අලියගෙ ඇඟට ගිය නිල් මැණික | සිළුමිණ

අලියගෙ ඇඟට ගිය නිල් මැණික

සියදෝරිස් රත්නපුර පළාතේ නමගිය පතල් බාස් කෙනෙක් වගේම මැටියෙන් හා ලීයෙන් විවිධ රූ කැටයම් නිර්මාණයේ දක්ෂයෙක්. හැබැයි වටිනා කියන මැණිකක් හෙම තනිපන්ගලමෙ මුලිච්චි වුණොත් හොර රහසෙ යටි මඩි ගහගන්ඩත් රුසියෙක්.

ආරොන් මුදලාලි තමන්ගෙ පතල්වල බාස් වශයෙන් තෝරා ගත්තේ මේ සි‍යදෝරිස් බාසුන්නැහැයි. බාසුන්නැහැ හැරුණු විට මෙම පතලයෙ වැඩ කාරයො පස් දෙනයි. ලහි ලහියේ වැඩ කරල පතලෙ ඉක්මනටම ඉල්ලමක් පෑදුවා.

හා හාපුරා කියල ඉල්ලම් කැඩීමට සියදෝරිස් බාසුන්නැහැ පතලයට බැහැල වැඩේ පටන් ගත්තා පිළිවෙළකට මාල මැට්ට (ඉල්ලමට යටින් පිහිටි සිනිඳු මැටි ) දක්වාම ඉල්ලම කඩන අතරෙ බාසුන්නැහැගෙ පාමුලට වැටුණෙ නිල් ගුලියක් හා සමාන මැණික් ගලක්. වතාවක් දෙවතාවක් වටපිට බැලු සියදෝරිස් බාසුන්නැහැ කිසිවකු නැති නිසා හොඳවයින් මාල මැටි ගුළියක් අරන් මැණික ඒ ඇතුළට දමල රවුම් කළා.

“හා ...දැන් කවුරු හරි දෙන්නෙක් වරෙල්ලා” සියදෝරිස් හවුල් කාරයෝ දෙන්නෙක් කැෙඳව්වා.

සුවාරිස්, සයිමන් පතලයට බැහැල ඉල්ලම් කඩන්ඩ පටන් ගත්ත බාසුන්නැහැ කලින් ගුළි කළ මැටි බෝලෙ අරගෙන කදිමට අලි පැටියෙක් නිර්මාණය කරල ඒක අඳුනගන්න හැකි වන ලෙසට සලකුණක් තිබ්බ.

තවත් මැටි බෝලයක් ගත්ත සියදෝරිස් බාසුන්නැහැ ඒ හා සමාන අලි පැටියෙක් නිර්මාණය කළේ ආරොන් මුදලාලිට දීමේ අදහසින්ම නොව බැරි වෙලාවත් වංචාව හෙළි වෙයිද කියල සැකයෙන්.

“හා ...ඉතින් අදට වැඩ නවත්වමු. හෙට කැඩුවම ඉවර කරන්ඩ පුළුවන් වේවි. සි‍යදෝරිස් බාසුන්නැහැ එහෙම කියල පතලෙ වතුර පිරෙන සිමාවට උඩින් තට්ටුවක් උඩ අලි රූප දෙකම තියල ගොඩට ආව.

පහුවදාත් තවත් තුන් දෙනෙක් සමඟ පතලයට බැස්ස සියදෝරිස් බාසුන්නැහැ පෙර දිනයේ තැබු අලිරූප දෙක දැකල යටි හිතින් හොඳටම හිනාහුණා.

එදා පතලෙ ඉල්ලම් කඩල අහවර වෙලා සි‍යදෝරිස් බාසුන්නැහැ අලිරූප දෙකත් අරන් ගොඩට එනකොට ආරොන් මුදලාලි පතලෙ වාඩියෙ ඉඳගෙන.

“හා ...අපුරු අලි දෙන්නෙක්නෙ. මටත් දෙනවකො අර පොඩි එකාට ගිහින් දෙන්න” මුදලාලි එහෙම කිවුවහම සි‍යදෝරිස් ගේ ඉහේ මලක් පිපුණා වගෙ දැනුණා.

“ආ....එහෙනම් මුදලාලිට මේක” සියදෝරිස් මුදලාලි එහෙම කියල අර කලින් වෙන් කරපු අලි රූපෙ මුදලාලිට දුන‍්න.

“ එහෙනම් හෙට ඉල්ලම් ගරමු. පාන්දරින් එනවලකො” මුදලාලි සතුටු සිතින් එහෙම කියල යන්න ගියා. සියදෝරිස් බසුන්නැහැ ඇතුළු පතලෙ හවුල් කාරයොත් නිවෙස් බලා ගියා.

සියදෝරිස් බාසුන්නැහැ ගෙදර ගිහින් හොර රහසේ අලි රූපෙ කඩල නිල් මැණික අතට ගත්තෙ “මේක පහුවෙල විකුණනව. හෙට ගරන හින්ද අනිවාර්යෙන්ම යන්ඩ ඕනැ. නැතිනම් අනෙක් අයට සැක හිතෙන්න පුළුවන” එහෙම හිතපු සියදෝරිස් බාසුන්නැහැ පහුවදා ගැරුමට ගියා.

සිරිසේන හෙට්ටිගේ උඩනිරිඇල්ල

Comments