වී වගාවේ දිලීර රෝග | සිළුමිණ

වී වගාවේ දිලීර රෝග

කෘෂිකර්මාන්තයේ දී වගාවන්ට වැලදෙන දීලීර ආසාදන තත්ත්වයන් පිළිබඳව අමතක කළ නොහැක. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂි භෝගයක් වන වී වගාවට වැලඳෙන දීලීර වර්ග හදුනා ගැනීම වඩාත් වැදගත් වේ. වී වගාවට වැලඳෙන දීලීර වර්ග කල් වේලා ඇතිව හඳුනා ගැනීම සහ එම දීලීර වර්ග පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් තිබීම වඩාත් වැදගත් වේ.

* කොපු අංගමාරය

සාමාන්‍යයෙන් මේ රෝගයට ගොයම් කරල් පාත්‍රවන්නේ උපරිම පඳුරු දැමීමේ අවස්ථාවට පසුවය. මෙහි දර්ශීය රෝග ලක්ෂණවන්නේ පත්‍ර කොපුමත කොළ පැහැයට හුරු අළු පැහැති ඕවලාකාර හෝ ඉලිප්සාකාර ලප ඇතිවීමය. මේවා ආසාදිත ප්‍රදේශයට විශේෂ රටාවක් ගෙන දෙන අතර කල්යාමත් සමඟ විශාල වී එකට එක්වීම නිසා පත්‍ර කොපුවම පිදුරු පැහැයකට හැරේ. හිතකර පරිසර තත්ත්ව වල මෙම ලප පත්‍ර තලය වෙතට ද පැතිර යයි. මෙවැනි අවස්ථාවල හටගන්නා කරල් බොල්වේ.

මෙම රෝගයට ගොදුරු වූ ගොයම් පැළ මත සෑදෙන දිලීර බීජාණු පසුව පසට එක්වේ. බිම් සකස් කිරීමේදී ජලය සමඟ මිශ්‍රවී ක්ෂේත්‍රයේ ව්‍යාප්ත වී ආසාදනය පැතිරේ.සුදුසු පරිසර තත්ත්වයන් ලෙස අධික උෂ්ණත්වය, අධික ආර්ද්‍රතාවය දැක්වීමට පුළුවන.

පාලනය කිරීම

මූලික බිම් සකස් කිරීම ගැඹුරට හා නිසිලෙස කිරීම,අධික ලෙස නයිට්‍රජනීය පොහොර භාවිතයෙන් වැළකීම,ප්‍රතිරෝධී හෝ රෝගයට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම,නයිට්‍රජන් අඩංගු පොහොර නිර්දේශය කොටස් වශයෙන් යෙදීම,ජල පාලනය,වගාවේ වල් පැළෑටි පාලනය,නියමිත පරතරයට නිසි බිත්තර වී ප්‍රමාණය වගාවේ පිහිටුවීම,රසායනික පාලනය (නිර්දේශිත දිලීරනාශක යෙදීම) මඟින් මෙම දීලීරය පාලන කිරීමට පුළුවන.

*කොළ පාළුව

වී වගාවට වැලඳෙන දිලිර රෝග අතුරින් වඩාත්ම පැතිර ඇති හා වඩාත්ම හානිදායක රෝගය "කොළ පාළුව" වේ. මෙය ගොයම් පැළයේ ඕනෑම වර්ධක අවස්ථාවක ආසාදනය විය හැකි ය.

මෙම දිලීරය පත්‍ර මත, කඳේ ගැට මත, කරල් වල හෝ වී ඇට මත ලප ඇති කරයි. මෙම දිලීරය නිසා පත්‍ර මත හටගන්නා ලප ඉතාමත් පැහැදිලිය, පහසුවෙන් හඳුනා ගත හැක, දෙපස මහත්ව අග්‍ර උල්වී තර්කුවක හැඩය ගන්නා මේවා පත්‍ර තලය මත විසිරී පවතී. විශාල වූ ලපයේ මැද කොටස සාමාන්‍යයෙන් අළු පැහැයක් ගනී.

තවද වී ප්‍රභේදවල ප්‍රතිරෝධී ස්වාභාවය අනුව පත්‍රවල සෑදෙන මේ ලපවල ප්‍රමාණයද වෙනස්විය හැක. කොළ පාළුව දිලීරය කඳේ ගැටවලට ආසාදනය වූවිට එම ස්ථාන කළු පැහැයකට හැරී කඳ එතැනින් කඩා වැටේ. තවද පත්‍ර කොපුවේ උපාධානය කළු පැහැයක් ගෙන කුණුවී පහසුවෙන් බිඳේ.

කරලේ ගෙල ස්ථානයට මේ දිලීරය පැතිරුණු විට එය කළු පැහැයකට හැරී බිදි යයි. ගෙල කුණු වීම (Neck Rot) ලෙස හඳුන්වන මෙම ආසාදනය නිසා වැඩෙන ධාන්‍ය පෝෂණය වීම වළකින හෙයින් බොල් වී කරල් හට ගනී.

සමහර අවස්ථාවල කරලේ සමහර ශාඛා පමණක් මේ දිලීරයට ගොදුරු වේ. මෙවැනි අවස්ථාවල එම ශාකවලට සම්බන්ධ වූ ධාන්‍ය පමණක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ බොල් බවට පත් වේ.

මේ දිලීරයෙන් හට ගන්නා බිජාණු වාතය තුළින් පැතිර යයි. සුදුසු පරිසර තත්ත්ව ඇතිවිට මේවා ශාක මත ප්‍රරෝහණයවී ලප ඇති කරයි.සුදුසු පරිසර තත්ත්වයන් ලෙස අධික ආර්ද්‍රතාවය,අඳුරු කාලගුණික තත්වයන්,අධික වර්ෂාව,තුෂාර තිබීම.යනාදිය හැදින්වීමට හැකිය.

පාලනය කිරීම

නිර්දේශිත ප්‍රමාණයට පමණක් නයිට්‍රජනීය පොහොර යෙදීම,ප්‍රතිරෝධී හෝ රෝගයට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම,වගාවේ වල් පැළෑටි පාලනය,ජල පාලනය,නියමිත පරතරයට නිසි බිත්තර වී ප්‍රමාණය වගාවේ පිහිටුවීම,හැකි තරම් කන්නය මුලට වගාව පිහිටුවා ගැනීමෙන් වෙනත් කුඹුරුවලින් සිදුවිය ආසාදනයන් වළක්වා ගත හැකිය එමෙන් ම රසායනික පාලනය (නිර්දේශිත දිලීරනාශක යෙදීම) යනා දී ක්‍රමෝපායන් මඟින් මේ දිලීරය පාලනය කිරීමට පුළුවන.

*දුඹුරු පුල්ලි රෝගය

ජලවහනය දුර්වල වූ හෝ පෝෂ්‍ය පදාර්ථ අඩු හෝ පසෙහි වැඩෙන වී වගාවන් මෙම රෝගයට පහසුවෙන් පාත්‍ර වේ. සාමාන්‍යයෙන් හොඳ වගා පාලනයක් යටතේ සරු පසෙහි සෑදෙන වගාවන්හි මෙම රෝගය දක්නට නොලැබේ.

මෙම දිලීර ආසාදනයෙන් ප්‍රමාණයෙන් හා හැඩයෙන් තල ඇටයකට සමාන දුඹුරු පැහැති ලප පත්‍ර තලය මත හෝ තුෂ මත හටගනී. පත්‍ර තලය මත හටගන්නා ලප ආරම්භයේදි සෙ.මී. 0.05-0.1 ක පමණ විෂ්කම්භයක් ගන්නා අතර පසුව සෙ.මී. 0.4-1.0ක්, සෙ.මී. 0.1-0.2 ක් පමණ දක්වා විශාල වේ.

සාමාන්‍යයෙන් දුඹුරු පැහැයක් ගන්නා මේ ලප මධ්‍ය අළු හෝ සුදු පැහැයක් ගනී. තවද බොහෝවිට ලප වටා ළා කහ පැහැති දාරයක්ද පිහිටයි. මේ රෝගයට පාත්‍ර වූ කරල්වලින් හටගන්නා බීජවලද දිලීර බීජාණු පවතී.

මෙහි දිලීරයෙන් හටගන්නා බීජාණු වාතයෙන් පැතිර යයි. සුදුසු පරිසර තත්ත්ව ඇති විට මේවා ශාක මත ප්‍රරෝහණයවී ලප ඇති කරයි.සුදුසු පරිසර තත්ත්වයන්අධික ආර්ද්‍රතාවය,අධික උෂ්ණත්වය

පාලනය කිරීම

ඔරොත්තු දෙන වී ප්‍රභේද වගා කිරීම,බීජ ප්‍රතිකාර කිරීම,වගාවට ජල හිඟයක් ඇති නොවන පරිදි ජල පාලනය,වගාව නිරෝගීව තබාගැනීම, සමතුලිත පොහොර භාවිතය, සහ වගාවේ වල් පැළෑටි පාලනය කිරීම මඟින් මෙම දීලීරය පාලනය කළ හැකි ය.

උපදෙස්- උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ( HORDI ) ගන්නොරුව

 

මදාරා මුදලිගේ

අදහස්