අපි හැමෝම තුවාල වුණු මිනිස්සු | සිළුමිණ

අපි හැමෝම තුවාල වුණු මිනිස්සු

 මේ වන විට රට තුළ උද්ගතව පවතින ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියා සම්බන්ධයෙන් කිසියම් කථිකාවක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු. කිසියම් සිදු වීමක් ඇතිවූ විට හිස ඔසවන මේ අන්තවාදී ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට අප තුළද කිසියම් ලාලාසවක් පවතින බව සමාජ මාධ්‍යජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන අදහස් දිහා බලන විට පැහැදිලි වේ. මේ පිළිබඳව තුලනාත්මකව කරුණු දැක්වීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වල්පොල රාහුල ධර්මායතන ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට ආරාධනා කළෙමු. එම සාකච්ඡාව ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

• පහුගිය සති කිහිපය පුරා අහන්න දකින්න ලැබුණ පුවත් එතරම් සුභදායක දේවල් නෙවෙයි අපේ හාමුදුරුවනේ. මේ ඇති වී තිබෙන තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

ඉතාම අවාසනාවන්ත තත්වයක්. විශේෂයෙන්ම හැම ජනකොටස් අතර මේ නිසා කිසියම් බිය මුසු හැඟීමක් ඇති වී තිබෙනවා. ඒ වගේම රට තුළ කිසියම් අස්ථාවර භාවයක් ප්‍රකට වෙනවා. පොදුවේ කතා කළොත් අපි සියල්ලන්ම වසර 30ක පමණ කාලයක් තිස්සේ විශාල ගැටුමකට මුහුණදී, නැවත එවැනි දෙයක් සිදු නොවිය යුතු තැනකයි සිටියේ. විශේෂයෙන්ම සමාජය තුළ සිදු වූ මේ විනාශකාරී ප්‍රචණ්ඩකාරී තත්වයන්ගෙන් අත්මිදී, ඒවායින් පාඩමක් ඉගෙන ගෙන නැවත එවැනි තත්වයක් කරා නොයා යුතු අවස්ථාවකයි, මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙන්නේ. ඉන් මිදීම සඳහා වහ වහා කටයුතු නොකළොත් ජාති, ආගම්, කුලමල, පන්ති භේදයකින් තොරව අපි සියල්ලන්ම විශාල අනතුරකට මුහුණ පානවා.

• අපි අතීතය ගත්තොත් මෙවැනි අවස්ථාවන්වලදී සිහිබුද්ධියෙන් ක්‍රියා නොකළ දේශපාලන අවස්ථාවාදීත්වය නිසා අපේ ජනසමාජයට විශාල වන්දියක් ලෙවීමට සිදු වුණා. අපිට තවදුරටත් එවැනි තත්වයන්වලට මුහුණ දෙන්න ඕනද?

මේ රටේ ජනතාව අපි ලාංකිකයින් ලෙස සිතමින් කටයුතු කරන්නේ කොහොමද? කියන දේ ගැන කල්පනා කළ යුතු වෙනවා. ඒ වගේම අපි සාමූහිකව හිතල මේ තියෙන තත්වයෙන් එළියට එන්නේ කොහොමද? කියල කල්පනා කරල බලන්න වෙනවා. සිංහල දෙහළ මුස්ලිම් බර්ගර් මැලේ විදියට නෙමෙයි අපි සමස්ත ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත ජාතියක් ලෙස සිතමින් කටයුතු කරන්න වෙනවා. ඒ අතින් අපි හරිම අවාසනාවන්ත තත්වයකයි ඉන්නේ.

දැවැන්ත ණය බර, රැකියා වියුක්තිය, පැහැදිලි ආර්ථික සැලැස්මක් නැති කම, මේ හැම ක්ෂේත්‍රයක් ගත්තහම බොහොම අස්ථාවර තත්ත්වයක අපි ඉන්නේ. මෙතනදි අපි සාමූහිකව හිතමින් සමූහගතවෙමින් යන උත්තරයක් සොයනවා විනා එකිනෙකාට චෝදනා කර ගනිමින් බෙදෙනව සහ අභ්‍යන්තරිකව ගැටෙනව කියන්නෙ අපේ පිරිහීම වේගවත් වෙනවා. උදහරණයක් ලෙස මෙහෙම ගැටුම් ඇතිවෙන කොට ඒක රටේ ආර්ථිකයට බලපානවා. ආයෝජනවලට බලපානවා. විදේශ සංචාරකයින් එන එකට බලපානවා. මේ නිසා කොටස් වෙළෙඳපළ බිඳ වැටෙන්න පටන් ගන්නවා. මේ සියල්ලක්ම රටේ ආර්ථිකයට බලපාන කොට, තියෙන දුගී බව තවත් ඉහළ යනවා. මේ හැමදෙයක්ම කල්පනා කරල බලද්දි අපි ප්‍රශ්නයෙන් ගොඩ එන මාවත සොයා බලනව වෙනුවට, මේ ප්‍රශ්නය ගැඹුරින් බලනවා වෙනුවට මතුපිටින් බලා කටයුතු කරන ආකාරයකුයි පෙනෙන්නට තිබෙන්නේ.

• ඔබ වහන්සේ ඉතාම හොඳ ප්‍රවිෂ්ටයකට පැමිණියා. ඒ මේ රටේ පවතින සැබෑ ආර්ථික ගැටලුවලට විසිඳුම් නොදී මේ ප්‍රශ්නය විසඳීමට යාම ඵලක් නොවනව වගේ අදහසක්. ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කළොත්?

මම පෞද්ගලිකව කවුරුන් හෝ විවේචනය කිරීමට කැමති නැහැ. මම දකින්නේ පීඩිත භාවය මේ සමාජය තුළ මුල්බැසගෙන තිබෙනවා. රැකියා වියුක්තිය තිබෙනවා. උදාහරණයකට මේ ගැටුම් දිහා හොඳින් අවදානය යොමු කරාම අපිට පේනවා, මේ ගැටුම්වල ඉදිරියෙන්ම ඉන්නේ රැකියා විරහිත තරුණ පිරිස් බව. ඒ නිසා රැකියා වියුක්තිය එක්ක මේව සම්බන්ධයි. ෙම්වා එකිනෙකට සම්බන්ධයි. එතකොට රැකියා නැහැ, අධ්‍යාපනික වශයෙන් සාර්ථකවෙලා නැහැ. එතකොට ඒ කණ්ඩායම් හිතන්නේ අර මිනිහට හරි ගිහිල්ලා අපිට අවස්ථාවක් නැහැ. උන් මේ රටේ නැති වුණොත් උඹලට හරියනව කියල කිව්වාම, ඒක ඒ අයට හුඟක් ළඟයි. එහෙම ගත්තොත් මේ ප්‍රශ්නය හරිම ගැඹුරුයි. ඒ ඇත්ත සමාජ ප්‍රශ්නය තමයි මේ විදියට මතුපිටට එන්නේ. මෙන්න මේ ප්‍රශ්නවලටයි උත්තර හොයන්න ඕන. එහෙම විසඳුම් දීල තිබුණ නම් මේ අය මේ විදියට සංවිධානය කරන්න බැහැ. අපි කිසියම් සමීක්ෂණයකට භාජනය කරල බැලුවොත් මේ අය ස්ථීර රැකියාවක් ඇති පිරිසක්ද කියල ඒක හොඳ නියැදියක් වේවි, මේ ගැටලුවට ප්‍රවිෂ්ට වෙන්න. මොකද අපට නොපෙනෙන විශාල සමාජ ප්‍රශ්නයක් මේ තුළ තිබෙනවා. ඒවා විවිද ආකාරයෙන් ප්‍රකාශයට පත්වෙනවා කියලයි මට නම් පේන්නේ. ඒ ප්‍රකාශ වන විදිය විසින් අර ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. මෙමඟින් වෙන්නේ ඇත්ත සමාජ ප්‍රශ්නය තවදුරටත් වැඩි වෙන එකයි. රටේ ආර්ථිකය තව තවත් පිරිහෙන්න රැකියා ව්‍යුක්තිය වැඩි වෙනවා. ඒ කියන්නෙ මෙවැනි පිරිස් තව තවත් වැඩිවෙන එකයි. ඒකෙන් මේ ප්‍රශ්නයත් තව තවත් උඩුදුවනවා. ගැඹුරු සමාජ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක මතුපිටට ප්‍රකාශවන විදිය විසින් සිදු කරන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය තිවූර කරන එකයි.

• ඇත්ත සමාජ ප්‍රශ්නය කතා නොකර, එයට මතු වෙන්න ඉඩ නොදී වෙනත් ගැටලුවක් එතනට ආදේශ කරල මේ අයව කිසියම් පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙහෙයවන කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉන්නවා නේද?

මේ රටේ පවතින ඇත්ත සමාජ ප්‍රශ්න මේ විදියට කළමනාකරණය කරන්නේ මේ රටේ නොදියුණු දේශපාලන පක්ෂ. එය ඉතිහාසයේ පටන් මේ දක්වා මේ රටේ සිදු වෙනවා. සිංගප්පූරුව ලංකාව ආදර්ශයට අරන් ලංකාව වෙන්න ඕනෙ කියල හිතපු කාලේ ඉඳල ආපු ගමන දිහා බැලුවාම අපිට ඒක හොඳෙට පේනව. මේක තමයි ලංකාවේ තියෙන ඇත්ත ප්‍රශ්නය. තියෙන ප්‍රශ්නය හඳුනගෙන ඒකට විසිඳුම් සොයනවා වෙනුවට ඒකේ වැරැද්ද එකිනෙකා පිට පටවමින් මිනිස්සු එකිනෙකා කාකොටා ගන්නා තත්වයකට යොමු කරල, තමන්ගෙ පටු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්නවා. කාටවත් මේකෙන් සෙතක් වෙන්නේ නැහැ.

• එසේ නම් ස්වාමීන්වහන්ස ජනතාව මේ අවස්ථාවාදී දේශපාලන ධාරවන්ට හසු නොවී තමන්ගෙ ඇත්ත ප්‍රශ්නය මතුපිටට ගෙන්න කටයුතු කරන්න ඕනෙ කොයි ආකාරයටද‍?

ඒ සඳහා මිනිස්සුන්ට හිතන්න පුළුවන් ආකාරය පිළිබඳව දැමේවත් කරන ලොකු සංවාද, සාකච්ඡා අවශ්‍යයයි. අදහන්න පුදපූජා කරන්න නෙමෙයි, යමක් දිහා විමර්ශනශීලීව බලන්න හිතන්න ඔවුන් යොමු කළ යුතුයි. අපේ අධ්‍යාපනයෙන් ඒක ලැබෙන්නේ නැහැ. පාසල් යනකොට ප්‍රශ්න අහන විමර්ශනශීලී දරුවා පාසලෙන් පිටවෙන්නෙ ප්‍රශ්න අහන්නේ නැති දෙයක් දිහා විමර්ශන ශීලීව නොබලන දරුවෙක් වෙලා. ඊට පස්සෙ විශ්ව විද්‍යාලෙට යන්නේ මේ මොනවත්ම නැති දරුවෙක්. එනිසා ඇතැම් කණ්ඩායම්වලට ඔවුන්ව මෙහෙයවන් පහසුයි.

පුංචි කාලෙ විශාල පිබිදීමක් උනන්දුවක් ඇතිව සිටි දරුවා, ඒ කිසිම දෙයක නැති දරුවෙක් බවට අධ්‍යාපනය විසින් පත් කරනවා. ඇත්තෙන්ම අධ්‍යාපනයෙන් වෙන්න ඕන, ඒ ප්‍රශ්න කිරීම විමර්ශනශීලීබව තවදුරටත් වැඩි දියුණු කිරීමයි. නමුත් අවාසනාවකට වෙන්නෙ ඒවා අධ්‍යාපනය හරහා මර්දනය වීමයි.

මේකට මම ගුරුවරුන්ට දොස් කියන්න යන්නේ නැහැ. මොකද සැබෑ ගුරුවරයෙක් බිහි කරන නිසි ක්‍රමවේදයක් නැහැ. මේ නිසා මේක එකිනෙකට ගැට ගැහුණු ගොඩ යන්න බැරි විශම චක්‍රයකට වැටිල තියෙනවා. එතකොට හරිම ලේසියි මේ ගොඩ එන්න බැරි, විසඳුමක් නැති තත්ත්වය එකි නෙකාට විරුද්ධව පෙන්වා දෙන්න. ‘මේක වෙන්නෙ මේ අය නිසා. ඒකයි උඹලට මෙහෙම වෙලා තියෙන්නේ‘ ආදීවශයෙන් මේ තත්වය පාවිච්චි කරන්න පුළුවන්.

• මේ අධ්‍යාපන ක්‍රමය හරහා අනෙකා පරයා තමන් ජයටැඹ කරා යන්නේ කොහොමද කියන පටු ආත්මගත මනෝභාවයකින් තමයි කුඩා කලපටන් මේ දරුවා හැඩ ගැහෙන්නේ. වැඩිහිටියෙක් ලෙසත් ඔහුගෙන් ප්‍රකට වෙන්නේ මේ මනෝභාවයමයි. රටේ ප්‍රධාන ආගම බවට පත්වෙච්ච බෞද්ධ ධර්ම මාර්ගය අපට උපදෙස් දෙන්නේ, මේ මමත්වය පරාජය කර අන්‍යෝනය වශයෙන් අල්පේච්ඡ ලෙස එකට ජීවත් වන ආකාරයයි. මේ කාර්යයේදී බෞද්ධ භික්ෂුව ඒ සඳහා අසමත් වී ඇති බවට චෝදනාවක් නැගෙනවා නේද?

ඔව්, නමුත් මම මේ කාටවත් චෝදනා කරන්නේ නැහැ. මෑත අවුරුදු පනහක පමණ කාලය ගත්තහම පෙන්න තියෙන දේ තමයි, අපි ඒකිනෙකාට පාඩම් උගන්වන්න බිය වැද්දීම කළා. ඒක හැමෝම කළා. අපි උතුරේ ඇති වුණ යුද්ධය ගත්තොත්, යුද්ධයට සම්බන්ධ පිරිස් හිතාමතාම සමජය ත්‍රස්ත කිරීමට අදාළ සියලු දේම කළා. මළ මිනී ප්‍රදර්ශනය කිරීම, ගම්වලට වැදිල පහරදීම, බෝම්බ පිපිරවීම මේ සියල්ල ඇතුළෙ ත්‍රස්ත කිරීම පිළිබඳ ඉඟියක් සමාජයට ලබාදුන්නා. 87 ආයුධ අතට ගත්ත ජනතා විමුක්ති පෙරමුණත්, ප්‍රා, කළුබලල්ලු... ආදී සංවිධානත් ඒකම කළා. හමුදාවත් ඒකම කළා. මරලා පුච්චලා හන්දිවල දැම්මා. මිනිස්සුන්ගෙ ඔළු කපල වැටවල ගහල සමාජය මුලුමනින්ම ත්‍රස්තකරණය කළා.

ගැටුම් ඉවරයි කියල උදම් ඇනුවට මේ කරපු හානිය නිසා ඇති වෙච්ච තුවාල සහිත සමාජයක් මේ ඉන්නේ. ඒ අයගෙ මනෝභාවය ත්‍රස්තකරණයට (බියවැද්දීමට) ලක්වූවක්. නමුත් ශරීර වශයෙන් බැලුවම මේ කාටවත් එහෙම ලෙඩ නැහැ. හොඳට ඇඳල මේකප් දාල, සුවඳ විලවුන් ගල්වල මේ අය ඉන්නේ. එහෙම පිටින් පේන්න කිසිම ලෙඩක් නැහැ. නමුත් ඇතුළතින් බරපතළ විදියට මේ හැම කෙනෙක්ම තුවාල සහිතයි. මේ ඉන්නේ ඒ ව්‍යාධිගත පුද්ගලයින්. හමුදුරුවො කියන්නෙත් විශාල ලෙස තුවාල වුණු කෙනෙක්. මොකද ඔය ත්‍රස්ත කිරීමේ පණිවිඩය හාමුදුරුවරු ඉලක්ක කරගෙනම සිදු කළා. ඒ නිසා භික්ෂුව කියල වෙනසක් නැහැ. ඔහුත් මේ සමාජයේම කොටස් කරුවෙක් විදියට ඍජුවම මේ ත්‍රස්තකරණයට ලක්වෙච්ච කෙනෙක්. 87-89 කාලෙත් හාමුදුරුවරු හත්සීයක් අටසීයක් විතර මියගියා. ධර්ම චක්‍රමුද්‍රාව වැනි විවිධ වධයන්ට පමුණුවනු ලැබුවා. ඉතින් මේ තුවාල සහිත ස්වාමීන්වහන්සේලා තුළ පවතින ආකල්ප අනුව ගත්තහම බෞද්ධ දර්ශනයට සාපේක්ෂව සම්පූර්ණයෙන් වෙනස්ම එකක්. ඉතිං මේක විසඳන්න ඉන්න කට්ටියත් ලෙඩ්ඩු ටිකක් නම් අපි මොකද කරන්නේ.

මේ දේ අපි ඕක්කොම එකතු වෙලා කතා කරල, ඔක්කෝටම තුවාලයි කියල පිළිගන්න පුළුවන් නම්, හොඳ ප්‍රවිෂ්ටයකට අපිට එන්න පුළුවන්. එතකොට සුවපත් වෙන්නෙ කොහොමද කියලා අපිට කතා කරන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ තුවාල සහිත අය තුවාල සහිතව වැඩ කරන එකයි. එතකොට වෙන්නෙ ඒකෙන් තව තව තුවාලය නරක අතට පත් වෙනවා. ඔහුට සමාජ නායකත්වයක් ලැබෙනවා. ඒත් සමාජ නායකත්වය හිමි කෙනා සුවපත් වී නැහැ. ඔහු භෞතිකව මුහුණ දීපු තත්වය විසින් ඔහුගේ මනෝභාවය මෙහෙය වෙනවා. ඔය විදියෙ පිරිසක්ම තමයි ඔය තැන්වල නියෝජනය වෙන්නේ. මේක සිංහල බෞද්ධ පිරිසකට විතරක් උරුම වෙච්ච සුවිශේෂ මනෝභාවයක් නෙමෙයි. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම තුළම ප්‍රකට වන මනෝභාවයක්. ඉස්ලාම් භක්තිකයින් ගත්තොත් ඔවුන්ට මේ ත්‍රස්තකරණය (බිය වැද්දීම) දේශීය වශයෙන් පමණක් නොවෙයි, ලෝක මට්ටමිනුත් බලපා තිබෙනවා. ඔවුන්ගේ ආගම ජාතිය නැති වෙයිද කියන තර්ජනයක් ඔවුන් තුළ තිබෙනවා. තමන්ට හැමෝම ගහන්න බලාගෙන ඉන්නෙ කියල හිතෙන මනෝභාවයක් ඔවුන් තුළ තිබෙනවා. ඉතිං එක අතකින් ඔවුන් විශාල වශයෙන් කඩාවැටිල පීඩනයට පත්වෙලා සිටිනවා. ඒ නිසා මේවා පිළිබඳව ගැඹුරින් කල්පනා කර කටයුතු කරන්න ඕන. මොකද අපි හැමෝම තුවාල කාරයො.

• මෙතනින් ඉදිරියට යන්න නම් අපිට පුළුල් මතවාදයක් සමාජ ගතකරන්න අවශ්‍යවෙනවා. ඒ සඳහා අවශ්‍ය මතවාදීමය අවකාශය අපිට තියෙනවාද? එහෙම නැත්තම් අපි ඒ අවකාශය නිර්මාණ කරගන්නේ කොහොමද?

මුලින්ම අපිට මෙහෙම දෙයක් වෙලා තියෙන බව පිළිගන්න ඕන. ඒක ඕනම කෙනෙක්ට පැහැදිලි කරොත් තේරේවි. උදාහරණයකට අන්තර්ජාලයට පිවිසිලා යුටියුබ්වල 'JAFFNA Mother severly beats 6 year old Daughter ' හොයල බැලුවොත් (දැන් මේක ඉවත් කරලද දන්නෙ නැහැ) එහි තිබෙන්නේ මවක් වයස අවුරුදු 06ක දරුවකුට පහර දෙන සිද්ධියක්. කෙනෙක් මේක වීඩියෝ කරල අන්තර්ජාලයට යොමු කර තිබුණා. පසුව ඒ අම්මව අත්අඩංගුවට ගත්තා. මේකෙදි පෙනුණු දේ තමයි, ඒ අම්මා මේ දුවට දඬුවම් කරන්නෙ ඉතාම අමානුෂික ආකාරයකට. ඒ දෙස අපට බලාගෙනවත් ඉන්න බැහැ. නමුත් අපි මේ සිද්ධියේ අභ්‍යන්තරයට අවධානය යොමු කළොත් මේ අම්මා පසුගිය කාලෙ යුද්ධයට මුහුණු දුන්න අම්මා කෙනෙක්. ඇය ඒ අත්දැකීම නිසා බරපතල විදියට මානසික වශයෙන තුවාලවෙලා ඉන්නේ. මේ දරුවට දෙන දඬුවම එයා කළ වැරැද්දට එහාගිය දඬුවමක්. ඇය තමන්ගෙ ඇතුළත තිබෙන වෛරයක් පීඩනයක් මේ දරුවා මතින් පිට කරනවා. දැන් අපිට ඉතාම හොඳින් පැහැදිලියි තුවාල සහිත කාන්තාවක්, ඇය සුවපත් නොවීමේ ගැටළුව මේ ආකාරයට ප්‍රකාශයට පත්වෙනවා. නමුත් මේ විදියේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්වලට මුහුණ දෙන වාර්තා නොවන දරුවන් උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර හැමතැනම ඇති. මෙවැනි තත්වයන්ට මුහුණදෙන දරුවන් තවත් අවුරුදු විස්සක් විතර යනකොට වැඩිවියට පත්වෙනවා. ඒ දරුවො කවදාවත් නිරෝගී දරුවන් වෙන්නෙ නැහැ. ඒ ළමයත් බොහොම දරදඬු කෙනෙක් බවට පත්වෙනවා. නමුත් එයාගෙ දරුණුකමට හේතු අපිට පෙන්නේ නැහැ. අම්මගෙ තත්තවය අපි දැක්කට දරුවගෙ තත්ත්වය අපි දන්නෙ නැහැ. මේක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

මෙන්න මේ තත්ත්වය අපිට පිළිගන්න පුළුවන් නම් අපි ඉන්නේ කොතනද කියල තේරුම් ගන්න පුළුවන්.

පෘතුගීසි කාලෙ අසවේදුල වගේ අය විසින් විශාල ලෙස බෞද්ධ හා හින්දු ජනතාව විනාශ කළා. මේ අවස්ථාවේ භික්ෂූන් තමන් වඳ වීමට යන පිරිසක්ය යන බිය ඇති වුණා.1818 කැරුල්ල වෙලාවේ වයස 16ට වැඩි සියලු පිරිමින් ඝාතනය කළා. කුඩා දරුවොයි ගැහැනු උදවියයි ඉතුරු වුණා. එතකොට නැවත වතාවක් විනාශවීම පිළිබඳ අත්දැකීම ලැබුවා. අදවගේ වීඩියෝ ඒ කාලෙ නැති නිසා ඒ තත්වය අපිට දකින්න නැහැ. අර උතුරේ නන්දිකඩාල් කලපුව හරහා පණබේරගෙන දුවපු විදියටම, වෙල්ලස්සේ ගැහැනු මිනිස්සු ළමයි මහළු මවුපියො පණ බේරගන්න එදා දුවන්න ඇති.

කෝපායි අම්මාගේ ඇති වුණු තුවාලය වගේ තුවාල තියෙන අම්මලා දහස් ගණනක් මේ කැරලි කාලයේ ඉන්න ඇති. ඒ අය සතුව පැවති බිය මුසු වෛරය පරම්පරාවෙන් පරම්පරාවට එන්න ඇති. මේ ඇතිවෙන පරම්පරා හැම එකකම ඉන්නේ නිරෝගී දරුවෙක් නෙවෙයි. නමුත් අපි දන්නේ නැහැ මේ දරුවො ඇයි මේ තරම් ප්‍රචණ්ඩ කියලා. අපිට පිටින් පේන්න මුකුත්ම නැහැ. නමුත් මේ ඉන්නේ අවුරුදු හාරසීයක් විතර තිස්සේ මෙහෙම තුවාල සහිතව එන පිරිසක්.

එතකොට අපි 1948 නිදහස ලබල 1958 වෙනකොට ලේ වැගිරීමකට යනවා. මේ විදියට 71,83, 87-90,91-2009 දෙදහස් නවය ඉවරවෙලා ටික දවසයි 2014 නැවත දර්ගා නගරයේ මේ ප්‍රචණ්ඩත්වය මුදාහැරෙනවා. මේ කාලය ගැටුම් අවස්ථාවලින් බෙදල බැලුවාම පේනවා, අපි සාමකාමීව, ලේ වැගිරීමක් නැතුව ජීවත්වෙලා තියෙන කාලය උපරිම අවු07ට අඩුයි. මෙන්න මේ තත්වය අපි දකින්න ඕන. මේ නිසයි මම කියන්නේ සුවපත් නොවුණු සමාජයක්, තුවාල සහිතයි. එනිසා තුවාල සහිත මිනිස්සු දිගින් දිගටම අනෙකාට තුවාල කරමින් ඉන්නේ. මේ නිසා එකිකෙනාට තුවාල කරගන්න එක නවත්තලා, අපි ඔක්කෝටම තුවාලයි මේ විදියට තවදුර යන්න බැහැ කියල අපි පිළිගත්තොත් අපිට පුළුවන් වේවි මම කොහොමද අනෙකාට තුවාල නොකර මේ තුවාල සුවපත් කරගන්නෙ කියල හිතන්න. එහෙම නොවුණොත් වෙන්නේ අපේ තුවාලවල වේදනාවෙන් එන වෛරි ප්‍රකාශවලට අපි ප්‍රතිචාර දක්වන එකයි. එහෙම වුණොත් වෙන්නේ අපි එකිනෙකාට තුවාල කරගන්න එක විතරයි. මෙන්න මෙතනයි මං දකින විදියට මේ ප්‍රශ්නය තියෙන්නේ.

සුව නොවුණු ලොකු ලෙඩක් තියෙනවා. අපි ලෙඩේට බෙහෙත් කරන එක නතර කරල ඒ ලෙඩේ ප්‍රතිඵල හැටියට එන දේට ප්‍රතිචාර දක්වනවා. මේ නිසා වෙන්නෙ මේක දිගින් දිගට ගමන් කරමින් සුව කළ නොහැකි ව්‍යාධියක් බවට පත් වී සියල්ලන්ම විනාශවෙන එකයි.

මම ඉතාම වැදගත් විදියට සලකනව මාධ්‍යවල උදවිය. ඒ අය තම තමන්ට පුළුවන් හැටියට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද මාධ්‍ය ආයතනවල ඉන්නෙත් අපි වගේම තුවාල ලබපු අය. ඒ නිසා ඒ අය ප්‍රවෘත්ති වාර්තාකරණය හැටියට කරන්නෙ මේ තුවාල පාරන්න මැදිහත් වෙන එක. නැත් නම් තව තුවාල කරන එක. මේක මේ අය දැනුවත්ව නෙමෙයි කරන්නේ. මේ තමයි ඒ අයගෙ අවිඥානය. මේක හරියට දකින්න ඕන. අපි ඔක්කොම මොහොතකට නැවතිලා මෙන්න මෙහෙම දෙයක් අපි ඔක්කොටම වෙලා තියෙනවා කියල භාරගත්තොත් මිසක් අපිට මින් එහාට එක අඟලක් ඉදිරියට යන්න බැහැ.

රසික කොටුදුරගේ

අදහස්