සංස්කෘතික ස්වීයකරණය | සිළුමිණ

සංස්කෘතික ස්වීයකරණය

 1984 වර්ෂය වන විට වෙළෙඳ හා නාවික විෂය පිළිබදව කටයුතු කරමින් සිටි ලලිත් ඇතුළත්මුදලිට ජාතික ආරක්ෂක විෂය පැවරී තිබුණි. ඔහු එතැන් සිට වෙහෙස මහන්සි වූයේ නව තනතුරේ රාජකාරී ඉටු කිරීමට ය. වරෙක උතුරට ද තවත් වරෙක නැගෙනහිරට ද ගිය ඔහු සේනා සංවිධානය කළේ ය.

ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබුණේ මිලිටරිමය විසඳුමක් පමණක් නොවේ. ඔහුට ඒ සඳහා ඔහුගේ වූ දේශපාලන විසඳුමක් ද තිබුණි. ඒ දේශපාලන විසඳුමේ තෝරා ගත් කොටස් ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ වෙළෙඳ හා නාවුක අමාත්‍ය ධූරයේ කටයුතු කරන කාලයේ පටන්ම ය.

වැලිඔය කලාපයේ සිංහලයන් පදිංචි කරවීමේ මහ සිංහල ජාතිවාදී ප්‍රයත්නයේ මහ මොළකරුවන් වූයේ එවකට මහවැලි සංවර්ධන ඇමති වූ ගාමිණී දිසානායක, මහවැලි ආර්ථික කොමිසමේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වූ එන්. ජී. පී. පණ්ඩිතරත්න හා ප්‍රකට වැවිලිකරුවකු වූ මාලිංග හර්මන් ගුණරත්න ය.

ඔවුහු වැලිඔය කලාපයේ සම්ප්‍රදායිකව පදිංචිව සිටි දෙමළ ජනතාව ද රජයෙන් බදු ගත් ඉඩම්වල ගොවිපළ පවත්වාගෙන ගිය දෙමළ ජාතික ව්‍යවසායකයන් ද එළවා දැමූහ. එසේ එළවා දැමූවේ එම බිම්වල සිංහල ජාතිකයන් පදිංචි කරවීමට ය. නිකම්ම නිකන් සිංහලයන් නොව බන්ධනාගාර ගතව සිටි අපරාධමය වරද කර දඬුවම් විඳිමින් සිටි සිංහලයන් ය.

අමාත්‍ය ගාමිණී දිසානායකගේ කණ්ඩායම විසින් කරමින් සිටි එම කාර්යය එවකට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුමක් නිසා වෙළෙඳ හා නාවුක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිට පැවරුණි. ඔහු වව්නියාව හා මුලතිව් දිසාපතිවරු ද තවත් රාජ්‍ය නිලධාරීහු සමූහයක් ද සමග පන්නා දැමූ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් සමූහ ගොවිපළවල අපරාධමය වරද සිදුකර දඬුවම් විඳිමින් සිටි සිංහල සිරකරුවන් පදිංචි කළේ ඒවා එළිමහන් සිර කඳවුරු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරවමිනි.

බැලූ බැල්මට මේ දේවල් හුදු සරල දේශපාලනික සිදුවීම් ලෙස අයෙකුට නිර්වචනය කළ හැකිය. එහෙත් ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, නයාරු ප්‍රදේශයන්ට කොටි සංවිධානය පහර දෙමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන විට සිංහල දකුණ නොසන්සුන් විය. එවිට සිංහල දකුණ සන්සුන් කර ගැනීම සඳහා ලලිත් ඇතුළත්මුදලිට ඔහුගේම වූ ශක්තිමත් පිළිතුරක් තිබුණි. ඔහු දකුණේ සිංහලයන්ගේ චෛතසිකය ශක්තිමත් කළේය.

තවදුරටත් කොටි සංවිධානය පහර දුනහොත් අන්තිම විසඳුම වශයෙන් පනස් දහසක සිංහල ජනතාවක් සමග වව්නියාව හරහා උතුරට යන බව ඔහු කීය. එසේම සිංහල ජනතාව විශාල ප්‍රමාණයක් වව්නියාවේ පදිංචි කිරීමේ වැඩසටහනක් ද ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සතු විය. ඔහුගේ අභිප්‍රාශය වූයේ ජන වර්ගයන්ගේ සම්මිශ්‍රණය තුළින් ජාතික ප්‍රශ්නය විසඳීමට ය.

මිලිටරිමය විසඳුමක් මෙන්ම දේශපාලන විසඳුමක් ද සහිතව ජාතික ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කළ ලලිත් ඇතුළත්මුදලි කල්පනා කළේ ජාතීන්ගේ සංස්කෘතික ස්වීයකරණය (Cultural Assimilation) මගින් "ත්‍රස්තවාදය" අහෝසි කළ හැකි බවයි. ඒ අනුව සිංහල නොවන ජන කොටස් සිංහල ජන කොටස තුළ මිශ්‍ර කිරීම මගින් සිංහල නොවන ජන කොටසේ අභිලාශයන් ශූන්‍ය කරන්නට ඔහු සිහින දැකී ය.

එවකට ජේ. ආර්. ජයවර්ධන රෙජීමයේ අමාත්‍යවරයකු වූ සෞම්‍ය මූර්ති තොන්ඩමන් අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිට උපහාසයෙන් සිනහසුණි. ඒ සමගම ඔහු අභියෝග කළේ පුළුවන් නම් එක සිංහලයකු වව්නියාවේ පදිංචි කරවන ලෙස ය. ප්‍රශ්නය ඇවිස්සුණි. ආණ්ඩුවේ දේශපාලන තුල්‍යතාවට අභියෝග එල්ල විය. ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිට තම න්‍යාය පත්‍රය හකුලා ගැනීමට සිදු විය.

ජාතීන්ගේ සංස්කෘතික ස්වීයකරණය බොහෝ සිංහල මහජාතිවාදීන් ජාතික ප්‍රශ්නයට ඉදිරිපත් කරන විසඳුමයි. ඒ සඳහා ඔවුන් උදාහරණ ලෙස ගන්නේ සිංහල බහුතරය හා එකට ජීවත්වෙන සිංහල නොවන ජන කොටස්වල හැසිරීමයි. එවැන්නෝ තම දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීමට අති මහත් ඕනෑකමක් දක්වති. එසේම අධ්‍යන මාධ්‍ය ලෙස සිංහල භාෂාවෙන් ඉගැන්වීමටත් ඔවුන් දක්වන්නේ බලවත් උනන්දුවකි. සිංහල බෞද්ධ පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමටත් ඔවුහු කැමැතිය.

එමගින් සිංහල නොවන ජන කොටස්වල දෙමවුපියන් බලාපොරොත්තු වන්නේ තම දරුවන්ට සිංහල ප්‍රජාව විසින් සාපේක්ෂව ලබන වරප්‍රසාදයන් ලබාදෙන්නට ය. බොහෝවිට එවැනි ප්‍රවණතාවක් දක්වන්නේ සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශයන්හි සුළුතරය ලෙස ජීවත් වන දෙමළ හෝ මුස්ලිම් ජන කොටස් ය. හිටපු අමාත්‍ය වරයකු වන ඉම්තියාස් බාකීර් මාකාර් එවැන්නෙකි. ඔහු සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබුවේ කොළඹ ආනන්ද විද්යායලයෙනි. ඔහු සංස්කෘතිකව ආභාසය ලැබුවේ සිංහලයන්ගෙනි.

එසේ අධ්‍යාපනය ලබන කිසිවෙකුවත් තම ජාතිකත්වයේ සංස්කෘතික හරයන් පාවාදෙන්නට හෝ ඒවා අත්හැරීමට සූදානම් නැත. ඉම්තියාස් බාකීර් මාකාර් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා සිංහල සංස්කෘතියෙන් අභාෂය ලැබූව ද ඔහු මුස්ලිම් අනන්‍යතාවයකින් යුත් පුරවැසියෙකි. එය අත්හැරීමට කිසිම ජන කොටසක සාමාජිකයකු සූදානම් නැත.

එහෙත් සිංහල මහ ජාතිවාදය කරපින්නා ගත් බොහෝ පිරිස් මහත් ආහ්ලාදයට පත් වන්නේ ඉම්තියාස් බාකීර් මාකාර් වැනි පුරවැසියන් සිංහල බෞද්ධ සංස්කෘතියට ස්වීකරණය වී ඇති බව පවසමිනි. එහෙත් ඔවුන් ඇත්තටම කරන්නේ වෙළෙඳපොළට ගැළපෙන ලෙස හැසිරීම පමණි. ඔවුහු කිසිවිටෙක තම ජාතිකත්වයේ සංස්කෘතික අනන්‍යතාව අත්හරිමින් සිංහල ජාතිකත්වය තුළ දියවී යෑමට සූදානම් නැත. එසේ දියවී යෑමට අවශ්‍ය ද නොවේ.

කිසිවෙක් තම ජාතිකත්ව අනන්‍යතාව මහ ජාතික සංස්කෘතික අනන්‍යතාව තුළ දියකර හරින්නට සූදානම් නැත. සියල්ලෝ කැමැති වන්නේ ජාතිකත්ව අනන්‍යතා රැක ගනිමින් එකට ජීවත් වන්නට ය. එනිසා තම තමන්ගේ ජාතිකත්ව අනන්‍යතාවන් ආරක්ෂා කර ගැනීමට සියල්ලෝ එකඟ ය. කිසිවෙක් එය අත්හැරීම කරන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ ජාතිකත්වයන්ගේ සංස්කෘතික ස්වීයකරණය බහු ජාතික සමාජයකට යෝග්‍ය නොවේ.

- අබරන්

අදහස්