වෙහෙස නිවේ රුව සුරැකේ | සිළුමිණ

වෙහෙස නිවේ රුව සුරැකේ

තවානෙන් පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමේදී පැළ වල මුල් කැඩී යාමේ ඉහළ අවධානමක් ඇත. නමුත් එම පැළවලට නැවත පහසුවෙන් මුල් වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඇත්නම් එලෙස පැළ ගලවා නැවත සිටුවීමේදි ඇතිවන ආතති තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකිය. බටු, මිරිස් වැනි Solanaceae කුලයේ භෝගවලට මේ ආතති තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි හෙයින් ඒවා තවාන් දැමීම සිදු කරයි.

 

ගෙවත්තේ ඇති භෝග අතරින් එළවළු භෝග සඳහා වැඩි වැදගත්කමක් හිමිවේ.මාසික ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වනුයේ එදිනෙදා ආහාරයට ගන්නා එළවළු සඳහාය. එහෙත් එලෙස මිලදී ගන්නා එළවළුවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳවද ගැටලු පැන නඟී. මන්ද වෙළඳපොළෙහි විකිණීමට ඇති බොහෝ එළවළු වගා කොට ඇත්තේ අනවශ්‍ය ලෙස පළිබෝධනාශක යෙදීමෙනි.

බොහෝ විට මේ විකිණීමට ඇති එළවළු නැවුම් බවින් තොරය. සමහර එළවළු තැලී පොඩි වී ගොස් ය. ගෙවත්තේ භෝග වගාවක් අරඹන්නේ නම් එමඟින් තමන්ට අවශ්‍ය නැවුම් බවින් පිරි සෞඛ්‍යාරක්ෂිත එළවළු ආහාරයට එක් කර ගැනීමේ අවස්ථාව ලැබේ. එමෙන්ම දහදිය වැටෙන තෙක් ගෙවත්තේ වැඩි කිරීමෙන් ඔබේ රුව ද ලස්සන වේ. පිටතින් කරන ආලේප කිසිසේත්ම පලක් නැත. රුවට ස්වාභාවික පෙනුමක් දෙන්න නම් ඔබේ ගෙවත්ත වගා කළ යුතුය.

මේ නිසා සුළු පරිමාණයෙන් හෝ එළවළු භෝග වගාවක් ඇරැඹීමේදී සිදුකරන මුලික පියවරක් වනුයේ බීජ සිටුවීමයි. එහිදී බීජ සිටුවීම ක්‍රම දෙකකට සිදු කළ හැකිය.

එනම් බීජ තවාන් කර ලැබෙන පැළ ක්ෂේත්‍රයේ සිටුවීම හෝ තවාන් නොදමා කෙළින්ම බීජ ක්ෂේත්‍රයේ සිටුවීමයි. එළවළු අතරින් සාමාන්‍යයෙන් බටු, තක්කාලි, මිරිස්, මාළු මිරිස්, ගෝවා, සලාද, මල් ගෝවා ආදිය එලෙස තවාන් දැමිය යුතු ඒවාට උදාහරණ වේ. එහෙත් බෝංචි, කව්පි, වට්ටක්කා, කරවිල, මෑ, වැටකොලු, තම්පලා, නිවිති, බණ්ඩක්කා ආදීයේ බීජ කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය.

එමෙන්ම සාරණ, කංකුං, කොහිල මඤ්ඤොක්කා, ගොටුකොළ, බතල මුකුණුවැන්න ආදියේ ද දඬු කැබලි හෝ අතු රිකිලි කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ.

අනෙකුත් භෝග තවාන් දමන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සාමාන්‍යයෙන් සලකා බලන කාරණා කිහිපයක් ඇත.

බීජවල මිල

බීජ සුලභත්වය

බිම් සැකසීමේ ගුණාත්මකභාවය

මුල් නැවත වර්ධනය වීමේ හැකියාව

භෝගයේ වර්ධන වේගය

ඉහළ මිලක් වැය වන බීජ බොහෝ විට තවාන් දැමීම සිදු කරයි. මන්ද තවාන් කාලයේදි ළපටි පැළ ආරක්ෂිතව හොඳින් වර්ධනය වේ. මෙමඟින් සියලුම බීජවලින් පාහේ ගුණාත්මක පැළ ලැබෙන හෙයින් බීජ අපතේ යාම වැළකේ. උදාහරණයක් ලෙස ඉහළ මිලක් වැය කොට මිලදී ගන්නා දෙමුහුම් බීජ වර්ග බොහෝ විට තවාන් දැමීම සිදු කෙරේ.

සුලබ නොවන බීජ වර්ගද තවාන් දැමීම සිදු කරයි. මන්ද කෙළින්ම ක්ෂේත්‍රයේ බීජ සිටුවීමේදි තවාන් දමනවාට වඩා වැඩි බීජ ප්‍රමාණයක් අවශ්‍ය වන නිසාය.

ඉතා කුඩා බීජ කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවනවානම් එම බිම් කඩ හොඳින්ම බිම් සැකසීම කර තිබිය යුතුය. නැතිනම් එම කුඩා බීජ ප්‍රරෝහණයේදි ගැටලු මතු වේ. එමනිසා සලාද වල වැනි කුඩා බීජ ඇති බෝග සැමවිටම තවාන් දැමීමෙන් අනතුරුව ලැබෙන පැළ ක්ෂේත්‍රයේ සිටුවයි.

තවානෙන් පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමේදී පැළ වල මුල් කැඩී යාමේ ඉහළ අවධානමක් ඇත. නමුත් එම පැළ වලට නැවත පහසුවෙන් මුල් වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඇත්නම් එලෙස පැළ ගලවා නැවත සිටුවීමේදි ඇතිවන ආතති තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකිය. බටු, මිරිස් වැනි Solanaceae කුලයේ භෝගවලට මේ ආතති තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි හෙයින් ඒවා තවාන් දැමීම සිදු කරයි. එහෙත් බෝංචි, කව්පි වැනි Leguminosae කුලයේ භෝග එම ආතති තත්ත්වයන්ට සාර්ථකව මුහුණ නොදෙන හෙයින් ඒවා කෙළින්ම ක්ෂේත්‍රයේ සිටුවනු ලබයි.

තවද ඉක්මන් ප්‍රරෝහණ වේගයක් හා වර්ධන වේගයක් ඇති පැළ තවාන් දැමීමක් අවශ්‍ය නොවේ. එහෙත් මුල් වර්ධන අවධියේ (Initial growth stage) සෙමින් වර්ධනය වන පැළ තවාන් දැමීම සිදු කරයි.

නිවසේ පරිභෝජනයට මෙන්ම වෙළඳපොළ ද ඉලක්ක කොටගෙන එළවළු භෝග වගා කරන්නේ නම් නිර්දේශිත මිනුම් වලට අනුකූලව තවාන් පාත්ති සැකසීම කළ යුතුය. එහෙත් නිවසේ කිහිපදෙනාට ප්‍රමාණවත් පරිදි සුළුවෙන් එළවළු භෝග වගාව ආරම්භ කරන්නේ නම් තවාන් පාත්ති සැකසීමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට නිවසෙන් ඉවතලන කිරිපිටි උර, අයිස්ක්‍රීම් කෝප්ප ආදී ප්ලාස්ටික් භාජන යොදා බීජ තවාන් කළ හැකිය .

මෙහිදී මතුපිට පස් හා කොම්පෝස්ට් යන ඒවා 1:1 අනුපාතයට මිශ්‍ර කොට සාදා ගත් වගා මාධ්‍යකින් ඉහත බඳුන් පුරවා ගැනේ. පසුව බීජ කිහිපයක් ඒ මත අතුරා ඊට උඩින් සෙන්ටිමීටරයක පමණ ඝනකමින් යුත් පස් ස්ථරයක් යොදා බීජ වසනු ලැබේ. තවාන් භාජනවල ජල සීරාව රැඳී තිබීම වැළැක්වීම සඳහා භාජන පතුලේ සිදුරු සෑදීම අවශ්‍ය වේ. මෙලෙස තවාන් දැමූ බීජ පැළ තවානෙන් ගැලවීමේදී මුල්වලට හානි නොවන සේ ගැලවිය යුතුය.

කුට්ටි තවාන

තවානෙන් පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමේදි පැළවලට විය හැකි හානිය අවම කිරීමට විසඳුමක් ලෙස කුට්ටි තවාන් ක්‍රමය හැඳින්විය හැකිය.මෙහිදි පැළ සිටුවනු ලබන්නේ පස් කුට්ටි වලය .තවානෙන් පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටවනු ලබන්නේ එම කුට්ටිය පිටින්මය .එවිට පැළයට ඇතිවන්නේ අවම කම්පනයකි.එමනිසාම ක්ෂේත්‍රයේ සිටවූ පසු පැළද හොදින් වර්ධනය වේ.මෙවන් කුට්ටි තවානක් සකසා ගැනීම පහසුය.ඒ සඳහා වගා මාධ්‍ය ලෙස අවශ්‍ය වනුයේ මතුපිට පස් සහ කොම්පෝස්ට් පොහොරය.කොම්පෝස්ට් පොහොර වෙනුවට ආදේශකයක් ලෙස ගොම පොහොර යොදා ගත හැකිය.එහෙත් එලෙස යොදා ගන්නා ගොම පොහොර හොඳින් වියලී දිරාපත් වී තිබීම අතිශය වැදගත් ය.1:1 අනුපාතයෙන් ඉහත රෝපණ ද්‍රව්‍යය ගෙන මනා ලෙස මිශ්‍ර කර ඒවායේ කැට හොදින් පොඩි කරගත යුතුය.මෙම මිශ්‍රණයට ජලය එක් කරමින් එය පදමට අනා සෙ.මී.10ක පමණ ඝනකම හතරැස් කොටුවක් ආකාරයට පිදුරු ඇතිරූ සමතල මතුපිටක් මත අතුරයි.දිනක් පමණ වියළිමට තබා තියුණු සැතක් ආධාරයෙන් සෙ.මී.10ක් දිග හා පළලකින් යුත් කුට්ටි වලට කපා ගැනීම සිදු කරයි.එලෙස කැපූ කුට්ටි තුළ හරි මැද බීජ රෝපණය කෙරේ.මෙම කුට්ටි මතුපිටට පිදුරු වලින් වසුනක් යොදා බීජ පැළ වූ පසු එම වසුන ඉවත් කරනු ලබයි.පැළ නියමිත ප්‍රමාණයට වැඩුණු පසු පිහියක් ආධාරයෙන් පැළය රෝපණය කළ පස් කුට්ටිය පිටින්ම ගලවා ක්ෂේත්‍රයේ සිටුවීම කරයි.මෙමගින් පැළයේ මුල් වලට වනුයේ අවම හානියකි.

ක්ෂේත්‍ර තවාන

ක්ෂේත්‍ර තවානේ පැළ රාශියක් තවාන් කළ හැකිය.එමනිසා නිවසේ අවශ්‍යතාවයට අමතරව වෙළඳපොළද ඉලක්ක කොට ගෙන එළවළු බෝග ගෙවත්තේ වගා කරන්නේ නම් ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ක්ෂේත්‍ර තවානයි.මෙහිදී තවාන් පාත්ති සැකසීමක් සිදු කරන අතර එම පාත්ති සෑදීම සඳහා තෝරා ගත යුත්තේ ජලය මැනවින් බැස යන,හොඳින් හිරු එළිය පතිත වන බිම් කඩකි.එමෙන්ම පත්ති දැමීමට තෝරා ගත් එම බිම් කඩට ජලය සපයා ගැනීම පහසු වීමත් ,රෝග හා පළිබෝධ හානි ඇති වීමට අවම ඉඩ ප්‍රස්ථාවකින් යුක්ත වීමත් වැදගත් වේ.

(තවාන් පාත්ති සැකසීම සහ තවාන් ආශ්‍රිත යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ලබන සතියේදී බලාපොරොත්තුවන්න )

 

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය

 

Comments