එන්න, ප්‍රේමයට බැට දෙන්න | සිළුමිණ

එන්න, ප්‍රේමයට බැට දෙන්න

 අතීතයේ පටන්ම ප්‍රේමය මතින් ගොඩ නැගුණු විවාහයට පෙම්වතුන් විසින් උපරිම සාධාරණයක් ඉටු කරනු දකින්නට ලැබුණා. දුටු හැටියේ බැඳි සිතක් නිසා එය තමන්ගේම කරගන්නට දුගී පැලේ සිට සඳලු තලයක කවුළු පියන්පත් හැරෙනකම්, රජ මැදුරේ සඳලු තලේ සිට පෙරමඟ බලනා මානවිකාවන් ඕනෑ තරම් සිටියේ බොහෝ අවස්ථාවලදී සිතින් විතරක් පෙම් කොට දුරින් හිඳ ඔබ දෙස බලාගෙන ඉන්නට විතරයි. ජීවිත කාලයම එකට ගෙවන්නට නොලැබුණත් අනෙකාගේ සැපයට ආදරය කොට පැත්තකට වී බලා සිටින අය මෙන්ම සියලු දේ කැප කොට හෝ ඔහුව හෝ ඇයව ලබා ගන්නට ඉදිරිපත් වන අයත් ලෝකය ගෝලාකාරයි - මිනිසුන් දෙආකාරයි යන්න සනාථ කරනවා. තමන්ගේ ජීවිතය තමාට අයත් දෙයකැයි නිදහස් චින්තනයක නියැළෙන්නට අවශ්‍ය වූවත් වැඩිහිටියන් හෝ සමාජය කිසිදාක නිසි මඟ පෙන්වාදීමෙන් පමණක් නවතින්නේ නැහැ. මෙන්න මේ තෙවන පාර්ශ්වීය බලපෑම සෑම ප්‍රේම සබඳතාවකටම බලපානවා. දෙදෙනෙක් සතුටින් සිටිනවා නම් ඔවුන්ට සතුටුදායී පවුල් දිවියක් ගෙවිය හැකියැයි යන්න වෙනුවට බාහිර ඔපය ලස්සනට තබා ඇතුලේ නානාප්‍රකාර ගැටුම් මධ්‍යයේ හෝ ජීවිතය ගෙවීම වනාහි නම්බුකාරකම යැයි මතයක් සමාජයේ තිබෙන කාලයක ආදරයේ පදරුත් සෙවීම හිතන්නවත් හිත නැති දෙයක්. පටු අදහසින් පිරි සමාජ රටාවක සැබෑ ආදරය ගැන කීම හරියට ශිෂ්‍යත්වය පාස්වූ දරුවන් තමා කිසිදු වැඩක් නොකළාය, නිදහසේ සෙල්ලම් කළාය යන අමූලික සත්‍යය වගේයි.

ආදරය වෙනුවෙන් කරපු කැප කිරීම් වලින් අපට හොඳින් මතක කතාවක් තමයි සාලිය අශෝකමාලා කථාව. චණ්ඩාල කුලයේ අශෝකමාලා වෙනුවෙන් ශෝක මාලා පලඳවා ගන්නට සාලියට සිත් දුන්නේ ඇය වෙනුවෙන් තිබූ ආදරය නිසයි. පටු අදහසින් යුතුව රජ සැප යනු මහත් සැපයකැයි අප සිතද්දී ඔහු ඉන් මිදී ඔහුගේ සතුට වෙනුවෙන් කැප වුණා. චිත්‍රාව එක්ටැම් ගෙයක සිරකොට රැකවල් ලූවත් ඇයගේ රුව වර්ණනා අසා ජීවිත අවදානමක් පවා ගන්නට දීඝගාමිණී පෙලඹුණා. අපේ රට විතරක් නෙමෙයි ලෝකේ දිහා බැලුවොත් බ්‍රිතාන්‍යයේ අටවැනි එඩ්වඩ් රජු 1936දී තම රජකම අතහැර අමෙරිකානු යුවතියක් විවාහ කරගැනීම ප්‍රධාන කොට දැක්විය හැකියි. එම යුවතිය දෙවරක්ම දික්කසාද වී සිටි නිසා එංගලන්ත පල්ලිය ඇයව පිළිනොගැනීම නිසායි ඔහුට මේ තීරණය ගන්නට සිදුවුණේ. මෙය නිසාම නූතන බ්‍රිතාන්‍ය රජ පෙළපත පවා වෙනස්ව ගියා. නෙදර්ලන්තයේත් රජ කෙනෙක් විවාහ වනවා නම් ඊට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීම සිදු කළ යුතුයි. එරට රජව සිටි ජෝන් ෆ්‍රීසෝගේ පෙම්වතියට ඇගේ අතීත සිද්ධි නිසා පාර්ලිමේන්තු අවසරය නොලැබෙන බව දැනගත් ඔහු රජකම අතහැර සාමාන්‍ය පුරවැසියෙකු බවට පත්වුණා.

මුදල් තිබීම හෝ තනතුරු දැරීම ලොකු කමක් සේ සලකන අපි, 'එය මහා සැපතයැ'යි සිතමින් ඒ වෙනුවෙන් සෙසු සියලු දේ අතහැර ජීවිතය ගෙවනවා. මේ නිසා මානසික සතුට නැතිව ගොසින් මුදල් මූලික කරගත්, හැඟීම් දැනීම්වලින් තොර රොබෝවරුන් පිරිසක් බිහිවෙනවා. එවිට සමාජයේ මූලික ඒකකය වන පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. මුදල් පස්සේ දුවන මවුපියන්ට තමන්ගේ දරුවන් ගැන තබා එකිනෙකාගේ යුග දිවියේ සතුට ගැන සොයන්නට වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. සැමියා නිවසට එද්දී බිරිය නින්දට ගිහින්. එහෙමත් නැත්නම් රැකියා කටයුතු සඳහා රාත්‍රිය මධ්‍යයේම පිටවන්නට සිදු වෙලා. මේ නිසා විවාහය හරහා හැඟීම් පියවා ගන්නවා වෙනුවට තමා රැකියා කරන ස්ථානයෙන් ඒ නොලැබෙන දේවල් ලබා ගැනීමට පෘථග්ජන සිත පෙළඹෙනවා. ඒ, ආලය නොවැඩුණු තැන රාගය කෙසේ හෝ තමන්ගේ පිපාසය සංසිඳුවා ගන්නා නිසායි. ප්‍රේම නොකොට බලෙන් විවාහවූ අය නූතනයේ ව්‍යාපාරයක් වශයෙන් යුවළ සංසරණය කරනවා. ඔවුන්ට එකිනෙකාගෙන් නොලැබෙන දේ වෙනුවෙන් ඔවුන් තවත් යුවළක් සමඟ එකිනෙකා හුවමාරු කරගෙන මුදල්ද ලබා ගන්නවා. මේ තරම් පහත් තත්වයට අද සමාජය ඇද වැටෙන්නට තරම් ප්‍රේමය අභිබවා අනෙකුත් සීමා කිරීම් බලවත් වීම ද හේතු සාධකවී තිබෙනවා.

ජීවිතය යනු විවාහය නොවූවත් විවාහයට තිබූ ගරු ස්ථානය අහිමිව යන්නට කුලය, ධනය, තනතුරු, නම්බුව ආදී අනවශ්‍ය සාධක මතින් නැගෙන පීඩනය ද බලපානවා. ලොව පළමු යුවළ යැයි බටහිර විශ්වාසයේ ඇති ඇඩම් සහ ඊව් පවා කුලගොත්, කේන්දර, ඉඩ කඩම්, දේපල, දෑවැද්ද ආදී සියලු දේ සර්ව සම්පූර්ණ කරගෙන පෙමින් වෙලෙන්නට ගියා නම් අද මනු ලොවක් නැහැ. ලෝකයේ අඩුපාඩුවකින් තොර කිසිවක් නොමැති බව වටහාගෙන හැකි තරමින් එකිනෙකාට ජීවිතය ගැටගහගෙන සතුටින් විසිය හැකි නම්, ඔවුන්ව අනවශ්‍ය ලෙස වළකමින් තම දරුවාගේ සතුටට වඩා තමන්ගේ පෙළපත් නම්බුව බේරා ගැනීම අංක එක කරගත් නෑදෑ වැඩිහිටියන් ඊට අත පෙවීම මානව අයිතීන්ද උල්ලංඝණය කිරීමක්. කෙනෙක්ට තමන් කැමති ඕනෑම කෙනෙක් හා පෙමින් වෙළී, දෙදෙනාගේම කැමැත්තෙන් තම දිවිය ඉදිරියට ගෙන යා හැකියි. ඔවුන් වයස මඳ බව නිසා වැරදි මඟක යන්නේ නම් ප්‍රේමය සම්පූර්ණයෙන්ම නොවළකා ඊට විසඳුම් සොයා දී ඔවුන්ව සතුටෙන් තැබීම පමණයි බුද්ධිමත් වැඩිහිටියෙකුගේ දායකත්වය විය යුත්තේ. කරුණු කාරණා හොඳින් අවබෝධ කර දීමෙන් පසු ඔවුන්ට කැමති තීරණයක් ඔවුන්ට ගැනීමට ඉඩ සැලසිය යුතුයි. මන්ද, වයස මුහුකුරා යමින් ඔවුන්ද වැඩිහිටියන් බවට පත් වෙමින් සිටිනවා මිසක් තවදුරටත් නීති දමමින් පාලනය කළ යුතු කුඩා වියට එළඹෙමින් සිටිනවා නොවෙයි. තමන්ගේ තත්ත්වයට නොගැළපෙනවා යැයි ඔවුන්ව තනි කොට අපි තවත් සොයා බලන්නේ නැතැයි කියා තනි කිරීමෙන් කරන්නේ තවත් ඔවුන්ව අසරණ කිරීමේ කෲර චේතනාවක් ක්‍රියාත්මක වීමක් මිසක් ඔවුන්ගේ සතුට දැක තමාද සතුටු වීමේ කරුණාබර හැඟීමක් නොවෙයි. අවසානයේ හැඟීම්වලට වහල් වී ජීවිත විනාස කරගත්තා යැයි කියන්නේ ද තමන්ගේ මහන්තත්ත හැඟීමට වහල්වී ඔවුන්ව නිවසින් එළියට ඇද දැමූ වැඩිහිටිකමට ද නුසුදුසු පුද්ගලයන් විසින්මයි.

විඳීමට මිස විඳවීමට නොලැබුණු ඉතා කෙටි ජීවිතය විවිධ පුහු යදම් දමාගෙන තමන්ගේ නම්බුකාරකම, මමත්වය රැක ගැනීමේ පටු චේතනාවෙන් තමනුත් දුකට පත්ව, අනිත් අයගේත් සතුට නැති කොට ජීවත් වීම මිනිසාට හිතමිතුරු සත්ත්වයෙක් තණකොළ නොකන බවත් තවත් කප්රුක වන් සතෙක්ට කන්න නොදෙන බවටත් ඇති කියමනට සම කළ හැකියි. අතීත රජෙකුට තමන්ගේ සියලු සැප සම්පත් අතහැර ප්‍රේමයට මුල් තැන දෙන්නට හැකි නම්, ඒ සැප අතහැර දමා එන පුරුෂයා සමඟ කිසිදු මූල්‍යමය සැපතක් නොලැබෙන ලුණුයි බතුයි දිවියක් ගෙවන්නට තරුණිය කැමති නම් සැබෑ ආදරය යනු ඉන් එපිට දෙයක් නොවේ. දෑවැද්ද වෙනුවෙන්, ඉහළ රැකියාවක් කරන නිසා හෝ වෙනත් වාසියක් බලාගෙන යුග දිවියට එළැඹෙනවා නම් එතැන කල් ගතවත්ම හටගන්නේ සවිමත් පවුල් සංස්ථාවක් නොව, යස ඉසුරින් පිරි අපායකුයි. ඉතින්, ඔය එක්ටැම් ගෙයි රැඳවූ චිත්‍රාවට ජීවිතය ගැන පහදාදී කපුවෙකුට අඬ ගසා “හොඳ තැනකින්” කසාදයක් බන්දා ඇගෙන් නිදහස් වෙමු නේද?

තඹරු විජේසේකර

Comments