වඳපෙත්තට එරෙහි වෙති | සිළුමිණ

වඳපෙත්තට එරෙහි වෙති

පිරිමින්ගේ වඳ භාවය හෝ මඳ සරු බව ඇති කරන එකම පෙත්තක්වත් මෙතෙක් ලෝකයේ කොතැනකවත් නිපදවා නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කායික රෝග විශේෂඥ සංගමය නි‍යෝජනය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ප්‍රකාශ කරති. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති සහ ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්ද්‍රිකා විජේරත්න මේ බව ප්‍රකාශ කළහ.

“වඳ පෙති මඟින් ස්ත්‍රී-පුරුෂ දෙපිරිසම වඳ බවට පත් කළ හැකිය” යන සාවද්‍ය මතය ජනතාව තුළ ඇති කර තිබෙන අනිසි බිය දුරු කිරීම සිය වගකීමක් ලෙස සලකමින් ඉහත සංගම් නියෝජනය කරමින් විවිධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 143 දෙනකුගේ අස්සන් සහිතව ජනතාවට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබේ. වර්තමානයෙහි පවතින වෛද්‍ය විද්‍යා දැනුම අනුව මෙතෙක් ලෝකයේ කිසිදු රටක පුරුෂයන්ගේ වඳ භාවය ඇති කරන පෙත්තක් හෝ ඖෂධයක් නිපදවා නැතැයි ඒ සංගමය අවධාරණයෙන් කියා සිටියි. එවැනි ඖෂධයක් නිපදවීම සඳහා ඇතැම් රටවල් වසර තිහක් පුරා උත්සාහ දැරූ මුත් තවමත් ඒ උත්සාහය සාර්ථක වී නැති බව වෛද්‍ය උපුල් දිසානායක පැවසීය.

උපත් පාලනය සඳහා භාවිත කෙරෙන සියලු පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ භාවිතය සඳහා පමණක් වන අතර, එමඟින් තාවකාලිකව ගර්භයක් හට ගැනීම වළක්වනු මිස ස්ත්‍රියක වඳභාවයට පත් කළ නොහැකි යැයි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පැවැසුවාය. ස්ත්‍රියක වඳ භාවයට පත් කළ හැක්කේ ඇයගේ ගර්භාශය ඉවත් කිරීමෙන් පමණක් බව නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ලක්ෂ්මන් සේනානායක මහතා පැවැසීය.

කාන්තා යට ඇඳුම්වල යම්යම් රසායනික ද්‍රව්‍ය තැවරීමෙන් ඔවුන්ගේ ලිංගික උත්තේජනය අඩු කිරීමට හෝ ඔවුන් වඳභාවයට පත් කිරීමට හැකියාවක් නැතැයිද වෛද්‍ය උපුල් දිසානායක පැවසීය. ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ගේ සරුබව අඩු කිරීමට හෝ දුරු කිරීමට හැකි උපත්පාලන පෙති, කුඩු හෝ නික්ෂේපන මෙරට හෝ වෙනත් රටවල නැති බවද ඔහු කීය. කාන්තාවකගේ මඳ සරු භාවයට බලපාන සාධක රාශියක් ඇති අතර, වර්තමාන කාන්තාව විවාහ වීමේ වයස් සීමාව ඉහළ යෑම මේ අතරින් ප්‍රධාන වන බව මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පවසයි. මීට අමතරව විවිධ පාරිසරික සාධක, ආහාර හා ජීවන ර‍ට‍ාවේ වෙනස්කම් ස්ථුලතාව, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග දුම් බීම මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයද ස්ත්‍රී-පුරුෂ මඳසරු භාවයට හේතු වන බව වෛද්‍යවරිය කීවාය.

නවසිය අනූව දශකයේ මැද භාගයේදී වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය විසින් ශ්‍රී ලංක‍ාවේ මඳසරු භාවය පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයෙන් එවකට මෙරට පුද්ගලයන්ගෙන් 15%ක් මඳසරු භාවයෙන් පෙළෙන බව හෙළ වී ඇති අතර, වර්තමානය වන විට එම තත්ත්වය බෙහෙවින් ඉහළ ගොස් ඇතැයි ද මහාචාර්ය විජේරත්න පැවැසුවාය.

දිගුකාලීනව පවතින රෝග සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ මඟින් තාවකාලිකව සරුබවට බලපෑමක් ඇතිවිය හැකි නමුත් එවැනි ඖෂධ දරුවන් අපේක්ෂා කරන රෝගීන්ට නිර්දේශ නොකරන බව ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චාන්දනී වනිගතුංග මහත්මිය ප්‍රකාශ කළාය. එවැනි ඖෂධවලින් වුව මඳසරු බවක් ඇති වීමට නම් දිගු කාලයක් පුරා විශාල මාත්‍රාවක් එකවර ලබාගත යුතු බවද මහාචාර්යවරිය පැවසුවාය.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ අවන්හලක ආහාරවල තිබී හමු වූයේ පිටි ගුළියක් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කර ඇතැයි මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය ආහාරයක හෝ වෙනත් පාරිභෝගික භාණ්ඩයක කිසියම් සැකකටයුතු රසායනික ද්‍රව්‍යයක් ඇතැයි සැකයක් මතු වූ කල ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යපරීක්ෂකවරයා දැනුවත් කළ පසු ඔහු විසින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹෙන්නේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් සිදු කරනු ලබන තහවුරු කිරීම අනුව බවත් මහචාර්යවරයා පැවසීය. 

Comments