මයිටා කැන්දන වියළි කාල­ගු­ණය | සිළුමිණ

මයිටා කැන්දන වියළි කාල­ගු­ණය

පොල් මිල වැඩිවීම පිළිබඳ තත්ත්වය මේ වනවි සමනය වෙමින් පවතී. සැපයුම ඉක්මවා වූ ඉල්ලුම හේතුවෙන් පොල් මිල ඉහළ ගියද ඊට නියඟය ද බලපෑවේය. කෙසේ වෙතත් මේ නිසා අසීරුවට පත් වූයේ පාරිභෝගිකයාය. පොල්වල මාසික පරිභෝජනය ගෙඩි මිලියන දෙසිය හතළික් වුවත්, එම තත්ත්වය සපුරා ගැනීමට නොහැකි වීමෙන් පසුගිය කාලයේ පොල් පරිභෝජනය පමණක් නොව කර්මාන්ත සඳහා නොමැතිවීම නිසා පොල් සම්බන්ධ කර්මාන්ත විශාල ප්‍රමාණයක් අසීරු තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් අපේ රට මුදා ගැනීම සඳහා කර්මාන්තවලට අවශ්‍ය පොල් පමණක් ගෙන්වා කර්මාන්තකරුවන්ට බෙදා ගැනීමට ගත් තීරණය නිසා දේශීය පොල් කර්මාන්තකරුවන්ද ආරක්ෂා වුණි.

දේශපාලන වේදිකාවේද පොල් සම්බන්ධ කතාබහ පසු ගිය සතියේදී වුණි. එහෙත් මේ සියල්ලට බලපෑවේ ස්වාභාවික හේතු සහ ඉල්ලුම සැපයුම මිල යාන්ත්‍රණය බව අපට මේ වනවිටත් සක්සුදක් සේ පැහැදිලි වී ඇත. දිනෙන් දින කට්ටිවන පොල් ඉඩම් නිසා ද මේ තත්ත්වයට උරුමකම් කියන්නට අපට සිදුව ඇත. ඒ කෙසේ වෙතත් පොල් වෙළෙඳ පොළ වෙත ගෙන ඒමේදී මැදිහත් වන අතරමැදියා ද පොල් මිල ඉහළ යාම කෙරෙහි වගකිව යුත්තෙකි. වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3054ක අවශ්‍යතාවක් අපේ රටට තිබුණ ද එය සපුරා ගැනීමට හැකි වන්නේ පොල් වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීමෙන් පමණි. කැපී යන පොල් ගස් ප්‍රමාණය සහ රෝගවලට ගොදුරු වන පොල් ගස් ප්‍රමාණය ඉවත් වීමෙන් පසු ඇති වන හිඟය පියවීම සඳහා නව වගාවන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මේ වන විටත් පැන නැඟී ඇත.

පසුගිය කාල පරිච්ඡේදයේ පැතිරී ගිය වියළි කාලගුණ තත්ත්වය මයිටා උවඳුරු ව්‍යාප්ත වීම කෙරෙහි ඍජුවම බලපෑවේය. මේ නිසා බොහෝ පොල් කට්ටි මයිටා උවඳුරට ගොඳුරු විය. මයිටා උවඳුර නිසා පොල් ගෙඩි ඉතාමත් කුඩා වන අතර ඉන් ලැබෙන අස්වැන්න අඩු වේ. මෙලෙස මයිටා උවඳුරට ලක් වන පොල් වගාවේ ඵලදායීත්වය ඉතාමත් අඩු වන අතර එය පොල් අස්වැන්නේ සමස්තයට ද බල පා ඇත. මයිටා උවඳුරෙන් ගැලවීමට නම් පොල් වගාව ආශ්‍රිතව තෙතමනය ආරක්ෂා කළ යුතුය. නැති නම් නියං තත්ත්වයක දී මයිටා පැමිණීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. මේ සඳහා වසුන් යෙදීමෙන් තෙතමනය ආරක්ෂා කරගත හැකි අතර මයිටා හානිය ද පාලනය වේ.

පොල් වගාවේ ඵලදාව වැඩි කරගැනීම සඳහා පොල් පර්යේෂණ ආයතනය ඉක්මනින් පල දරන පොල් ප්‍රභේද මේ වන විටත් හඳුන්වා දී ඇති අතර ඉන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. නාගරික ගෙවතු සඳහා පොල් ප්‍රභේද හඳුන්වා දී ඇති අතර නාගරික ජනතාව ද පොල් වගාවට හුරු කිරීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙයින් පොල් ඵලදායීත්වය ඉහළ නැංවා ගැනීමට හැකි වී තිබේ.

පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් මේ වනවිටත් අක්කර පනස්දහසක් පොල් වගා කිරීමට සැලැසුම් කර ඇති අතර මෙය වාර්ෂිකව සිදු කිරිමට බලාපොරොත්තුවේ. මේ මඟින් කැපී යන පොල් ගස් ප්‍රමාණයෙන් ලැබෙන අඩුව පිරවිය හැකියැයි පොල් වගා කිරීමේ මණ්ඩලය අදහස් කරයි. පොල් ආශ්‍රිත නිෂ්පාදන අතුරින් පොල් වතුර සඳහා මේ වන විටත් යුරෝපීය වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇති අතර ඒ සඳහා අමෙරිකාව අපේ ප්‍රධාන ගැනුම්කරු ලෙස ඉදිපත්ව සිටියි. පොල් කර්මාන්තයේ උන්නතිය සඳහා එය යාවත්කාලීනව විවිධාංගීකරණය වීම ජාතික අවශ්‍යතාවකි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා සමඟ කළ

සාකච්ඡාවක් ඇසුරෙනි.

රූපාන්ති බුලත්සිංහල

 

අදහස්