යුද අවි අත්හළ උතුරේ තරුණයෝ අක්කර 4300ක් වවති | Page 2 | සිළුමිණ

යුද අවි අත්හළ උතුරේ තරුණයෝ අක්කර 4300ක් වවති

උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු ද්‍රවිඩ තරුණ තරුණියන් 3500ක් දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ස්ථිර නිලධාරීන් ලෙස බැඳී රට සරු කිරීමට හා රට සුරැකීමට සිංහල නිලධරීන් සමඟ එක්වී සංහිඳියාවෙන් කටයුතු කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි.

මේ ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් වසර 30 ක් එල්.ටී.ටී.ඊ. නායකත්වය පසුපස ගිය එල්.ටී.ටී.ඊ. ට සම්බන්ධව සිටි අය බවත් ඔහු කීය. සිවිල් ආරක්ෂකයෝ ලෙස එක්වූ සියලු දෙනාට දැන් විශ්‍රාම වැටුප සහිත රුපියල් 30,000 ක් පමණ වැටුප් ලබාදෙයි. මෝටර් සයිකල්, දුරකථන හා නිවාස ණය ද ඔවුන්ට ලබාදෙයි.

මේ අනුව එම ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි විශාල ගොවිපළ 10 ක් පමණ අස්වද්දා තිබේ.

අක්කර 1000 ක් වී වගාවද, අක්කර 1100 බඩඉරිඟු වගාවද ඇතුළු බෝග වගා අක්කර 4300 ක් ඔවුන් අස්වද්දා තිබෙන බවත් රත්නප්‍රිය බන්දු මහතා පවසයි. ගඩොල් නිපැයුම, අත්කම් නියැපුම, විදුලි බුබුළු නිපැයුම් ඔවුහු කරති. එම කටයුතු මඟින් රජය් ඒකාබද්ධ අරමුදලට පසුගිය වසර තුන ඇතුළත රුපියල් දසලක්ෂ 2500 ක් පමණ ලබාදී ඇත. ඊට අමතරව ඉහත නිපැයුම් කඳවුරුවල ප්‍රයෝජනයට ගෙන ඇත.

මේ සිවිල් ආරක්ෂක නිලධාරිනියන් පිරිසක් ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස කටයුතු කරති. ඒ අනුව දැනට උතුරු පළාතේ පෙර පාසල් 583 ක පෙර පාසල් ගුරුවරියන් ලෙස මෙම ද්‍රවිඩ තරුණියන් 1155 ක් ප්‍රදේශයේ දරු දැරියන්ට මූලික අධ්‍යාපනය ලබාදෙන බවත් කර්නල්වරයා කීයා. ඒ සමඟම මේ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සැකකරුවනට පෙරදිග හා අපරදිග සංගීත පුහුණුව ලබාදී සංගීත කණ්ඩායමක් පිහිටුවා ඇත. ඔවුන් ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රචලිත අතර ඔවුන් ජාතික මට්ටමේ සම්මාන ද ලබා ඇත.

ඊට අමතරව මේ පුනරුත්ථාපිත තරුණ තරුණියනට නාට්‍ය ශිල්පය, කරාටේ කණ්ඩායම් හා රූපලාවන්‍ය ශිල්පීන් ලෙස එක්වී තම දස්කම් දැක්වීමට ද අවස්ථාව සලසා දී ඇත. 

Comments