමගිය ඉතා දරුණු ලෙස රට පුරා විසිර පැතිර තිබූ නිසා විය හැකිය.

භික්ෂූන් සමගි කිරීමේ මේ අතිදුෂ්කර හා බැරෑරුම් කාර්යයට රජු අත ගැසුවේ යුගයේ මහා පඬිවරයාණන් ලෙස එවකට ඉමහත් කීර්තියකට පත්ව සිටි ධර්ම විනය පිළිබඳ හසළ දැනුමක් හා අවබෝධයක් ලබා සිටි පඬිවරයකු වූ දිඹුලාගල මහා කාශ්‍යප මහ තෙරණුවන් මූලිකත්වය තබාගෙනය.

එවකට ලක්දිව වැඩ විසූ සියලුම භික්ෂූන් රජ අණින් පොලොන්නරුවට ඒකරාශීකොට ලතා මණ්ඩලය තුළ මුළු දුන් මහා භික්ෂු සම්මේලනයේ මුලසුන දරන ලද්දේ මේ මහා කාශ්‍යප මහ තෙරණුවන් විසිනි.

මේ සංඝ සංශෝධනයෙන් අනතුරුව අභයගිරිවාසීව විසූ ධර්මරුචික නිකාය අතුරුදන් වූයේය. තාවකාලිකව හෝ සියලු සංඝයා හා නිකායන් අතර සමගියක් ඇතිවිය.

දිඹුලාගල මහා කාශ්‍යප මහතෙරුන් විසින් නායකත්වය සැපයූ අනතුරුව ශාසනයේ දියුණුව සඳහා ධර්ම ශාස්ත්‍රීය මහ මෙහෙවරක් ඉටුකළ මහ සඟපරපුරක් නිර්මාණය වන්නට පටන් ගත්තේය.

පොලොන්නරු යුගයේදී ඇති වී ඇති ශාස්ත්‍රීය හා සාහිත්‍යය දියුණුව අරභයා මේ මහා සඟ පරපුර අතිමහත් දායකත්වයක් සැපයීය.

 

Comments