මින්නේරි දෙවියන් සියැසින් දුටු සියාතු මාමා | සිළුමිණ

මින්නේරි දෙවියන් සියැසින් දුටු සියාතු මාමා

යෝධ වැව් අමුණු හා ඇළ මාර්ග ඉදිකරවා පෞඪ වාරිකර්මාන්ත ඉතිහාසයක් රට තුළ ගොඩනැඟූ රජවරුන් එම විශ්වකර්ම නිර්මාණයන්ගෙන් ලොව මවිත කළේ මල්වතු ඔයේ හා මහවැලි නදියේ දිය දහරට පින්සිදු වන්නටය. ක්‍රි.ව. 274 - 303 දක්වා රජකම් කළ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් යන නාමයෙන් ජන හදින් පිදුම් ලැබුවේ මහවැලි ග‍ඟෙහි අඹන් ගඟ හරහා අමුණක් බඳවා එහි සිට ගණින ලද ඇළහැර ඇළ ඔස්සේ ජලය රැගෙන අවුත් මින්නේරි වැව තැනවූ නිසාය. ක්‍රි.ව. 1153 දී රජකමට පත් මහ පරාක්‍රමබාහු රජතුමා ආකාශ ගංගාව ඔසසේ අඹන්ග‍ඟේ ජලය තෝපාවැවට රැගෙනවිත් පරාක්‍රම සමුද්‍රය කරවා එහි දියවර මින්නේරි වැව දක්වා දීර්ඝ කළේය. තවද මහවැලි ගඟ උතුරු දිසා ගතවන ස්ථානයේ අමුණක් ඉදිකරවා මිණිපේ යෝධ ඇළ ඔස්සේ මහවැලි ග‍ඟේත් එහි අතු ගංගා රාශියකත් ජලය අඹන් ගඟ වෙතට ගෙන එන ලදී. ඈත යුගයේ පටන් ම මහවැලි ගඟ මෙරට කෘෂිකර්මාන්තයට දායක කර ගත් අයුරු දැක්වෙන නිදසුන් කීපයක් පමණි මා මෙහි සඳහන් කළේ.

පොලොන්නරු රාජධානියේ බිඳ වැටීමත් සමඟ මෙම වාරිමාර්ග රටාව අභාවයට ගියෙන් ජනශුන්‍ය වූ රජරට වියළි කලාපය ශතවර්ෂ හයකට අධික කාලයක් තිස්සේ ගන වනාන්තරයෙන් වැසී ගියේ ය. විසිවැනි සියවස ආරම්භයේදී වියළි කලාපය ජනාවාස කරණය කිරීම කෙරහි ඉංග්‍රීසි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබුණු අතර 1931 දී ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරයට පත්වීම සිරිලක ශ්‍රී විභූතිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ යෝධ පිම්මක් විය. එතුමා වරක් මඩකලපුව බලා ගිය සංචාරයකදී වියළි කලාපයේ මඟ දෙපස වසාගත් මහ වනාන්තර යාය දෙස බලා “මෙය නිල්වන් කරලින් බර වූ කෙත් යායක් කළ හැකි නම් කොපමණ අගනේදැ’ යි සිතුවේය. 1932 දී මින්නේරි ගොවි ජනපද බිහිවීම ඔහුගේ එම සිහිනය මල්පල ගැනීමක් විය. 1952 වසරේදී එතුමා දැයෙන් සමුගන්නා විට මින්නේරි, ගිරිතලේ, ගල්ඔය, කලාවැව, අල්ල - කන්තලේ, මිණිපේ වැනි ගොවි ජනපද රාශියක් සාර්ථකව පිහිටුවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පදිංචි කරවා තිබිණ.

මෙම ඓතිහාසික පසුබිම් කතාව මගේ මතකයට නැඟුණේ දිනක් මා මහවැලි නදී නිම්නයේ වාරි කටයුතු පිළිබඳ ගවේෂණයක යෙදුණු අවස්ථාවකදීය. කඩිනම් මහවැලියේ යෝධ නිමැවුම් නරඹමින් මෙම මිණිපේ අමුණට ළඟාවීමි. මිණිපේ පැරැණි අමුණ දියමත පාවෙන මේඛලාවක සිරිය මවද්දී නව‍යෝධ අමුණ මහවැලි ගඟ හරස් කරගෙන සිටියේය. වියැළී ගිය මවු ගඟ දැක වැලපෙන මහවැලි දිය කඳ වම් හා දකුණු ඉවුරු ඇළවල් ඔස්සේ බෙදී හඬදී ගලා යමින් තිබුණේ ය. උල්හිටිය, මාදුරුඔය, රත්කිඳ ජලාශ වෙත දියවර සපයන්නේ කඩිනම් මහවැලියේ දකුණු ඉවුරු ඇළ ය. වම් ඉවුරු ඇළ මිණිපේ පැරැණි ජනපද ව්‍යාපාරය පෝෂණය කරමින් තවදුරටත් අඹන් ගඟ බලා ගලා යයි. මේ වම් ඉවුරු ඇළ ඩී.එස්. සේනානායකයන්ගේ යෝධ ප්‍රතිසංස්කරණයකි. දුෂ්කර උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් වූ වම් ඉවුරු ඇළ ඔස්සේ පහළට ගමන් කළ මම මිණිපේ වන ජීවී කාර්යාලයට ළඟා වීමි.

එහිදී මට සුවිශේෂී පුද්ගලයකු මුණ ගැසිණ. හේ එවකට අසූ නව වැනි වියේ පසු වූ මීගහකිවුලේ උඩගෙදර සියාතු මහතාය. මිණිපේ ව්‍යාපාරයේ මුල් ම ජනපදිකයන් අතරින් ජීවතුන් අතර සිටින වැඩිමහලු ම තැනැත්තා ඔහු ය. ගොවිජනපද පිහිටුවා වියළි කලාපය ජනාවාස කිරීමට ඩී.එස්. සේනානායකයන් ගත් උත්සාහයත්, එතුමා ප්‍රථම වරට මිණිපේ ව්‍යාපාරය නැරැඹීමට පැමිණි අන්දමත් පිළිබඳව සියාතු මාමා පැවසූ ඇසිදුටු තොරතුරු ඉතාම රසවත් ය. සාඩම්බර හැඟීම් ජනිතකරවන සුලුය. වත්මන් පරම්පරාවට ඉන් උගත හැකි පාඩම් අපමණය. ඒ නිසාම සියාතු මාමා පැවැසූ අයුරින් ම එහි විස්තරය මෙහි සඳහන් කිරීම යෝග්‍යයැයි සිතමි.

“මිණිපේ වම් ඉවුරු ව්‍යාපාරය පටන් ගත්තේ 1936 දී. සේනානායක මහත්තයයි උඩුදුම්බර රටේ මහත්තයයි තමයි මේ වැඩේට මුල් වුණේ. 1931 දී ඩී.එස්. සේනානායක මහත්තයා කෘෂිකර්ම ඇමති වෙලා මින්නේරි ව්‍යාපාරය ආරම්භ කරපු වෙලාවේ වන්නි මූකලාන්වල දුක් විඳපු මිනිස්සු බොහෝම සන්තෝස වුණා. මින්නේරි දෙවියන් නැවත ඉපදිලා කියලා තමයි අපේ අප්පොච්චිලා කිව්වේ. එතුමාගේ ගොවිජනපද වැඩපිළිවෙළට රටේ මිනිස්සු ඒ තරමට ම පැහැදිලයි හිටියේ. මිනිපේ ව්‍යාපාරය පටන්ගන්නවා කියන ආරංචියට 1936 දී මාත් බදුල්ලේ මීගහකිවුලේ ඉඳලා මිණිපේට ආවා. එතකොට මට වයස අවුරුදු දාසයයි. මේ ප්‍රදේශය මහා මූකළාන් වනාන්තරය. දවල් රෑ වෙනදේ දකින්නට බැරි තරමට ප්‍රදේශය ම කැලෑවෙන් අඳුරු වෙලා. මේ ඇළත් කැඩිලා බිඳිලා පස්වලින් පිරුණු මඩ අගලක් විධියටයි තිබුණේ. උඩුදුම්බර රටේ මහත්තයා සේනානායක ඇමතිතුමාට ආරාධනා කළා මිණිපෙට ඇවිත් මේ ඇළ බලාල මිණිපේ ව්‍යාපාරය ආරම්භ කරන්න කියලා”

“ඒ කාලේ ඔය මහියංගනය කියලා නරගයක් නැහැ. ඕක මහා කැලෑව. ඔතනැට කිව්වේ වෙහෙරගංතොට කියලා. සුදුමහත්වරුන්ගේ තානායම විතරයි තිබුණේ. දවසක් සේනානායක මහත්තයා වෙහෙරගංතොට ඉඳන් අශ්වයා පිටේ ආවා මිණිපේ ඇළ බලන්න. බොහෝම තේජස්සම්පන්න සද්ධන්ත උත්තමයෙක්. දැක්කම ආඩම්බර හිතෙනවා. දෙවිකෙනෙක් ම කියලා තමයි මටත් හිතුණේ. මිණිපෙට එන්න පාරක් තිබුණේ නැහැ. මඟ දිගට කැති ගහලා අතු කපලා තමයි අශ්වයට එන්න අපි අඩි පාර පෑදුවේ. ආරක්ෂක භටයෝ, පොලීසිය කවුරුත් නැහැ.

ඇළත් බලාගෙන ඉවුර දිගේම එතුම ගියා මහවැලි ග‍ඟේ පැරැණි අමුණ ළඟට. ඒක තමයි මහා පරාක්‍රමබාහු රජතුමා හදපු මණිමේඛලාව. ඒ‍ වෙනකොට අමුණ කැඩිලා අබලන් වෙලයි තිබුණේ. සේරෝම දේවල් පරීක්ෂා කරලා බලාල සේනානායක මහත්තයා උඩුදුම්බර රටේ මහත්තයාට කිව්වා “මේක කරන්න පුළුවන් වැඩක් නොවෙයි. තමුන්නැහේලා ඇළට වතුර අරං පෙන්නු‍වොත් මං ව්‍යාපාරය පටන්ගන්නවා” කියලා. උඩුදුම්බර රටේ මහත්තයා දන්නවා සේනානායක මහත්තයාගේ හැටි. එයා අපට කිව්වා “බයවෙන්නා එපා. උන්නාන්සේ ඔය කියන්නේ අපි වැඩේ කරන හැටි බලන්නයි. අපි ඇළට වතුර අරං පෙන්නමු. ඉතුරු හරිය උන්නාන්සේ කරදෙයි” කියලා. එදා රෑ වෙහෙරගන්තොට තානායමේ නැවතිලා පහුවදා තමයි සේනානාක මහත්තයා ගියේ.

උඩුදුම්බර රටේ මහත්තයාත් කිසිදේකට පහු බහින කෙනෙක් නොවෙයි. එයා වසම් ආරච්චිලාට පණිවිඩ යැව්වා ඇළේ දින 30 ක් වැඩ කරන්න කැමැති මිනිසුන් ඉන්නවා නං එවන්න. ඒ අයට ව්‍යාපාරයෙන් අලුත් කුඹුරු ඉඩම් දෙනවා කියලා. නුවරින්, බදුල්ලෙන්, තව තව පැතිවලින් මිනිස්සු කෑමත් අරගෙන ම ඇළේ වැඩට ආවා. හුඟදෙනෙක් කැලේ මඩු ගහගෙන නැවතිලා ඉඳං ඇළ වැඩ කළා. හැබැයි කාටවත් කිසිම ගෙවීමක් කළේ නැහැ. මිනිසුන්ගේ උත්සාහයෙන් ම තමයි වැඩ ඔක්කෝම කළේ. ඇළ හදලා, ශුද්ධ කරලා, ඉවුරු කපලා, ග‍ඟේ පැරැණි අමුණට ගස් කපලා දමලා මහවැලි ගඟේ වතුර හරස් කළා. කිසිම දෝෂයක් නැහැ. ඇළ දිගේ ලස්සනට වතුර ගලං එන්න පටන් ගත්තා.

ඒ වතුර දල්ල ගඟේ ඉං හැතැප්මක් දුරට අඹගහපැලැස්සට එනකං ගෙනාවා. මේ ගැන සේනානායක මහත්තයට දැනුම් දුන්නා. එතුමා ආයිමත් දවසක ආවා ඇළ බලන්න. වාසනාවට වගේ එදා උදේ මහා වැස්සකුත් වැස්සා. ඇළ දිගේ ගජරාමෙට වතුර එනවා. සේනානායක මහත්තයා වැහි පොදේ තෙමි තෙමී ම අශ්වයා පිටේ ගිහිං ග‍ඟේ අමුණ බැලුවා. උඩුදුම්බර රටේ මහත්තයා දිහාවට හැරිලා කිව්වා “බොහෝම හොඳයි! මං මිණිපේ ව්‍යාපාරයේ වැඩ පටන් ගන්නවා” කියලා. අපට සතුට උහුලන්න බැහැ. මින්නේරි දෙවියන් ගැන අහලා තිබුණත් අඳුරු වැහි බීරුමේ කැලෑව පීරාගෙන අශ්වයා පිටේ ආපු මින්නේරි දෙවියන්ව මං ඇස් දෙකෙන් ම එදා දැක්කා.

උඩුදුම්බර රටේ මහත්තයා පිදුරු සෙවිලි කළ පොල්අතු මඩුවක් සාදාගෙන ඇළ ඉවුර මතම පදිංචි වෙලා ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන සොයා බැලුවා. ඔහුගේ සහායට වැවේගෙදර ආරච්චි ද එක් වුණා. කොලනියේ වැඩට ආපු මිනිසුන් අතින් ම වෙහෙරගංතොට සිට මිණිපේ දක්වා සැතපුම් දහයක් දිග පාරක් කැපුවා.

ටික දිනකට පසුව ඇවැන්සන් නම් ඉංජිනේරු මහතකු ඇතුළු සුදු මහත්වරු පිරිසක් මිණිපේට පැමිණියහ. ඇළේ මායිම් ලකුණු කර කැලේ ඩෝසර් කිරීමට පටන් ගත්හ. පාලම්, බෝක්කු නිල නිවාස ලහි ලහියේ ඉදි විය. කුලී වැඩ සොයාගෙන පිට ප්‍රදේශවලින් විශාල පිරිසක් කොලනියට ඇදී ආහ. දැන් මිණිපේ ව්‍යාපාරයේ වැඩ ශීඝ්‍රයෙන් කෙරීගෙන යයි.

මහවැලි ගඟ හරහා නව අමුණක් බැඳීම ආරම්භ විය. අලුත් අමුණ බැඳුණේ පැරැණි අමුණ තිබුණු ස්ථානයේ ම ය. පැරැණි අමුණ ඉතාමත් ශක්තිසම්පන්න විය. කුළුගෙඩිවලින් ගසාවත් බිඳලිය නොහැකි වූ අමුණේ කොටස් කුළුගෙඩි පහරට කුඩු වී ගියා මිස කැබැලි ලෙස කඩා ඉවත් කිරීමට බැරි වූ බව සියාතු මාමා පැවැසීය. මෙහිදී තවත් රසවත් කතා කීපයක් ම ඔහුගෙන් මට දැනගන්නට ලැබුණේ ය.

එකල වාහන හා මාර්ග පහසුකම් නොතිබුණෙන් අමුණේ ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වෙහෙරගංතොට සිට ගෙන්වාගෙන ඇත්තේ අලි ඇතුන් ලවා ය. අද මෙන් එදා සිමෙන්ති අසුරා තිබුණේ කඩදාසි උරවල නොව ලෑලි පීප්පවලය. පීප්පයක් යනු සිමෙන්ති කොට්ටා විස්සක ප්‍රමාණයකි. එවන් පීප්ප කටින් එල්ලාගෙන අලි වෙහෙරගංතොට සිට සැතපුම් දහයක් මග ගෙවා මිණපේ අමුණ වෙතට සිමෙන්ති රැගෙන ආ හැටි සියාතු මාමලාට අපූරු දර්ශනයක් විය. එක් අලියෙක් එක් පීප්පය බැගින් අලි පස්දෙනෙක් වරකට සිමෙන්ති පීප්ප පහක් දිනපතාම මිණිපෙට රැගෙන ආ බව පැවැසේ. සවසට මහවැලි ගඟෙන් දිය නා දවසේ වැඩ අවසන් කරන මේ අලි යළිත් පසුදින පාන්දරින් ම සිමෙන්ති රැගෙන ඒම සඳහා වෙහෙරගංතොට බලා ගියහ.

ඩී.ඇස්. සේනානායක මහතා නිතර නිතර පැමිණ මිනිපේ ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන සොයා බැලුවේය. මෙම ගමන්වලදී එතුමා නවාතැන්ගත් සංචාරක නිල නිවාසය අදත් මිණිපේ ඇළ ඉවුරේ තිබෙනු දක්නට පුළුවන. අද මිණිපේ වනජීවී කාර්යාලය තිබෙන්නේ එතුමාගේ ඒ පැරණි නිල නිවාසයේය. එහෙත් එදා මෙහි බිත්ති කටුමැටියෙන් නිමවා වහළට ඉලුක් සෙවිලි කර තිබිණ. නිවෙස මැදින් ඉදිරි හා පසුපස මිදුල් යා කළ විවෘත කොරිඩෝවක් විය. රාත්‍රි කාලයට වල් අලි මේ කොරිඩෝව මැදින් එහා මෙහා ගමන් කළ බව එකල එම නිල නිවසේ සහායක මුරකරුවකු ලෙස සේවය කළ සියාතු මාමා පවසයි. ඒ නිසාම සේනානායක මහතා එම සංචාරක නිවාසයේ රැය පහන් කිරීමට ඉමහත් ආසාවක් දක්වා තිබේ.

1944 වන විට මිණිපේ ව්‍යාපාරයේ වැඩ සෑහෙන දුරකට අවසන් වී තිබිණ. දින 30 අත්කම් වැඩට පැමිණි පිරිස් ද කොලනි ඉඩම්වල පදිංචි වී සිටියහ. මේ නිසා ජනපදිකයන්ගේ දරුවන්ට අකුරු ඉගැන්වීම සඳහා ඇවැන්සන් මැතිනිය විසින් පාසල් ක්‍රමයක් ආරම්භ කළාය. එහෙත් ඊට අවශ්‍ය ගුරුවරුන් සොයා ගැනීම දුෂ්කර ප්‍රශ්නයක් විය. ගාල්ල, මාතර වැනි ප්‍රදේශවලින් කොලනියේ පදිංචියට පැමිණි පවුල්වල දෙවැනි, තුන්වැනි පන්ති දක්වා ඉගෙනගත් දරුවෝ සිටියහ. එම දරුවන් ගුරුවරුන් ලෙස පත්කර සෙසු කොලනි දරුවන්‍ට ඉගැන්වීමට සැලැස්වූ ඇවැන්සන් මැතිනිය ඒ වෙනුවෙන් මේ ළමා ගුරුවරුන්ට රු. 10/- ක මාසික දීමනාවක් ගෙව්වාය. පසු කාලයේදී රජයේ ස්ථිර ගුරු සේවයට අනුයුක්ත කරනු ලැබූ මේ පිරිස විශ්‍රාම වැටුප් ලබමින් කොලනි ජීවිතයේ ම සැඳෑ සමය ගත කරන බව එදා සියාතු මාමා මහත් ආඩම්බරයෙන් පැවැසීය.

කොලනියේ වැඩ කරන කාලයේ ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස සේවයට බැඳුණු සියාතු මාමා ද රජයේ විශ්‍රාම වැටුපක් ලැබුවේ ය. මිනිපේ ව්‍යාපාරයේ අවසන් අදියරේ වැඩ නිමකිරීමට පෙර ඩී.ඇස්. සේනානායක මහතාගේ හදිසි වියෝව සිදු වූයෙන් පසුව අගමැති ධුරයට පත් එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා මහියංගනය නගරය ගොඩනඟා මියුගුණ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද නිමවා මිණිපේ ව්‍යාපාරය පූර්ණත්වයට පත් කළේ ය.

කෙදිනකවත් ඉතිහාසයේ නොලියැවෙන අප්‍රකට තොරතුරු රැසක් මට එළිදරව් කළ සියාතු මාමාගේ නාමයට ස්තුතිය පුද කරනු කැමැත්තෙමි.

Comments