කාන්තා සේවා නියුක්තියට තර්ජනයක් | සිළුමිණ

කාන්තා සේවා නියුක්තියට තර්ජනයක්

 ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදු වෙමින් පැවැතියද, 2010 වසරේදී 41%ක්ව පැවැති මෙරට කාන්තා රැකියා නියුක්තිය 2016 වසරේදී 36% දක්වා පහළ බැස ඇතැයි ලෝක බැංකුව මඟින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

හැකියාවන්ට සුදුසු රැකියා නොලැබීම හා පිරිමින්ට වඩා අඩු වැටුප් තලවලට හිමිකම් කීම වැනි කරුණුද ඔවුන් මෙලෙස රැකියාවලින් ඉවත් වීමට හේතු වී තිබේ. කාන්තාවන් රැකියාවල නියුතු කාලසීම‍ාව තුළ සිය දරුවන් රැකබලාගැනීමට දාරකාගාර පහසුකම් වැඩි කිරීම, ප්‍රසූත නිවාඩු ලබාදීම මෙන්ම අපහසුවකින් තොරව රැකියා ස්ථානවලට ළඟා වීමට ප්‍රවාහන පහසුකම් සලසා දීම කාන්තාවන් රැකියා තුළ රඳවාගැනීමට හා අතිකාල සේවාවල යෙදවීමට උපකාරි වන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

රැකියාවලට යන කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවන් තුළ මුහුණ පාන ලිංගික හිරිහැර හා පීඩාවන් මෙරට රැකියාවල නියුතු කාන්තාවන් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු කාන්තාවන් අතරින් 90%ක්ම පොදු ප්‍රවාහන සේවාවන්හිදී හිංසනයට ලක් වන බව කියති.

එහෙත් ඒ සඳහා පොලීසියේ සහාය පතන්නේ 4%ක් පමණකි. 2015දී ඇරඹුණු මේ දීප ව්‍යාප්ත සමීක්ෂණ සඳහා කාන්තාවන් 2500 දෙනෙක් සහභාගී වූහ. බස් රථ හා දුම්රිය වැනි ප්‍රවාහන සේවා තුළ කාන්තාවන් බොහෝ දෙනකු අශීලාචාර බැලුම්වලට හා ස්පර්ශ කිරීම් හෝ නොසරුප් වදන්වලට හෝ අයුතු යෝජනාවලට බඳුන් වී ඇතැයි එමඟින් හෙළි වී තිබේ. මෙවැනි හිංසන කාන්තාවන්ගේ දෛනික ගමනාගමන කටයුතුවලට මෙන්ම සමාජය හා මිශ්‍ර වීමේ අවස්ථාවන්ට බාධකයක්ව පවතී. මේ බාධක ඉවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කාන්තා දායකත්වය වැඩිපුර ලබාගත හැකි වනු ඇතැයි වාර්තාව සඳහන් කරයි. 

 

අදහස්