මල්වල පැණි අපට බෙදෙන මී මැස්සෝ | සිළුමිණ

මල්වල පැණි අපට බෙදෙන මී මැස්සෝ

අපේ රටේ බිගු විශේෂ 120ක් පමණ හදුනාගෙන හිටියත්, පරිසරයේ බහුලව දක්නට ලැබෙන, පැණි නිෂ්පාදනය සදහා වැදගත්වන බිගු විශේෂ 4ක් හදුනාගන්න පුළුවන්. ඒ තමයි,

1. මීමැස්සෝ( Apis cerana)

2. බඹරු ( Apis dorsata)

3. කනෙයිමැස්සෝ ( Tetragonula iridipennis)

4. දඬුවැල්මැස්සෝ ( Apis florea),

යන බිගු විශේෂ හතර. මෙම බිගු විශේෂ හතර ශරීරයේ හැඩය, වර්ණය හා විශාලත්වය මඟින් පහසුවෙන් හදුනාගත හැකි වුවත්, එය ඇතැම්විට ප්‍රායෝගික නොවන්නේ, ආසන්නයටම ඔවුන්ව දැකගැනීමේ අපහසුතාවය නිසයි (විශේෂයෙන්ම , මීමැස්සන්, බඹරුන් හා දඬුවැල්මැස්සන් මෙලෙස හදුනාගැනීමේදි ගැටලු ඇතිවේ) . එහෙත් මේ බිඟුන්ගේ කැදලි ස්වාභාවය පිලිබඳව නිවැරැදි අවබෝධයක් තිබේනම් එමඟින් ඔවුන්ව වෙන්කර හදුනාගැනීම ඉතා පහසු කටයුත්තක්. එබැවින්, එක් එක් බිඟු විශේෂවල කැදලි ස්වාභාවය පිළිබඳව මුලින්ම අවදානය යොමු කරන්න අපට පුළුවන්.

මීමැස්සන් තම කැදලි හදන්නේ ආවෘත, අදුරු ස්ථානවල. ඒ කියන්නෙ උන්ගේ කැදලි පිටතට විවෘත වෙන්නේ නැහැ. ඔය හුඹස් අස්සේ, ගස්වල තියෙන බෙනවල, ගල් කුහර වැනි ආවෘත ස්ථානවල තමයි මීමැස්සන්ගේ ස්වාභාවික කැදලි බහුලව දකින්න ලැබෙන්නේ. ඒ විතරක් නෙමේ. ඇතැම් විට, නිවාසවල සිවිලිම් ඇතුළත, දුම් කවුලු වල, වැඩි අලෝකයක් නැති කාමරවල මෙන්ම, මේස ලාච්චු වැනි අපි නොසිතන ස්ථානවලද, මීමැස්සන් තම කැදලි සාදන්න පටන් ගන්නව. ඒනිසා තමයි අපේ මුතුන් මිත්තන්ගේ කා‍ලයේ සිටම, මීමැස්සන් ගෙන්වා ගැනීමට, කල, මුට්ටි, කිතුල් කොට වැනි අඳුරු වාසස්ථාන භාවිතා කළේ. මීමැස්සන්ගේ කැදලි වද කිහිපයකින්ම සමන්විතයි. බඹරු හදන්නේත් තනි වදයක්, දඩුවැල්මැස්සන් හදන්නේත් තනි වදයක්. ඉතින් මීමැස්සෝ විතරයි මෙහම වද කිහිපයකින් සමන්විත ජනපදයක් සාදන්නේ.

ඔවුන්ගේ ජනපදයක තිබෙනෙ වද ප්‍රමාණය, ජනපදය ඇති කුහරයේ ප්‍රමානය අනුව වෙනස් වනවා. ඒ කියන්නේ වද ප්‍රමාණය, වද තුනක,හතරක සිට වද දහයක්, දොළහක් අතර ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. ඒ වාගෙම, පැනි වාරයක් එක්ක මීමැස්සෝ රංචු බෙදිලා යන්න පටන් ගන්නවා. එහම බෙදිලා යන රංචු, අතරමඟදි, පාතින් තියෙන අතුවල එල්ලෙනවා. ඒ ඇවිත්,ඇවිත් මහන්සිවුණාාම. ඒවා තමයි අපි, "ගමන් පොදි, ගමන් ගෙඩි" කියලා හඳුන්වන්නේ. ඒත් එයාලා එහම ඉන්නේ ටික වෙලාවක් විතරයි. ආයෙමත් පදිංචිවන්න සුදුසු තැනක් හොයාගෙන යන්න යනවා. ඒනිසා එහම ඉන්න ගමන් පොදි, අනික් බිගු විශේෂ එක්ක පටලව ගන්නත් එපා.

වැලිමඩ, බණ්ඩාරවෙල වගේ පැතිවලට පැණි වාරය ආවම, බඹරු රංචු පිටින් ඒ පැතිවලට ඇදිලා එනවා. එහම ආවම, එල්ලෙන්නේ ගොඩාක් උස රූස්ස ගස්වල. ඉතින්, ඒ ගස්වලම එයාලගෙ ජනපදයත් හදාගන්නවා. ගස්වල විතරක් නෙමේ.

උස ගොඩනැඟිලි වල, පාලම් යට, මේ වගේ කැදලි සාදන්නේ බඹරු. ඒ කියන්නේ, බඹරු තම කැදලි සාදන්නේ, පරිසරයට විවෘත එළිමහන් තැන්වල. ඒ වගේම, පොලොව මට්ටමේ සිට ගොඩක් උඩින්. එයාලා හදන්නේ තනි වදයක් වුණාට, ඒ වදය ගොඩාක් ලොකුවට හදනවා. ඒ වගේම එක ජනපදයක බඹරු ලක්ශ ගානක් ඉන්නවා. මීමැස්සෝ ඇතුලු අනෙක් බිගු විශේෂ, එක ළග වෙන වෙනම ජනපද හදන්න කැමැත්තක් නැතිවුණත්, බඹරු එහම නැහැ. එයාලා එක ලග වෙන වෙනම ජනපද හදාගන්නවා.

ඒවා තමයි කළුපාටට, ගෙඩි ගෙඩි වගේ උස ගස්වල, පාලම් යට, වගේ තැන්වල අපිට පේන්න තියෙන්නේ. ඉතින් බඹරුන්ගේ කැදලි ස්වභාවය, අනික් බිගු විශේෂ වලින් වෙනස් වෙන්නේ ඒ විදියට.

කනෙයිමැස්සන් කැදලි සාදන්නේත්, මීමැස්සන් වාගෙම ආවෘත, අදුරු ස්ථානවල. හැබැයි, මෙයාලා අනික් බිගු විශේෂ වගේ පැහැදිලිව පෙනෙන්න තියෙන වද සෑදීමක් කරන්නේ නෑ. උන්ගේ කැදලි නිකන් කළු පාටට හුරු රතු පාට බෝල බෝල වාගේ. කනෙයිමැස්සන්ට කැදලි හදන්න ලොකු ඉඩක් ඕන නෑ. ඉතින්, ලයිට් මීටර් තියෙන පෙට්ටි අස්සේ, යකඩ බට අස්සේ, බිත්තිවල තියෙන සිදුරු වැනි ස්ථාන වල මෙයාලා තමන්ගේ කැදැල්ල සාදනවා. ඉතින් එයාලව හදුනගන්නනම් ගොඩක් ලේසියි.

දඩුවැල්මැස්සන් හදන්නේ තනි වදයක්. ගොඩාක් වෙලාවට, ගොඩක් දෙනෙක් මේ දඬුවැල්මැස්සන්ව, මීමැස්සන් ලෙස පටලවගන්නවා. මොකද, පෙනුමෙන් මොවුන් බොහෝලෙස මීමැස්සන්ට සමානයි. නමුත්, මතකතියාගන්න, දඩුවැල්මැස්සන් තම ජනපදය හදන්නේ පරිසරයට විවෘත, එලිමහන් තැන්වල. මීමැස්සෝ වගේ අඳුරු අවෘත තැන්වල නෙමෙයි. ඉතින්, මේ කරුණ මඟින්, දඬුවැල්මැස්සන්ව හා මීමැස්සන්ව අපට පහසුවෙන් වෙන්කරගන්න පුලුවන්.

ඒ වාගෙම උන් කැදලි සාදන්නේ, පොලොව මට්ටමට ආසන්නව, ගොඩක් වෙලාවට ගස් අතුවල. එහමත් නැත්නම් පඳුරුවල. මෙයාලා සාදන වදයේ විශාලත්වය සාපේක්ෂව කුඩායි වගේම, ඉන්න බිගු ගහනයත් සාපේක්ෂව කුඩායි.

ඔන්න ඔය විදියට, අපේ රටේ, අපේ පරිසරයේ බහුලව දකින්න ලැබෙන ප්‍රධාන බිගු විශේෂ හතර,එයාලා තම ජනපදය සාදන ස්ථානය හා ජනපදයේ ස්වභාවය අනුව වෙන්කර හදුනගන්න පුළුවන්.

ඉතින්, අද සිට ඔය කිව්ව බිඟු විශේෂ හතරෙහි වාසස්ථාන එකිනෙකින් පටලවගන්න එපා.

ඔය විදියට එක් එක් බිඟු වාසස්ථාන එකිනෙකින් වෙන්කර ගන්නවා වගේම, එක් එක් බිගුන්, පරිසරයේ තනිව සිටින විට එකිනෙකින් වෙන්කර හදුනාගැනීමටද බිඟු පාලකයකු දක්ෂවිය යුතුය. මීළඟ ලිපියෙන්, අපි කතාකරන්නේ ඒ ගැනයි.

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ඉසුරු ලක්මාල් හේරත්

අදහස්