හිරු නැ‍ෙඟන දේශයේදී අලුත් වූ රාජ්‍ය තාන්ත්‍රික මිතුදම | සිළුමිණ

හිරු නැ‍ෙඟන දේශයේදී අලුත් වූ රාජ්‍ය තාන්ත්‍රික මිතුදම

 හිරු නැ‍ඟෙන දේශය ලෙසින් නම් ලද ජපානය සොබාදහමෙන් සේම, දෙවනලෝක සංග්‍රාමයෙන් ද අතිශය පිඩාවට පත්වූ රටකි. සෞන්දර්යයෙන් අනූන මේ සුන්දර දේශය විපත මැඩ අයෝමය ශක්තියෙන් කෙටි කාලයක් තුළ අදීනව නැ‍ඟී සිටි රාජ්‍යයක් ලෙසින් ද ජපානය වත්මන් ලෝක ප්‍රජාවගේ බුහුමන දිනා සිටී. මිත්‍රශීලිත්වය අගයන ජපන් වැසියා ආගන්තුක සත්කාරයේ දී අතිශය පරිත්‍යාගශීලීය.

විකසිත සකුරා මලින් විචිත්‍රවත් ජපානය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමීප මිතුරෙකි. එම සබැඳියාව වඩාත් සමීප කෙරුණේ 1952 වසරේ දී ඓතිහාසික සැන්ප්‍රැන්සිස්කෝ සමුළුවේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානය වෙනුවෙන් ලෝක නායකයින් හමුවේ දී පැවැත්වූ සුප්‍රකට සැන්ප්‍රැන්සිස්කෝ දේශනයෙනි.

අද එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකියාව ලැබී ඇත.

ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ නිල ඇරයුම පරිදි එහි රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ඉකුත් 12 වැනිදා ය.

ඒ දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ය.

ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ජපාන විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

ජපාන අධිරාජයා වන අකිහිතෝ අධිරාජයා බැහැ දැකීමට ජනාධිපතිතුමා ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරය වෙත ගියේ ඊට පසුදා ය.

එහි දී අකිහිතෝ අධිරාජයාගෙන් සහ මිචිකෝ රැජිනගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ඉතා සුහදශීලි අන්දමින් ජනාධිපතිතුමා පිළිගත් අකිහිතෝ අධිරාජයා දෙරටේ අතීත මිතුදම පිළිබඳ සිහිපත් කිරීමටද අමතක කළේ නැත. එමෙන්ම ජපාන අධිරාජයා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයත් සමඟ දෙරටේ එම අතීත මිතුදම තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එපමණක් නොව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කළේය. හෘදයංගම අන්දමින් අඩහෝරාවක පමණ කාලයක් පැවැති මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජින විසින් ජනාධිපතිතුමා කැඳවාගෙන යෑම විශේෂත්වයක් විණි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තව දුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පැවැති ආයෝජන සමුළුවකට ද ජනාධිපතිතුමා එදින පස්වරුවේ එක්විණි. දෙරටේම ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේ දී දෙරට අතර ආර්ථික බැඳීම තව දුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ පුළුල් අවධානය යොමු කෙරුණි. එහි දී ජනාධිපතිතුමා කියා සිටියේ ක්ෂේත්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප්‍රස්තා රැසක් අද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයින්ට ආරාධනා කරන බවයි.

ඉන් අනතුරුව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) සභාපති හිරෝකි ඉෂිගේ (Hiroyuki Ishige) මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණි. ජපාන වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන සේවාවන් සපයන ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ජෙට්රෝ ආයතනයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කරුණු දැක්වූ සභාපතිවරයා එම කටයුතු ඉදිරියේ දී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිතුමාව හමුවූයේ යේජයිකා ආයතනයේ සභාපති ෂිනිචි කිත ඕකා (Shinichi Kitaoka) මහතායි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තව දුරටත් වැඩි දියුණුකර ගැනීමට අවශ්‍ය ආයෝජන සිදුකිරීමට සූදානම් බවයි එහි දී ජයිකා ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරු ද එදින පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූහ. බෞද්ධාගමික ප්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳව මෙහි දී ගෞරවය පුද කළ ජනාධිපතිතුමා උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සතුට පළ කළේය. නව තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි

අනතුරුව ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමුවුණි. ඔවුන් එහි දී කියා සිටියේ කවුරුන් කුමන චෝදනා නැගුව ද ශ්‍රී ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදා කරලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම ඉතා විශිෂ්ට බවයි. එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට සූදානම් බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිතුමා හමුවුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා නවාතැන් ගෙන සිටි ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල්හෝටලය වෙත පැමිණි එම පිරිස ජනාධිපතිතුමා හමුවී ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික කරුණු ගැන සාකච්ඡාවක නිරත විණි.

ජනාධිපතිතුමාගේ රාජ්‍ය සංචාරයේ සුවිශේෂීම දිනය වූයේ මාර්තු 14 වනදායි. ඒ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව එදිනට යෙදී තිබීමයි. ඊට පෙර තවත් සුවිශේෂි කටයුත්තකට ජනාධිපතිතුමා එදින එක් විය. ඒ ටෝකියෝ නුවර ෂිනගාවා ප්‍රදේශයේ පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් නිරික්ෂණය කිරීමට ය.

අපද්‍රව්‍ය කළමනාකරණයේ දී ඉතා දියුණු ක්‍රමවේදයක් අනුගමනය කරන ජපානයේ ආදර්ශය ශ්‍රී ලංකාවට ලබාගැනීම ජනාධිපතිතුමාගේ අරමුණ වුණා.කසළ කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ කැළි කසළ ගැටළුව විසඳීම සඳහා ද එවන් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය. ඒ පිළිබඳ අවශ්‍ය සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමටයි එකඟතාවය පළ කෙරුණේ. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූයේ එදින පස්වරුවේ ය. ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැඳීම මැනවින් විදහා දක්වමින්. නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතාබහකට එක් වුණි.

ඉන් අනතුරුව පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය දෙරටේ මිතු දම නව මාවතට ගෙන ඒමට ඉවහල් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවවෙනුවෙන් ලබාදියහැකි ඉහළම සහය ලබාදීමට ප්‍රතිඥා දුන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එම වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. එහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය දීමේ දී හැකි සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ජපානය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දෙන සහය අඛණ්ඩව ඉදිරියට ලබා දෙනබවට ද මෙහි දී සහතික වූ අග්‍රාමාත්‍යවරයා එහි දී වරාය සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දෙන බව ද කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහාය තව දුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග්‍රාමාත්‍යවරයා අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සඳහා ද සහාය දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා ගැනීම සඳහා සහය වන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් පළ කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහාය වීමටද ජපාන අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

රටට අවශ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව උදාකර දෙමින් රටේ සහ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගත් නව සංවර්ධන ඉසව්වකට රට ගෙන යමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ තවත් සුවිශේෂි සංචාරයක් ලෙස මෙම ජපාන රාජ්‍ය සංචාරය දැකිවිය හැකියි.

පී.ඒ.එස්. ප්‍රදීපිකා

අදහස්