වැලිඔය සිසුන්ගේ සැබෑ වූ සිහිනය | සිළුමිණ

වැලිඔය සිසුන්ගේ සැබෑ වූ සිහිනය

 වැලිඔය කියන්නේ ත්‍රස්තවාදී තර්ජන සමයේ නිරතුරුවම කතා බහට ලක්වුණු ගම්මානයක්. සිංහල ජනතාව වැඩි වශයෙන් දිවි ගෙවන නිසා ත්‍රස්තවාදීන් නිරතුරුවම ප්‍රහාර එල්ල කළ ගම්මානයක්. මේ ප්‍රදේශයේ ඉන්න දරු දැරියන් අවුරුදු ගණනාවක් තිස්සේ බරපතළ පීඩනයකින් හිටියේ. කොළඹ දරු දැරියන්ට ජංගම දුරකථන ටැබ්, ලැප්ටොප් පරිගණක ගැන කතා වෙනකොට මේ දරු දැරියන්ට කිලෝමීටර් ගණනාවක් පයින් යන එකට විසඳුම් නොමැතිව ළත වුණා.

මුලතිව් දිස්ත්‍රික්කයේ නිසා මුලතිව් ගිහින් තමන්ගේ වැඩ කටයුතු කර ගන්න එකත් දරු දැරියන්ගේ මවුපියන්ට ලොකු කරදරයක් වෙලයි තිබුණෙ.

විශේෂයෙන්ම කල්‍යානපුර, සම්පත්නුවර, ජානක පුර සිංහ පුර වගේ ගම්වල පාසල් දරු දැරියන්ට බොහෝ අවශ්‍යතා සපුරා ගන්න අසීරු වුණා. රජයෙන් සහන ලබා දුන්නත් මේ ගැන රජයේ නිලධාරින්ගේ අවධානයත් අඩුවෙන් යොමු වුණේ. ඒ ඉතින් අපේ රටේ හැටිනේ.

රටේ අනෙක් හැම තැනකම කොම්පියුටර් ගැන කතා වෙනකොට මේ දරු දැරියන්ට කොම්පියුටර් බලන්න දකින්න පුළුවන් වුණේ පින්තූරවලින් විතරයි.

ඒත් මේ දූ දරුවන්ටත් අනෙක් දූ දරුවන්ට වගේම ඒ අවශ්‍යතාවන් ඕන කරා. ඒත් ඒ දරුවන්ට ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ.

කොහොම හරි මේ දරු දැරියන් ගැන සොයා බලන්න වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයෙ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා කටයුතු කළා.

ඔහු ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කටයුතු කරන්න වැලිඔය 62 සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ මහතාට යොමු කළා.

බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ මහතා යටතේ ඇති 621 බල සේනාව විසින් මේ දූ දරුවන්ට පරිගණක සපයා දීමේ කාර්යය ගැන සොයා බැලුවා.

ඒ අනුව 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජීව ගේ සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් එච්.ඒ.ඩී.ජී. ද සිල්වා ගේ සම්බන්ධිකරණයෙන් හිල්ටන් හොටෙල් සමුහ ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ පිහිටි කල්‍යාණිපුර මහා විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පරිගණක ඇතුළු තවත් අතවශ්‍ය උපකරණ රැසක් පසුගියදා එම විද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයක දී පරිත්‍යාග කළා. මෙහිදී පරිගණකවලට අමතරව පරිගණක මේස, පුටු සහ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයන් පරිත්‍යාග කළා.

ළමා සාරි ඇඳගත් දැරියන් පෙරටු කරගත් අලංකාර පෙරහරකින් තමයි මේ සියලු කටයුතු ආරම්භ කෙළේ.

වන්නිය කිව්වට වන්නියේ දරු දැරියන්ටත් දැන් කොළඹට වගේ පරිගණක ලෝකයේ සැරිසරන්න පුළුවන් වේවි. කාර්යයට කොළඹ හිල්ටන් හෝටලයේ සේවකයන්ගෙන් ලැබුණු සහාය අගය කරන්න වෙනවා. කොළඹට කිරි ගමට කැකිරි වගේ තිබුණු තවත් සංකල්පයක් මේ පරිත්‍යාගය හරහා අවසන් වුණා. මේ සත්කාර්යයට දායකත්වය ලබා දුන්නු වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයාට මෙන්ම අනෙකුත් සියලුම නිලධාරීන්ටත් මේ ගම්වැසියන් වගේම දරු දැරියන් සියලු දෙනාමත් ස්තුතිය පළ කර සිටියා.

කොළඹ හිල්ටන් හෝටලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි රාජේන්ද්‍ර වටුවිට හිල්ටන් හෝටලයේ ප්‍රධාන ගණකාධිකාරි හේමකාන්ත ද සිල්වා ඇතුළුව හිල්ටන් හෝටලයේ නිලධාරීන් සහ 62 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම උත්සවය සඳහා සහභාගි වුණා.

එමෙන්ම මේ උත්සවය සඳහා සම්පත්නුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. රත්නායක මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියා.

පරිගණක ලෝකයේ සිහින මවමින් සිටි දරු පිරිසකට ඒ සිහිනය සැබෑ කර ගන්නට ඇප උපකාර කළ ඒ සැමට කෘතගුණ දැක්වීමක් හැටියට මේ සටහන තබන්න අපිත් තීරණය කළා.

තාරක වික්‍රමසේකර

Comments