කුණු කන වන සත්තු | සිළුමිණ

කුණු කන වන සත්තු

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත ලන එළවළු- පලතුරු ආදියට සිදුවන්නේ කුමක්ද? ප්‍රදේශයට අදාළ පළාත් පාලන ආයතනය මඟින් ඒවා ට්‍රැක්ටර්වල පටවා හිස් පරිසරයකට මුදා හරී. මෙය දඹුල්ලේ පමණක් නොව තවත් බොහෝ තැන්වල සිදුවන්නකි. ඒ තැන් කාලයත් සමඟ අලිි ඇතුන්ගේ මෙන්ම මුවන්, ගෝණුන් වැනි සතුන්ට කුණු දන්දෙන දන්සැල් බවට පත් වන්නේ ඉබේටමය. කුණු පමණක් නොව සතුන් ඒවා සමඟ පොලිතින් ද ආහායට ගන්නට පෙලැඹේ. මේ තත්ත්වය අලි, ගෝණ, මුවන් ගේ මරණයට හේතු වේද?

හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මේ පිළිබඳ දක්වන්නේ වෙනස් අදහසකි.

"සමහර සංචාරකයන් මේ කුණු කන අලින් ළඟට ගිහින් ෆොටෝ ගන්නවා, ‍සෙල්ෆි ගහනවා. ඒත් මේ සිදු වන දේ ගැන අවධානයක් නෑ.

"පොලිතීන් තහනම හොඳයි. ඒත් වෙන විදිහකින් ආයෙත් පොලිතීන් පරිසරයට එන එක හොඳ නෑ. එය වනසතුන්ට දැඩි ලෙස බලපානවා. එනිසා තමයි දෙහිවල සත්ත්වෝද්‍යානයට පවා පොලිතීන් ගෙන යෑම තහනම් කර තිබෙන්නේ." මෙසේ සිය පැහැදිලි කිරීම ඇරැඹූ වෛද්‍ය අතපත්තු තම අත්දැකීම් එකින් එක මතක් කරන්නට විය.

"ත්‍රිකුණාමලේ ඕලන්ද බලකොටුව නැත්නම් ෆෙඩ්රික් බලකොටුවේ නිදැල්ලේ වැඩුණු මුවන් පැවතෙන්නේ ඕලන්ද යුගයේ ඉඳන්. උන් මිනිසුන් අතර හැසිරෙන නිසා අර්ධ හීලෑ සතුන් හැටියටයි ජීවත් වන්නේ. මීට වසර කීපයකට කලින් රංචු සියල්ල ගත්තාම 200ක් පමණ හිටියත් දැන් සංඛ්‍යාව ඊට අඩුයි. වැස්ස නැති කාලෙට උලා කන්න තණකොළ වත් නෑ. ඉතින් මේ මුවන් කුණු කන්න පුරුදු වුණා. මට අවස්ථාව ලැබුණා කුණු කෑ මුවන් දෙන්නකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න. එයින් අනාවරණය වුණා ඒ මුවන් මිය ගොස් තිබුණේ පොලිතින් අතුණුබහන්වල හිර වීම නිසා කියලා. මේ කියන්නේ මීට අවුරුදු විස්සකට කලින්. අවුරුදු විස්සකට පස්සෙ අදත් ඒ දේම සිදු වෙන එකයි පුදුමෙ.

වෛද්‍ය අතපත්තු ඉන් සනාථ කරන්නට උත්සාහ දරන කරුණක් විය.

"පොලිතින් හිර වීමෙන් මිය යන්නේ ඇත්තෙන්ම කුඩා අතුණුබහන් තිබෙන සත්තු පමණයි. මුවන්ගේ බඩවැල් මිනිසුන්ගේ වගේ කුඩා ප්‍රමාණයේ ඒවා. ඒ නිසා යම් ගුලියක් වගේ පොලිතින් හිර වුණොත් ආහාර එකතු වෙලා ඉදිමිලා එතැන ආසාදනය වෙලා අවසානයේ පණුවන් බෝවෙලා මිය යන්නේ. ඒත් අලින්ට පොලිතීන්වලින් එහෙම ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ.

"අලින්ගේ අතුණු බහන් මුවන්ට වඩා අති විශාලයි. ඒ නිසා කවදාවත් පොලිතීන් හිර වීමක් සිදු වන්නේ නෑ. ඒ නිසා පොලිතීන් හිර වී අලින් මිය ගියා යැයි කවදාවත් මරණ පරීක්ෂණයකින් කියන්න බෑ. හැබැයි මේ පොලිතීන්වල බහා තිබුණු නරක් වූ ආහාර විෂ වීම නිසා අලින් මිය යනවා. පොලිතීන් ප්‍රශ්නය අලින්ට බලපාන්නේ එහෙමයි.

"මේ බව ඕනෑම කෙනකුට කළ හැකි සරල පරීක්ෂණයකින් ඔප්පු කර පෙන්වන්න මම කැමතියි. මනම්පිටිය ප්‍රදේශයේ කුණු ගිලින අලි ඉන්න තැන මේ පරීක්ෂණය ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. අනතුරක් සිදු නොවන විදිහට ඒ පැත්තේ අලි වසුරු හෙළූ තැන් පරීක්ෂා කර බලන්න. ඒවායේ පොලිතින් ගුලි එහෙම පිටින්ම පිට වී තිබෙනවා. අලින්ගේ අතුණුබහන්වල පරිධිය ඉතා විශාල නිසා පොලිතින් ගෝනියක් ගිල්ලත් වසුරු සමඟ පිට වෙනවා. ඒත් ආහාර විෂ වීමෙන් වන බලපෑම මේ නිසා නතර වන්නේ නෑ. ඒ නිසායි අලින් පොලිතින් කාලා මිය යනවා කියන මතය එන්නේ. ඒත් ඇත්ත කතාව පොලිතීන් තුළ පිළුණු වෙවී තිබෙන ආහාර නිසා අලින්ගේ ශරීරයට විෂ බීජ ඇතුළු වීමයි. ආහාර විෂ වීම කියන්නෙත් එයයි.

මේ වැනි ආහාර විෂ වීම් මිනිසුන්ටත් සිදු වෙනවා. එය වෙනස්. ඒත් අලින්ට ආහාර විෂ වූ විට මළ බද්ධය, බඩ පිපුම නිසා අවසානයේ හුස්ම ගන්න අපහසුතා ඇති වී මියැදෙනවා. එළහරක්, එළුවන්, මුවන් සහ ගෝණුන් මේ තත්ත්වයෙන් මැරෙන්න පුළුවන්. කැලේදී නම් උන් පුළුවන් තරම් සියඹලා අතු පිටින් කඩාගෙන කොළ කාලා කාලා බඩ බුරුල් කර ගන්නවා. ඒත් වෙනත් තැන්වලදී මේ තත්ත්වය වෙනස්. ඒ නිසා තමයි, පොලිතීන්වල දැමූ ආහාර මේ සතුන්ට කන්න පුළුවන් විදිහට පරිසරය පුරා විසි කරන්න එපා කියන්නේ. පොලිතීන්වලින් වන සතුන්ට හානි වනවා කියන්නේ."

වෛද්‍ය නන්දන අතපත්තු මෙන්ම සිළුමිණ පරිසර පිටුව මුළු රටවැසියන්ගෙන්ම ඉල්ලා සිටින්නේ පරිසරයට හානි නොවන ලෙස තම තමන්ගේ ඝන අප ද්‍රව්‍ය බැහැර කිරීමට පියවර ගන්නා ලෙසයි. අප සියල්ලන් අතින් සුළු වශයෙන් සිදුවන හානිය සමස්ත පරිසරය ලෙස ගත් විට විශාලව යන බව අපි දනිමු. එයින් අසරණ සතුන්ගේ මරණවලට වගකියන්නට සිදු වීම අප සිදු කරගන්නා පවක් නොවේද? එයින් වැළකී සිටීමට පුළුවන්කම තිබියදී එය නොසලකා හැරීම ඊටත් වඩා මහත් වූ පවකි.

වෛද්‍ය නන්දන අතපත්තු
අරුණි මුතුමලී 

Comments