කලබල කළොත් උපරිම බලය යොදනවා! | සිළුමිණ

කලබල කළොත් උපරිම බලය යොදනවා!

 රට අස්ථාවර කිරීමේ අරමුණින් හා ජාතිවාදය පැතිරවීමේ අරමුණින් අන්තවාදී සංවිධාන කිහිපයක් විසින් දියත් කර ඇති ක්‍රියාදාමය වැළැක්වීමට උපරිම බලය භාවිත කරමින් අවශ්‍ය නම් දුටු තැන වෙඩි තැබීමට යුද හමුදාවට දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිළුමිණට කීය.

ඒ සඳහා යුද හමුදාව සීරුවෙන් තබා ඇති බවද, පසුගිය සිකුරාදා යම් යම් සිදුවීම් ඇති වන බවට ආරංචි පැතිර ගියත් කිසිදු බාධාකාරී හෝ පීඩාකාරී ක්‍රියාවක් ඇති නොවන්නට වග බලා ගන්න බව තමන් පැවසුවා සේ එවැන්නක් සිදු වීමට ඉඩ නොතැබූ බවද, ඉදිරියේදීත් අවශ්‍ය සුදුසු බලය පාවිච්චි කිරීමට සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද යුද හමුදාපතිවරයා කීය.

පසුගිය දිනවල සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා ජාතිවාදය පැතිරවීමට කටයුතු කර ඇත්තේ විවිධ නම්වලින් පෙනී සිටිනා ජාතිවාදී ව්‍යාපාර කිහිපයක් බවත් ඔවුන් ෆේස් බුක් හා වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සංවිධාන කටයුතු සිදු කර ඇතැයි පෙන්වා දුන් යුද හමුදාපතිවරයා ඔවුන්ට එරෙහිව නීතිය උපරිම පරිදි ක්‍රියාවේ යෙදවිය යුතු බවද කීවේය.

හදිසි නීකිය යටතේ අවශ්‍ය උපරිම බලය භාවිතා කරනු ලබන බව කී හමුදාපතිවරයා යුද හමුදාවේ අවවාද නොතකන ඕනෑම පුද්ගලයකුට එරෙහිව අවශ්‍ය උපරිම සුදුසු බලය යොදා කටයුතු කරන්නැයි සමස්ත හමුදාවටම දැනුම් දී ඇතැයිද ඒ මහතා කීය. 

අදහස්