ලජ්ජාසහගත සතියකින් පසු | සිළුමිණ

ලජ්ජාසහගත සතියකින් පසු

 ඉතිහාසය තුළ එකම සිදුවීම නැවත නැවතත් සිදුවේ. එහි දී පළමුවර සිදුවන අහිතකර තත්ත්වයක් සැලකෙන්නේ ඛේදවාචකයක් ලෙසටය. එහෙත් එයම දෙවන වර සිදුවන්නේ නම් එය සැලකිය හැක්කේ විගඩමක් ලෙසටය. එසේ කියා ඇත්තේ කාල් මාක්ස්ය. මාක්ස්ට අනුව කල්පනා කරන්නේ නම් ලංකාව සැලකිය හැක්කේ විගඩම් අනූන රාජ්‍යයක් ලෙසටය. කිසියම් රටක් හෝ රාජ්‍යයක් බාහිර ලෝකයා විසින් විගඩමක් හෝ විගඩම් රාජ­්‍යයක් ලෙස සලකන්නේ එහි වර්ග ප්‍රමාණය හෝ ඊට අදාළ භෞතික සාධක පිළිබඳ සලකා නොවේ; රටේ ජනතාව සහ එකී ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප හා ක්‍රියාකාරිත්වයන් පදනම් කරගෙනය. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ බාහිර ලෝකයේ තක්සේරුව කුමක් විය හැකිද? බාහිර ලෝකයා කෙසේ සිතුවත් එහි ජීවත් වන අප පුරවැසියන් ලෙස අප ගැනම විනිශ්චයට බඳුන් කරන්නේ නම් අප අපේ රට පිළිබඳව ඇති කර ගත යුතු තක්සේරුව කුමක් විය හැකිද? ඒ කුමක් වුවත් මේ රටේ අනාගතය තීන්දු වනු ඇත්තේ එකී තක්සේරුවෙහි ස්වභාවය අනුවය. ඒ අනුව අප අපගේ අනාගත පරපුරට ද උරුම කර දෙනු ඇත්තේ ද එවන් රටකි.

ස්වයං මෝහනය

ගෙවීගිය සතියේ සිදුවීම් මැනවින් පිරික්සා බැලීම අප අප ගැනම මෙන්ම අප ජීවත් වන රට පිළිබඳව ද තක්සේරුවක් ඇති කර ගැනීම සඳහා කමටහනක් කරගත හැකිය. පසුගිය සතිය ගෙවී ගියේ රටේ දිස්ත්‍රික් දෙකක් තුළ වාර්ගික වශයෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් තුළය. සිදුවී ඇති තත්ත්වයන් මැනවින් විමසා බැලීමේ දී එය ඛේදවාචකයක් බව ඉතා පැහැදිලිය. එහෙත් ප්‍රශ්නය වන්නේ එය අප රට තුළ සිදුව ඇති පළමු හෝ එකම සිදුවීම නොවීමය. මාක්ස්ට අනුව අප එය හුදු විගඩමකට ලඝුකළ යුතු ද නැත. මක්නිසාද යත් අප රටේ සිදුව ඇති අතීත සිද්ධිදාමයන් සැලකීමේ දී ඛේදවාචකයකටත් විගඩමකටත් එපිටට යන විනාශකාරිත්වයේ පත්ළ දකිමින් සිටන ජාතියක් ලෙස අපට අප ගැනම සලකුණු මතුකරන නිසාය. සිය කැමැත්තෙන්ම මෝහයට පත්වෙමින් විනාශකාරිත්වය පරම සැපයට ඇති ඒකායන මාර්ගයක් ලෙස සලකා කටයුතු කරන ජන කොටස් වෙසෙන රටක් ලෙස අප අපටම වර්ග කරගත හැකිය.

ශ්‍රී ලාංකිකයන් වන අප විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජය තමන් පිළිබඳව මහත් උද්දාමයට පත්වන එක් ප්‍රමුඛ හේතුවක් වන්නේ ලොව දීර්ඝතම ලිඛිත ඉතිහායකට හිමිකම් ඇති ජාතියක් ලෙස හා අපටම ආවේණික වූ සංස්කෘතියක් සහිත රටක් ලෙස වර්ග කර ගැනීමට හැකිවී තිබෙන නිසාය. එය සත්‍යයක් වූවත් ඒ සත්‍යය තුළ නූතන ශ්‍රී ලාංකිකයාට අත්පත් කරගත හැකි ගෞරවයක් වෙත්ද යන ප්‍රශ්නය නිතැතින්ම පැන නැ‍ඟෙන්නේ අප එකී ඉතිහාසයෙන් පාඩම් උගෙන තිබේද යන කාරණය සැලකිල්ලට ගැනීමේදීය.

සත්‍යවශයෙන්ම ඉතිහාය යනු, අතීතයට අයත් සෑම දෙයක්ම යැයි සැලකීමේ දී ජනප්‍රවාද, පුරාවෘත හා ලිඛිත සාක්ෂි මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අනුවද සලකා බැලීමේ දී ලාංකිකයාට සාඩම්බර විය හැකි ඉතිහාසයක් තිබේ. පුරාවිද්‍යාත්මක සාධක හා ලිඛිත සාක්ෂි අනුව එය වසර දෙදහසකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසයකි. ඒ සමස්ත ඉතිහාසය පුරා සිංහලයා මෙකී දිවයින තුළ ප්‍රමුඛ හා ශිෂ්ටාචාරගත ජාතියක් ලෙස තමන්ටම අනන්‍යනවූ සංස්කෘතියක් ගොඩනගා ගනිමින් ජීවත්ව ඇතත් එසේ ජීවිතය ගෙවා ඇත්තේ හු‍ෙදකලා ජාතියක් ලෙස නොවේ. විවිධ ජාතීන් හා ජනවර්ග මෙන්ම ආගම් හා සංස්කාතීන් සමඟ උරෙනුර ගැටෙමින් අන්‍යොන්‍ය වශයෙන් සබඳතා සහ අනුගතවීම් ද සිදුකරමිනි. ඒ අනුව ඉතිහාසය පුරා ජාතීන් හා ජනවර්ග අතර ගැටුම් හා සංග්‍රාම ඇතිවීම ඉතාමත් ස්වාභාවික වූවත් ඒ සියල්ලම පාහේ සිදුව ඇත්තේ දේශපාලන බලය මුල්කර ගනිමින් වන බවට සාධක බොහෝය. එසේ නොවන්නේ නම් මේ රටේ ආගමික වශයෙන් වැදගත් වන බොහෝ සිද්ධස්ථාන මෙන්ම අද ද සුරක්ෂිතව පවතින පුරාවිද්‍යාත්මක ස්මාරක බොහෝමයක් විද්‍යාමාන නොවීමට බොහෝ සේ ඉඩකඩ තිබුණි. එමෙන්ම යුරෝපා ජාතියක් වූ පෘතුගිසීන් ලංකාවේ මුහුදුබඩ පළාත් මුල්වරට අත්පත් කරගන්නා අවස්ථාවේ දී සිංහල ජාතියට අමතරව දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග රට තුළ ස්ථාපිත නොවී සිටීම ද බොහෝ ඉඩකඩ තිබුණි.

ගැටුමේ ස්වභාවය

ඒ සමගම අප සබුද්ධික ලෙස තේරුම් ගත යුතු කරුණක් ද තිබේ. එනම් එකට ජීවත්වන ජනවර්ග අතර පමණක් නොව එකම ජනවර්ගයකට අයත් විවිධ කණ්ඩායම් අතර පවා ගැටුම් ඇති විය හැකි බවය. ඒ අනුව අතීතයේ දී ද එවැනි ගැටුම් සිදුව ඇති බවට සාධක බොහෝය. 1896 වසරේ දී හලාවත නගරයේ මුස්ලිම් හා කතෝලික ජන ප්‍රජාවන් අතර ඇතිවී ඇති ගැටුමද එවැන්නකි. 1903 පොසොන් උත්සව සමයේ දී ද අනුරාධපුරයේ දී එවැනි ගැටුමක් ඇති වූ බවට සාධක පවතී. ඒ බෞද්ධ හා කතෝලික ප්‍රජාව අතරය. එහෙත් සිදුවී ඇති එවැනි ගැටුම් සඳහා නිමිති සපයා ඇත්තේ හදිසියේ මතුව ඇති යම් ආරවුල් සහගත තත්ත්වයක් විනා ජාතියක් ලෙස තවත් ජාතියකට හෝ ජනවර්ගයකට එරෙහිව එල්ල කරන සංහාරක උපක්‍රමයක් ලෙස නොවේ. එවැනි පසුබිමක් තිබුණේ නම් අද මෙන් සන්නිවේදන පහසුකම් හා අන්තර්ජාතික සබඳතා අතින් ලබා ගෙන ඇති නූතන ප්‍රගතියෙහි අහලකවත් නොසිටි සමයක ඇතවීමට ඉඩ තිබූ සමූල ඝාතනයක් හරහා ජාතීන් අතර මුල්බැසගත් බද්ධ වෛරයක් ගොඩනැගීමට ද ඉඩකඩ තිබිණි. එහෙත් සත්‍යවශයෙන්ම ජාතීන් අතර මුල්බැස ගත් බද්ධ වෛරයේ සලකුණු අතීතයේ දී මේ රටේ විසූ කිසිදු ජනවර්ගයක් අතර තිබුණු බවට හේතු සාධක කිසිවක් නැත.

1915 කෝලහාලය

එහෙත් මේ තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් පිළිබඳව මුල්ම පැහැදිලි හේතු සාධක සැපයෙන්නේ 1915 සිංහල මුස්ලිම් කෝලහාලයේ ය. එහි දී යම් කාලයක් තිස්සේ පැලපදියම් වූ කල්පිත හා දුක්ගැනවිලි හේතු කරගෙන එවන් ගැටුමකට මග පෑදුණු බව එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් රොබට් චාම්ස් සිය ආණ්ඩුව වෙත යැවූ වාර්තාවන්හි සටහන් කර තිබේ. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගිය ගැටුම් පිළිබඳව ඉතිහාසයේ ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයන්ම යම් පාඩමක් ඉගෙනගත්තේ නම් 1915 සිංහල මුස්ලිම් කෝලහාලය ඒ සඳහා මනා කමටහනක් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණි. එහෙත් අද වන විට මේ රටේ ප්‍රදේශ කිහිපයක සිදුව ඇති ගැටුම් පිළිබඳව සැලකීමේ දී පමණක් නොව නිදහසින් පසු ගෙවීගිය දශක හතක පමණ කාලයේ ගැටුම් පිළිබඳ ඉතිහාසය විමසීමේ දී ද පෙනීයන්නේ අප ඉතිහාසයෙන් පාඩම් උගෙන නැති ජාතියක් ලෙස කැපීපෙනීමට කැමැත්තක් දක්වා ඇති බවය.

විමසිය යුතු කරුණ

සත්‍යවශයෙන්ම නිදහසින් පසු ලංකාව සැලකීමේ දී ජාතීන් අතර මෙන්ම ජාතීන් තුළ ද ගැටුම් ඇතිවීම සඳහා අවශ්‍ය වන බෙදීම් තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය හේතු සාධක අප විසින්ම වර්ධනය කර ගෙන තිබේ. විචාරකයන්ට අනුව සිංහල සමාජය රටේ ප්‍රධාන ජාතිය ලෙස සංඛ්‍යාත්මකව තහවුරුවී සිටියත් සුළුජාතික මානසිකත්වයෙන් යුක්තව කටයුතු කිරීමට දක්වා ඇති පෙළඹවීම ඊට හේතුවක් වී තිබේද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුව තිබේ. ඒ සඳහා බලපාන සමාජ, ආර්ථික හා දේශපාලනික හේතු ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම ඉතිහාසඥයන්ට මෙන්ම නූතන සමාජ විද්‍යාඥයන්ට ද අයත් කාර්යයකි. එහෙත් එහි දී අමතක කළ නොහැකි මෙන්ම බැහැර කළ නොහැකි වැදගත් හේතුවක් මගහැර ඒ කිසිවෙකුට තම විමසුම් ඇස හෙළීමට නොහැකිය. එනම් පරාධීන ජාතියක් ලෙස අප ගත කර ඇති ශත වර්ෂ පහකට ආසන්න කාලසීමාවෙන් අනතුරුව නිදහස් ජාතියක් ලෙස පෙනීසිටීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් නිදහස සඳහා අප ගෙන ගිය ක්‍රියාවලිය තුළ දී ප්‍රදර්ශනය කර තිබේද යන්නය. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ඉන්දීය ජාතික නිදහස් අරගලයට සාපෙක්ෂව අප අනුගමනය කර ඇති ක්‍රියාකලාපය තුළ ජාතික රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා ඇතිකර ගත යුතුව පැවැති පුළුල් එකඟත්වයකට අවශ්‍ය සංවාදයක් හා ඒ සඳහා වන මැදිහත්වීමකින් තොර බලහුවමාරුවක් ඒ තුළ සිදුවුයේ ද යන්නය.

ඒ බව විමසා බැලීමේ දී මගහැර යා නොහැකි කරුණු කාරණා රැසක් හමුවන බව අමතක කළ යුතු නැත. පූර්ව යටත් විජිත සමයේ වැඩවසම් පාලන ව්‍යුහයකට මැදිව ඉන් පීඩා විඳිමින් සිටි ජන කොටස් ගණනාවකගෙන් සමන්විත ජාතියක් පසුව යටත්විජිත සමයේ දී ආගමික වශයෙන් මෙන්ම පොදුවේ ජාතියක් ලෙසට ද පීඩාවට පත්වෙමින් සිට එකී පීඩාවෙන් නිදහස්ව ජාතික රාජ්‍යක් ගොඩනගා ගැනීමේ දී එකී අතීත පීඩාවන් තවදුරටත් අනාගත සමාජයට දායාද නොකරන්නේය යන සම්මුතියකට එළැඹ නොතිබීම තුළ ලබාගත් නිදහස බොහෝ දෙනෙකුට නිදහසක් නොවීම සහ නිදහසක් ලබා නොගත්තේ ද යන ප්‍රශ්නය එහි දී පළමුවෙන්ම විසඳාගත යුතුය. වසර 27 ක දරුණු වාර්ගික යුද්ධයකට මැදිව සිටි සමයේ දී සතුරු පාර්ශ්වය නියෝජනය කළ ජන වර්ගයට එරෙහිව සටන්කාමීව සිටි සිංහල හා දෙමළ ජන කණ්ඩායම් දෙකටම අයත් ජනකොටස් පිළිබඳව සලකා බැලීමේ දී මෙන්ම එහි දී විශේෂයෙන්ම සිංහල ජන වර්ගයේ සහායකයා ලෙස පෙනීසිටිමින් කටයුතු කළ මුස්ලිම් ජන වර්ගයට එරෙහිව මේ වන විට වපුරමින් සිටින අගතීන් පිළිබඳව සලකා බැලීම එහි දී ඉතා වැදගත් වනු ඇත.

ආකල්පයන්හි බලපෑම

සමස්ත වශයක් සැලකීමේ දී මේ ආකාරයේ ගැටුම් නිර්මාණය වීමට තුඩු දෙන සමාජ ආකල්ප පෝෂණය වීම සඳහා ආකල්ප හා මතවාද ගොඩනැගීමේ දී රටේ ප්‍රධාන ජනවර්ගය තීරණාත්මක කාර්යයක් සිදුකිරීම පොදුවේ දැකගත හැකි තත්ත්වයකි. අද වන විට මේ ලෝක තලයේ ජීවත්වන පසුගාමීම ජනකොටස් පවා නොපිළිගන්නා වඳ බෙහෙත් කැවීම, සිංහල කාන්තාවන්ගේ යට ඇඳුම් මත පවා වඳ බෙහෙත් දියර ගල්වා විකුණන්නේ යැයි කියන කිසිදු විද්‍යාත්මක පදනමකින් පැහැදිලි කළ නොහැකි මත තුළට ගුළිවී සිටින ත්ත්වයකට සිංහල ජන සමාජයේ සැලකිය යුතු පිරිසක් අන්ධවී සිටින පරිසරයක, සිංහල සමාජයට රට තුළ සිදුවන මෙවන් විනාශයන්හි වගකීමෙන් නිදහස් වීමට කිසිදු අවස්ථාවක් උදා නොකරයි. ඒ සමගම මේ රටේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ජනමත නායකයන් ද ඇතුළු මේ රටේ දැනුවත් ප්‍රජාව ද මෙවැනි මිත්‍යා ප්‍රබන්ධ හා ජනවර්ගයන්ට එරෙහිව මතුවන මතවාද ඉදිරියේ නිහඬව සිටීම ද මේ ආකාරයේ ගැටුම් නිර්මාණය කිරීමට ප්‍රබල හේතුසාධක සපයා තිබේ.

විනාශයට පෙර

ඒ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය බලය සඳහා ඕනෑම විනාශකාරී ක්‍රියාවකට පෙලඹෙන බලවේගයන් ඒ සියලූ අවස්ථාවන් යොදා ගැනීමට ඉදිරිපත් වීමය. රාෂ්ට්‍ර පාලනයෙන් බැහැර වී බලලෝභී දේශපාලනයක නිරත දේශපාලකයන් පෙරට එන්නේද ආගමික දර්ශනය හා සාරධර්ම පසෙක ලන ආගමික සංකේත ඒ හා සැමවිටම අත්වැල් බැඳ ගන්නේ ද ඒ අනුවය. පසුගියදා අම්පාරේ දී මෙන්ම සිදුවූ විනාශයන්ට පාර කපා ඇත්තේ ඔවුන්ය. එහෙත් එකම ඛේදවාචකය දෙවරක් නොව පුන පුනා වැලඳ ගන්නා ජාතියකට අත්විය හැකි හා අත්විඳීමට නියමිත ඛේදවාචකය අනාගත පරපුර නිර්වචනය කරනු ඇත්තේ හුදු විගඩමක් ලෙස පමණක්ද? එය විනාශයක දොරකඩට වී සිටිය ද ගැඹුරින් විමසා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයකි. නියත වශයෙන්ම මේ රටේ අනාගතය තීන්දු කරනු ඇත්තේ ඒ සඳහා අප ජාතියක් ලෙස සොයා ගන්නා පිළිතුරට සාපේක්ෂවය. ලැජ්ජාසහගතව ගෙවුණු පසුගිය සතියෙන් අපට ලබාගත හැකි පාඩම එයයි.

සුනිල් ජයසේකර

අදහස්