මේ පත විපත මතු විපතක් නොවන්නට! | සිළුමිණ

මේ පත විපත මතු විපතක් නොවන්නට!

 මහනුවර දිස්ත්‍රික්කයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩත්වය ජාතිවාදී ගින්නක් ලෙස පැතිර යනු දැකීමට කැමැත්තෙන් සිටි පිරිස් ද නොවූහයි කිව නොහැක. ආණ්ඩුව ඒ ජාතිවාදී ගින්න මැඩලීම සඳහා ගත් පියවර පිළිබඳ විවේචන තිබුණත් එයින් සිදුවීමට ගිය විපත් අවම කර ගැනීමට සමත් වූ බව කිව යුතුය. සුළු වශයෙන් පැන නැගෙන ප්‍රචණ්ඩත්වයක් ගැටුමක් බවට දිග් ගස්සන නොමනා ක්‍රියාකාරකම් පිළිබඳ කුප්‍රකට ඉතිහාසයක්ද අපට තිබේ. ජාතියක් වශයෙන් මෙන්ම රටක් වශයෙන් තවමත් එක් මිටකට ගොනු වීමට අප අසමත් වී ඇත්තේද එනිසාමය.

මහනුවර දිස්ත්‍රික්කයට සීමා වූ ඇදිරි නීතියක් පනවා පසුව සතියක කාල සීමාවකට රට පුරා හදිසි නීතිය පැනවීම මෙම ගැටුම් මැඩලීමට ආණ්ඩුවක් වශයෙන් ගත හැකි හොඳම පියවර විය. එහෙත් ඊට පෙර අන්තවාදීන්ට හා කළහකාරීන්ට යම් යම් විනාශකාරී ක්‍රියා සිදු කිරීමට හැකි වූ බව රහසක් නොවේ. නීතිය හා සාමය පිළිබඳ ඇමතිධුරය අතේ තබාගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළ ආකාරය පිළිබඳව බරපතල විවේචනද සිදුවිය. එ.ජා.ප.යේම පසු පෙළ මන්ත්‍රීවරයකු වු එස්.එම්. මරික්කාර් චෝදනා කළේ ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වූ බව කියමින්ය. ආණ්ඩුවේ ඇමතිවරයකු වන රිෂාද් බදියුදීන් ඇතුලු කණ්ඩායමක් පාර්ලිමේන්තු සභාගර්භය තුළම එම සිද්ධියට විරෝධය පෑම සඳහා බිම වාඩිවී සිටියහ.

රවුෆ් හකීම් ඇමතිවරයා ඇතුලු තවත් කීප දෙනෙක්ම පොලීසියට දැඩි විවේචන ඉදිරිපත් කළහ. කුමක් වුවත් මේ වන විට ප්‍රචණ්ඩත්වය මැඩලීමට ආණ්ඩුවට හැකි වී තිබේ. සමාජ ජාලා ඔස්සේ ජාතිවාදී ගිනි පුපුරු වීසි කළ අය ගැනද ආණ්ඩුවේ ඇස් යොමුව ඇත. පොලීසියේ හා හමුදාවල 5000කට නොඅඩු පිරිසක් මහනුවර සුරැකීමට රඳවා සිටිතියිද වාර්තා විය.

වර්ගවාදී ගැටුම්වලින් මේ තරම් බැට කෑ රටක් නැතැයි කියන දේශපාලනඥයෝ අපට සිටිති. එහෙත් ඒ වර්ගවාදය වළලා දමා ජාතික සමගිය ඇති කිරීමට මේ දේශපාලනඥයන් ගෙන් කොපමණ පිරිසක් අවංකව ඉදිරිපත් වෙත්ද? ජාතික සමගිය වෙනුවෙන් තම දේශපාලන ජීවිතයේදී කරන ලද කාර්ය භාරය හෝ ඒ සඳහා දෙන ලද දායකත්වය කුමක්ද? යන ප්‍රශ්නවලට මේ අය සිය හෘද සාක්ෂියෙන්ම පිලිතුරු ලබා ගත යුතු වෙති.

කෙසේ හෝ මෙවර රට ගිනි ඇවිලවූ ජාතිවාදයට තුඩු දුන් හේතුව කුමක්ද? මේ විනාශය ඇතිවුයේ ඉතා සුළු සිද්ධියකින් බව පැහැදිලිය. ත්‍රිරෝද රියක පැති කන්ණාඩියක් කඩා ගෙන ලොරියක් ධාවනය වී ඇත. ලොරිය පැදවූයේ සිංහල අයෙකි. ත්‍රිරෝද රියේ ගමන් කළෝ මුස්ලිම් අයයි. ලොරිය ලුහුබැඳ ගිය මුස්ලිම් අය ලොරි රියදුරාට දුන් දඬුවම කෙළවර වූයේ වටිනා ජීවිතයක් බිලි ගනිමින්ය.

මෙතනදී පොලිසිය නිසි ලෙස සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා ඒ සිද්ධිය සමහරුන්ගේ හිත් තුළ කැකෑරෙමින් තිබුණු බවද කියති. සිංහල රියදුරාගේ අවමඟුල දිනයේදී මේ කෝන්තරයේ පළමු ගිනිදැල්ල පිටවිය. අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙණිය වැනි ප්‍රදේශද ගිනි ගැනීම ඇරඹුණි. මේ සියල්ල සිදු වන තුරු පොලිසිය නිකං බලා සිටි බවට චෝදනාවක් ඇත. ඒ පොලිස් ප්‍රතිචාරය ගැන ආණ්ඩුව වෙනම විමර්ශනය කළ යුතුය.

සැබැවින්ම මේ ගින්න ඇවිලී ගියේ සිද්ධියට මැදි වූ පාර්ශව දෙක ජනවර්ග දෙකකට නැතහොත් ජාතීන් දෙකකට අයත් වීම නිසාද? මුස්ලිම්වරුන්ගේ ප්‍රහාරයට සිංහලයකු ලක්වීම සිංහල සිත් රිදවීමකට හේතු වූවාද? කුමක් වුවත් විනාශය සිදුවිය. ජාතිවාදි සර්පයා හිස එසවිය. ඇතැම් විට මෙම ගැටුමට තුඩු දුන් දෙපිරිස එක් ජාතියකට අයත් වූවෝ නම් මේ ගැටුම වෙනත් ආකාරයක ක්‍රියාවක් ලෙස අපට දැක ගන්ටද ඉඩ තිබුණි. කුමක් වුවත් අප ජීවත්වන සමාජය තුළ වර්ගවාදී ඔලුවේ කැක්කුම්වලින් පෙළෙන අය දුලබ නොවෙති. ඒ අසනීපය ඔවුන්ගේ කථා බහෙන් පමණක් නොව යාන වාහන ඇතුලු බොහෝ දේවලින්ද ප්‍රකාශ වෙමින් තිබෙන්නෙකි.

මෙරටේ සිදුවූ බරපතලම වාර්ගික ගැටුම 83 කළු ජූලිය බවට පිළිගැනීමක් තිබේ. එය රට විනාශ කළ ත්‍රස්තවාදී ගැටුමක් ලෙස වැඩී ගිය එකකි. තිස් වසරක යුද්ධයක අමිහිරි මතක අපට ඉතිරි කළ ඒ ගැටුමෙන් පසු එබඳු බරපතල ගැටුම් නොවුවද මේ වර්ගයේ සිංහල - මුස්ලිම් ගැටුම් කීපයක්ම ඇතිවිය. අලුත්ගම හා ගාල්ලද එයට ගොදුරු විය. මෙයින් සති කීපයකට පෙර අම්පාරේදී යළිත් එබඳු ගැටුමකට මුළ පිරිණි. ඒ මුස්ලිම් හෝටලයකදී කෑම සඳහා දුන් ආහාරයකට වඳ පෙති එකතු කර ඇතැයි කියන සිද්ධියක් නිසාය. ආහාර සඳහා වඳ පෙති හෝ කුඩු වර්ග මිශ්‍ර කළ නොහැකි බව හා එබඳු වඳ පෙති විශේෂ නොමැති බව වෛද්‍යවරු කීහ. එහෙත් ඒ වඳ පෙති කථාවට අඳ වූ අය අම්පාර උණුසුම් කළහ. එහිදීත් පොලිසිය අප්‍රාණික වූ බවට චෝදනා නැගුණි.

මේ සියලු තන්හිදීම පොලිසියට චෝදනා එල්ල වන්නේ ඇයි? සුළු සිද්ධියක් ඔඩු දුවන තෙක් පොලිසිය කල් මරන්නේ නම් එය පොලිසිය භාර ආණ්ඩුවේ දුබලතාවක් බවට චෝදනා එල්ල වීම ස්වභාවිකය. දැන් නීතිය හා සාමය පිළිබඳ ඇමතිධුරය භාර වී සිටින රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ දුබලතාවට වහාම පිළියම් යෙදිය යුතුය. කෙසේ වුවද රටේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහා හදිසි නීතිය පැනවීමට සිදුවන්නේ නීතිය අතට ගන්නා අයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටය. රටේ සාමය හා ආරක්ෂාව උදෙසා කවර නීතියක් වුවද ක්‍රියාත්මක කිරීම වැරදි නැත. මේ අතර මහනුවර, දිගන හා තෙල්දෙණිය සිදුවීම් පිළිබඳව ෆේස්බුක් හා සමාජ ජාලා වෙබ් අඩවි මගින් ගලා ගියේ වගකීමකින් තොර හා අසත්‍ය තොරතුරු බවද කිව යුතුය. මේවා ජනතාව වෙතට යාම වැලැක්වීමට ගන්නා පියවර මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජනයක් ලෙස දැනටමත් සමහරු චෝදනා කරති. එහෙත් අද බොහෝ විට බොහෝ දෙනකුගේ අරමුණ තරගයට අසත්‍ය ප්‍රචාරය කිරීම බව පෙනේ. මේවා පසු පසද අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ සෙවනැලි වැටී තිබේ.

අම්පාර හා මහනුවර කැළඹූ සිදුවීම් පිළිබඳ විධිමත් විමර්ශනයක් කළ යුතුය. ජාතිවාදය හා ආගම්වාදය ඇවිලවීම දේශපාලනයේදී තවමත් භාවිත කරනු ලබන නරකම හා අශිෂ්ට ප්‍රවණතාවන් බව අපට පැහැදිලිවම කිව හැකිය. මේ බොහෝ ගැටුම්වලදී ඒවා මහා විනාශ බවට පත් කිරීමට මාන බලන පිරිස්ද සිටිති. ඒ හැම දෙයකම ප්‍රතිඵලය වන්නේ රට අස්ථාවර වීමත්, රට පිළිබඳ ගොඩ නැගී තිබෙන ප්‍රතිරූපය දෙදරා යාමත්ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරටේ රාජ්‍ය නායකයා ලෙස පත් වීමත් සමග ජාතික සංහිදියාව උදෙසා ගත් සාධනීය පියවර කීපයක්ම ඇත. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග සියල්ලන්ටම සමව සැලකීමේ ප්‍රතිපත්තියක් තමන් අනුගමනය කරන බව මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මේ ආණ්ඩුවට රතු එළියක් නිකුත් කළ බව කියන පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පවා සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රතිශතයක් ලැබුණේද මේ ආණ්ඩුවටය. එනිසා ආණ්ඩුව හා සුළු ජනවර්ග අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමේ උපක්‍රමයක් ලෙස මෙබඳු ජාතිවාදී ඇවිස්සීම් සිදු කරන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. සිංහල මුස්ලිම් ගැටුම් අහඹු සිදුවීම් නොව දේශපාලන අරමුණු මත පදනම්ව සිදුවන බවද තේරුම් ගත යුතුය.

හැම ජන කොට්ඨාශයකම අන්තවාදීහු සිටිති. සමහරු ජාතිවාදීහුය. තවත් සමහරු ආගම්වාදීහුය. මොන වර්ගයක අන්තවාදයක් වුවද අවසානය මහා විනාශයකි. 1983 කළු ජූලිය ඉතා සංවිධානාත්මකව දේශපාලන අනුබලය සහිතව පැතිර ගිය මහා විනාශයකි. දෙමළ ජනතාවට පහර දුන් ඒ සිද්ධිය රටට කළ මහා විනාශය කවුරුත් දනිති. වේළුපිල්ලේ ප්‍රභාකරන් නිර්මාණය වූයේ ඒ විනාශයේ ලේ සහ අළු දූවිලි මතින්ය. අදත් එල්.ටී.ටී.ඊ. අවතාර හිස ඔසවන බවද අපි දනිමු. ඒ මතවාදය පරාජය කිරීමට තවම අපට හැකි වී නැත. දෙමළ ඩයස් පෝරාව ලෙස ශ්‍රී ලංකාවට පය තබා හෝ නොමැති පිරිස්ද ඇතුළත් ගෝලීය දෙමළ සංසදය නමැති ජුන්ටාවක් අදත් ජාතිවාදය නඩත්තු කරන බව පැහැදිලිව පෙනේ. ඔවුන්ගේ ගජ මිතුරු සිංහල බෞද්ධ වෙස් බැඳ ගත්තෝද විරලව හෝ සිටිති. මෙයින් පෙනී යන්නේ ජාතිවාදය යනු සිය පැවැත්ම සඳහා පෝෂණය කරනු ලබන බිහිසුණු මකරකු බවය. මෙම ජාතිවාදීන්ට අන්තර් ජාතික වශයෙන් ද යම් යම් අනුබල ලැබේ. ඇතැම්විට අරමුදල් පවා ලබා දෙන බව පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන ජාලය තුළ මේ ක්‍රියාවලියට ලැබෙන තල්ලුව සුළු පටු නැත. රටවල් අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය කිරීමට මේවා උපයෝගී කර ගැනීම බලවත් රටවල අරමුණකි.

මෛත්‍රී ජනාධිපතිවරයා ජාත්‍යන්තර තලයේත්, ශ්‍රී ලාංකික දේශපාලනයේත් මේ ජාතිවාදී, ආගම්වාදී විස නැසීම සඳහා කැපවී සිටින නායකයකු ලෙස පිළිගැනීමක් ඇත. දේශපාලන අවස්ථාවාදීන් විසින් කෙබඳු චෝදනා එල්ල කරනු ලැබුවත් මේ රට බෙදා වෙන් කිරීමට හෝ සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමට හෝ කිසිවිටක ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. ජාතිවාදය හා ආගම්වාදය බල ලෝභී දේශපාලනඥයන්ගේ නවාතැන් පොලවල් දෙකක් බව මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරනු ලබන තවත් අවධාරණයකි. දෙමළ නිජබිම් සංකල්පය මෙන්ම ඉස්ලාම් අන්තවාදයද මේ රට තුළ පැලකිරීමට සමහරුන්ට වුවමනා වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කරන පරිදිම අප කථා කරන භාෂාව කුමක් වුවත්, අප අදහන ආගම කුමක් වුවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ වෙන කුමන හංවඩුවක් ගසාගෙන සිටියත් අප පළමුව සංවේදී මිනිසුන් බවත්, දෙවනුව ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීමේ අධිෂ්ඨානය දල්වා ගත යුතු බවත් අමතක නොකළ යුතුය. සහජීවනය යනු බෙදී වෙන්වීම නොව බැඳී එක්වීම බව අප සිහි තබා ගත යුතුය.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සුළු ජාතීන්ගේ හිත නරක් වීමට හේතුවක් බව කියන අයද සිටිති. ජාතිවාදය හා ආගම්වාදය වරින්වර මතු වන්නේ එම පීඩාකාරී මානසිකත්වය නිසා බවද ඔවුහු කියති. එහෙත් එය සත්‍ය නොවේ. මැල්කම් රංජිත් කාදිනල්තුමා වරක් ප්‍රකාශ කළේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය කිසිසේත් වෙනස් නොකළ යුතු බවය. ශ්‍රී ලංකාවේ බහුතර ජන කොටස සිංහල බවට විවාදයක් නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය හා සභ්‍යවය මත ගොඩනැඟුණු සිංහල ජාතිය සමග දෙමළ හා මුස්ලිම් ජන කොටස්ද දීර්ඝ අතීතයක සිට මෙරටේ ජීවත් වුවෝය. ඔවුන්ටද තමන්ට අනන්‍ය වූ භාෂාවක්, සංස්කෘතියක් තිබේ. මේ යථාර්ථය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් දේශපාලන බලය උදෙසා මෙම යථාර්ථයට පිටුපා භේද වැපිරීමට තැත් කිරීම අද තිබෙන නරකම ප්‍රවණතාවකි. ඉන්දියාවේ අදත් හින්දු උත්තම මත වාදයක් තිබේ. එහි අනිටු ඵලය ලෙස මුස්ලිම්වරු කුපිතව සිටිති. එහෙත් ශ්‍රී ලංකාව එබඳු අන්තවාදයකට ගමන් නොකරන බව අද පෙනේ. වාර්ගික ගැටුම් ඇවිලවීම අද එතරම් පහසු නැත. සමාජ විඥානය ඒ අඳුරු ගුහාවෙන් එළියට ගැනීමට මෛත්‍රී ජනාධිපතිවරයාට හැකි වී තිබේ. එහෙත් පටු දේශපාලන බල අරගලය යළිත් ජනතාව ඒ අඳුරු ගුහාව දෙසට ඇදගෙන යන බවද අප මතක තබා ගත යුතුය.

සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් ඔවුන්ගේ භාෂා, සංස්කෘතික, ආගම් කොටු ඇතුළේ තැබීමේ අරමුණ ඒ හැම ජාතීන්ගේම සමහර නායකයන්ටද තිබේ. ඒ මදිවාට සමහර ගෝත්‍රවාදී දේශපාලනඥයෝ කුල භේදයත් එතනට ළංකර ගනිති. මූලික මිනිස් අයිතීන් සුරැකෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව සකස් වූ පාලන තන්ත්‍රයක් තුළ ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත්විය හැකි සමාජ දේශපාලන වාතාවරණයක් තහවුරු වන තෙක් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් දුරලීම දුෂ්කර බවද අප තේරුම් ගත යුතුය. එසේම භෞතික සංවර්ධනයේ ඉහළ හිණිපෙතට ගියත් අපගේ ආධ්‍යාත්මික දරිද්‍රතාව මෙන්ම දේශපාලන සාක්ෂරතාව දුබල නම් අපට සැබෑ සංවර්ධනයක් අත්පත් කර ගත නොහැක.

මේ අතර කිසියම් රටක ජනවාර්ගික අර්බුද නිතර නිතර මතු වන්නේ නම් එයද යහපත් දෙයක් නොවන බව අප මතක තබා ගත යුතුය. එබඳු අවස්ථා දඩමීමා කර ගනිමින් බලවත් රටවල් අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීමට පෙළඹීමටද බැරි නැත. ඒ පිළිබඳ අමිහිරි අත්දැකීම් ද අපට තිබේ. ගැටුම් නිරාකරණය සඳහා ඉදිරි පත්වන විලාසයෙන් ඒ බලවත් රටවල් අවසානයේදි ලෝකයේ ඇතැම් රටවල් බෙදා වෙන් කළ ආකාරයද අපි දැක ඇත්තෙමු. ජනවාර්ගික විවිධත්වයට ගරු කරන සමාජයක් හා ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යන සමාජයක් ඇති වන තෙක් ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. ගැටුම් ඇතිකර සමාජ අවධානය ඒ දෙසට යොමු කිරීමටද සමහරු කල්පනා කරති. කොමියුනිස්ට් ගින්න නිවා දැමීමට ජාතිවාදී ගින්න ඇවිල වූ නායකයෝද ලෝකයේ සිටිති. එහෙත් අද ජනතාව එබඳු දේශපාලන උගුල් වලට හසු නොවීමට තරම් බුද්ධිමත් බවද සඳහන් කළ යුතුය.

සුමේධ ජයබාහු

අදහස්