රට ගිහින් ඒම | සිළුමිණ

රට ගිහින් ඒම

 මට ඉවසිය නොහැකි පාළුවක් දැනෙමින් තිබිණි. දොදොල් මෙන් කෑලි කැපිය හැකි පාළුවක් මට දැනෙන්නා සේ විය. පාළු අගාධයක පතුලේ මා රැඳී ඇත්තා සේ දැනිණි.

මා සිටියේ අමුතු රටකය.

එහි බොරු කියන්නෝ කිසිවෙක් නොවූහ. සියල්ලෝ ම ඇත්ත කියන අය වූහ. මොකටද මෙහෙම රටවල් යැයි මගේ සිත කියන්නා සේ විය.

එහි කිසිවෙකු අනෙකෙකු හා ගහබැන ගැනීමට උත්සුක වූයේද නැත. මට දැනුණේ කාන්තාරයක ඇති පාළුවය.

බෝම්බ ගසන්නෝ හෝ වෙඩි තියන්නෝ හෝ නොවූහ. මට මා තනිවී ඇත්තා සේ හැඟිණි.

බොරු චෝදනා නගන්නෝ හෝ බොරුවට අඬන්නෝ හෝ බොරුව දොඩන්නෝ හෝ චාටුබස් දොඩන්නෝ හෝ ඇත්දැයි මම සෑම තැනම සොයන්නට වූයෙමි. එවැන්නෙකු සොයාගන්නට හැකි වූවේ නැත. මට පිස්සු වැටෙන්නාක් සේ විය. පාළුවේ අගාධයෙන් අගාධයට මා පා වී යන්නා සේ ගිලී යන්නා සේ විය.

ගිරිය පුප්පා කෑ ගසන්නෝ කොතනකවත් නොවීය. සිනාසෙමින් බොරු කියන්නෝ කොතනකවත් නොවීය. දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ අගනා ශිල්පය දත් කිසිවෙකු හෝ දකින්නට නොවීය. දිය යටින් ගින්දර ගෙනයාමේ විද්‍යාව දත් කිසිදු විද්‍යාඥයෙකු එරට සිටියේ නැත. මා පැමිණ ඇත්තේ ඉතාම නොදියුණු රටකට යැයි මට සිතිණි. පාළුව උහුලා ගැනීමට බැරි තරම් විය. ගල්යුගයේ පාළුව මට දැනිණි.

සියල්ලෝ ම සමගියෙන් විසූහ. කිසිවෙකු බොරුවට හෝ ගහ බැන ගත්තේ නැත. මට ඉවසීමට ම නොහැකි කරුණ වූයේ එයයි. ගහ බැන නොගන්නා යුද්ධ කරනොගන්නා මරානොගන්නා රටක් රටක් නොවේ යැයි මට සිතිණි.

පාළුව දරා ගන්නට බැරිවීම නිසා ම මට සිහිනෙන් හෝ තව දුරටත් ඒ රටේ සිටින්නට නොහැකි යැයි සිතුණි. ඒ නිසා සිහිනෙන්ම ඒ රටෙන් පලා ආවෙමි. කෙසේ වුවත් පලාඒමට ඉක්මන් වීම නිසා ඒ රටේ බිග්මැච් තිබුණේ ද යන්න ගැන සොයා ගැනීමට මට නොහැකි විය. ඒ නිසා ද මගේ හිතට පාළුවක් දැනෙන්නට විය.

අදහස්