බඩ ඉරිඟු ප්‍රභේද | සිළුමිණ

බඩ ඉරිඟු ප්‍රභේද

අනා­දි­මත් කාලයක සිට ශ්‍රී ලාංකිකයෝ ධාන්‍යමය ආහාරයක් වශයෙන් බඩ ඉරිඟු පරිභෝජනයට ආරම්භ කිරීමට යොමු වුණි. දිවයිනේ වියළි හා අතරමැදි කලාපවල බඩඉරිඟු වගා කෙරෙන අතර අනුරාධපුර, අම්පාර, මොනරාගල, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් වගා කෙරේ.එම ප්‍රමාණය මුළු වගා බිම් ප්‍රදේශයෙන් 75% ඉක්මවයි.දැනට වාර්ෂිකව වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 30000 -50000 දක්වා පමණ වන අතර කිරිඉරිඟු නිෂ්පාදනය සඳහා වසරක් දී එකම භූමියේ තුන් වරක් පමණ බඩඉරිඟු වගා කිරිම, ජල සම්පාදන පහසුකම් සහිත ප්‍රදේශවල සිදුවන බැවින් නිවැරැදි වගාබිම් ප්‍රමාණය මෙයට ඉහළ අගයක් ගනියි.පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බඩ ඉරිඟු ප්‍රභේදයන් ය.

අරුණ

මේ බීජ ලා තැඹිලි පැහැති වේ. පැළ සිටුවීමෙන් පසු, අස්වනු නෙළීම සඳහා දින 90 - 100 (මාස 3)පමණ ගතවේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ. අන්තර් බෝග වගාව සඳහා යෝග්‍යය.යල කන්නයේ වගා කිරීම සඳහා සුදුසුයි.ශාක, මිටි බැවින් ගස් වැටීමට ඔරොත්තු දෙයි.

භද්‍රා

මෙම බීජ තද තැඹිළි පැහැති වේ.බීජ සිටුවීමෙන් පසු අස්වනු නෙළීම සඳහා දින 110 (මාස 3 - 3 1/2) පමණ ගතවේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ. මහ කන්නයේ වගාවට සුදුසුයි.

නිර්දේශිත පරතරය, පැළ ගහනය පවත්වා ගැනීම හා නිසරු ගස් ඇතිවීම වළක්වා ගැනීමට වැදගත් වේ.

මුතු

මෙම බීජ සුදු පැහැති වේ.පැළ සිටුවීමෙන් පසු, අස්වනු නෙළීම සඳහා දින 110 (මාස 3 - 3 1/2) පමණ ගතවේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 5ක් පමණ වේ. මුතු ප්‍රභේදය බේකරි නිෂ්පාදන සඳහා වඩාත් සුදුසුය.

රුවන්

මේ බීජ තැඹිළි පැහැති වේ. පැළ සිටුවීමෙන් පසු, අස්වනු නෙළීම සඳහා දින 110 (මාස 3 1/2) පමණ ගතවේ.සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ.මහ කන්නයේ වර්ෂා පෝෂිත වගාවකට සුදුසුයි. ගස් උස නිසා නිවැරැදි පරතරයට සිටුවීම හා ආලෝකය හොඳින් ලැබෙන පරිසරයක් තෝරා ගැනීම වැදගත් වේ.

විළඳ ඉරිඟු Popcorn (Zea mays everta)

මේ කාණ්ඩයට අයත් ප්‍රභේදවල තද කණිකාමය භ‍්‍රූණපෝෂයක් සහිත වන අතර කුඩා බීජ වලින් යුක්තය.එක් කාණ්ඩයක බීජ උල් හැඩයක් ගන්නා අතර අනෙක් කාණ්ඩයේ බීජ රවුම් හැඩයක් ගනී. බීජ හැඩයෙන් හා වර්ණයෙන් විවිධය. ගසක කරල් කිහිපයක් හට ගැනීමට ඉඩ ඇත. කලින් මේරීමට පත්වේ.තෙතමනය සියයට 10 - 15ක් සහිත බීජ ප්‍රමාණවත් උෂ්ණත්වයක් ලබාදුන් විට පිෂ්ට කණිකා ගිලී පවතින කණිකාමය ප්‍රෝටීන් ජාලයකට මැදිව පවතින මේ තෙතමනය වාෂ්ප බවට පත් වේ.

එම වාෂ්ප පීඩනය අධික පිපිරීමකින් පිටවීමේ ප‍්‍රතිඵලයක් ලෙස පිෂ්ඨ කණිකා ප්‍රසාරණය වීමෙන් විළඳ බවට පත්වේ.හොඳ ගුණාත්මයකින් යුක්ත ප්‍රභේදයක් එහි ප‍්‍රසාරණය 15 - 25 ගුණයකින් වැඩිකර ගනියි.තෙතමනය 8% ට අඩුවෙන් හා 15% ට අධිකව අඩංගු බීජ ප‍්‍රසාරණය වන්නේ 12-13% ක් තෙතමනය සහිත බීජවල ප්‍රසාරණයෙන් අඩක් පමණ වේ.

පැණිරස ඉරිඟු SweetCorn

( Zea mays sachcharata)

පැණිරස ඉරිඟුවල කරල් උදෑසන අස්වැන්න නෙළාගත් පසු හැකි ඉක්මනින් වෙළඳපොල වෙත ප‍්‍රවාහනය කල යුතුය. අස්වැන්න නෙලාගෙන පැය 24ක් ගතවන විට අඩංගු සීනි ප්‍රමාණයෙන් අඩක්ම රසය සමඟ පිරිහෙන්නට හේතුවන බැවින් මෙය ඉතාමත් වැදගත් කාර්යයක් වේ. පැණිරස ඉරිඟු බීජ පාරාන්ධ ස්වභාවයක් ගන්නා අතර මේරිමේදී හැකිලීමට භාජනය වේ.

මේරීමට හා වියළීමට පෙර පැණිරසයකින් යුක්ත වන අතර භ‍්‍රෑණපෝෂයේ සීනි හා පිෂ්ටය දෙකම අඩංගුවීම මෙයට හේතුවයි. සම්පූර්ණයෙන් වැඩුණු පිෂ්ඨ කණිකා නිපදවීමට මේවාට හැකියාවක් නොමැතිවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස සොයාගෙන ඇත. සම්පූර්ණ ඇටයම ටින් කිරීමට හෝ මදය පමණක් සූරාගෙන ටින් කර භාවිතයට ගත හැකි ය. සම්පූර්ණ කරලම තම්බා ආහාරයට ගැනීම වඩාත්ම පොදු ක්‍රමයයි. මේ ඛාණ්ඩයට අයත් ප්‍රභේදවල ශාක සාමාන්‍යයෙන් කුඩාවන අතර කලින් මේරීමට පත්වේ. සත්ත්ව හා කෘමිහානි අධික බැවින් හොඳින් රැකබලා ගත යුතුය.

සම්පත් Sampath

දෙමුහුම් ප්‍රභේදයකි. සිටුවා දින 105කින් පමණ වියළි අස්වැන්න ලබාගත හැකිය. සාමාන්‍ය පාලනය යටතේ හෙක්ටයාරයකින් බීජ ටොන් 5- 6ක් පමණ ලබා ගත හැකිය. වියළි තත්ත්වයන්ට තරමක් ඔරොත්තු දෙයි.ශාක මධ්‍යම උසකින් යුක්තය.කිරි ඉරිඟු හා ධාන්‍ය යන දෙකටම වගා කළ හැකිය.
 

උපදෙස්- ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

Field Crop Research and Development Institute

 

අදහස්