අනන්‍යතා නැති බබාලාගේ 'බබා සංස්කෘතිය' | සිළුමිණ

අනන්‍යතා නැති බබාලාගේ 'බබා සංස්කෘතිය'

 සංස්කෘතිය ගැන හැමෝම දැනගෙන හිටියට 'බබා සංස්කෘතිය' ගැන දන්නේ මොනවද? පිට රටවලට ආගන්තුක වුණාට අපේ රටේ නම් 'බබා සංස්කෘතිය' නැගලම යනවා. බබාලගේ ක්‍රීඩා තරග, බබාලගේ රේස්, බබාලගේ ක්ලබ්, බබාලගේ ලව් විතරක් නෙමෙයි බබාලගේ දේශපාලනයත් අපට නම් හරී... හුරුයි.

හැමදේම අපේ රටට එන්නේ ඉන්දියාවෙන් වුණත් මේ බබා සංස්කෘතිය නම් ඉන්දියාවටත් වඩා අපේ රටේ වැඩියි. සමහරවිට ලෝකේ වෙන ඕනෑම රටකට වඩා අපේ රට 'බබාලන්තයක්' කියලා හිතෙන තරමට මේ බබා වැඩ අපේ රටේ හරිම සුලබයි.

හැමෝම කාගේ හරි 'බබෙක්' වුණත් මේ රටේ ප්‍රසිද්ධ බබා කෙනෙක් වෙන්න ලේසියෙන් බැහැ. ඒකට ඉන්න ඕනේ ප්‍රසිද්ධ අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි. මේ අම්ම තාත්තලා එක්කෝ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. එක්කෝ දේශපාලනඥයෝ. මේ අයගේ බල සීමා වපසරිය ඇතුලේ එයාලගේ දරුවෝ 'බබාලා'

'මහත්තයගේ බබා' 'සර්ගේ බබා'  'මැඩම්ගේ බබා'

මේ විදිහට නාමකරණය වෙන්නේ එතනදී. මේ බබාලා දණ ගාන වයසේ ඉඳන් විවාහක අය දක්වා වෙන්න පුළුවන්. එතන ඉඳන් තමයි බබා සංස්කෘතියේ නිර්මාණයට මොවුන් දායක වෙන්නේ. පුද්ගලයකුගේ රැකියාව තීරණය කිරීමේ ඉඳන් රට පාලනය කිරීම දක්වාම මේ 'බබා සංස්කෘතිය' පැතිරෙන්න පුළුවන්.

මේ අතරින් සමහර 'බබාලා' තාත්තලගේ අම්මලගේ බලතල අතට අරගෙන යකා නටන අවස්ථා අපේ රටේ නම් සුලබයි. තවත් සමහර 'බබලා' පව්. එයාලට වෙන්නේ අම්මල තාත්තලගේ හීන කර තියාගෙන යන්න. ‍සමහර අයට තමන්ට කියලා අනන්‍යතාවක් ඇත්තෙම නැහැ. එයාලා හඳුන්වන්නෙත් 'අහවලාගේ පුතා' කියලා. අම්මගේ හරි තාත්තගේ හරි පෞරුෂය එයාලාගේ ජීවීතේම වහගෙන. අඩුගානේ තමන්ටම නාමකරණයක් ගන්න, අනන්‍යතාවක් හදාගන්න මොකක් හරි ගෝරියක් දාගෙන, කාට හරි ගහලා, ක්ලබ්එකක් කුඩු කරලා පොලිස් කූඩුවේ හිටියත් තමන්ගේ නමවත් පත්තරේ වැටෙන්නේ නැහැ. එහෙම වුනත් පත්තරේ වැටෙන්නෙත් 'අහවලාගේ පුතා' කියලා. අනේ පව් මේ බබාලා.

කොහොම බැලුවත් මේ 'බබාලා' පව්. මුදල් හෝ බලය නිසා තමන්ව වසාගෙන පැතිරෙන අම්මගේ හෝ තාත්තගේ දැවැන්ත හෙවනැල්ල යටපත් කරගෙන නැගිටින්න, නැගිටලා තමන්ගේම අනන්‍යතාව හොයාගෙන ඒ එක්ක ජීවත් වෙන්න තරම් ආත්ම ශක්තිය තිබුණේ ඉතාම සීමිත 'බබාලා' පිරිසකට විතරයි. ඇත්තටම ඒ අය 'බබාලා' වෙන්න සියලුම සුදුසුකම් තිබුණත් 'බබාලා' නොවුණු අය. එකම එක උදාහරණයක් විදිහට රවි ජයවර්ධන මතක් කරන්න පුළුවන්.

හුඟක් 'බබාලා' කලේ ස්ව කැමැත්තෙන්ම අම්ම තාත්තගේ වැඩ පිළිවෙලට උර දීපුඑක.‍

පහුගිය දවස්වල අන්තර්ජාලයේ බොහෝදෙනෙක්ගේ අවධානයට ලක් වුණු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. ඒ ඡායාරූපවල හිටියේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ වැඩිමහල් දියණිය. සාෂා. ඇය හිටියේ ඇයගේ පෙම්වතත් සමග. ඔවුන් ඡායාරූපයට නගනවාට ඔවුන්ගේ කිසිම අකමැත්තක් දක්නට ලැබුණේ නැහැ. අනික් අතට ඔවුන් සමාජයෙන් වසන් වෙන්න උත්සාහ දැ‍රුවෙත් නැහැ. බොහොම විවෘතව නගරයේ මාවතක් දිගේ ඔවුන් අතිනත අල්ලාගෙන වෙනත් ඕනෑම පෙම්යුවලක් වගේ, තමන් දෙදෙනා‍ හැර මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් නෑ ‍වගේ නිදහසේ ඇවිදගෙන යනවා අපූරුවට මේ ඡායාරූපවල සටහන් වෙලා තිබුණා.

විස්තරවල තිබුණු අන්දමට සාෂාගේ මේ පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක්. වැඩිදුර අධ්‍යාපනයට අමෙරිකාවට ඇවිත්. ව්‍යාපාරික පුතෙක්. උසස් විදුහලේ දී තමයි ඔහුට සාෂාව මුණ ගැහෙන්නේ.

මේ ඡායාරූපවලට අනුව ඔාබාමාගේ දියණිය වීම කියන සාධකය සාෂාගේ තාරුණ්‍යයට කිසිම සීමාවක් පනවලා නැහැ. ඇය තාත්තගේ ලේබල් තමන්ගේ නමට ඉස්සරහින් අලවාගෙන ඒ වෙනුවෙන් තාරුණ්‍යය කැප කරගෙන මවාගත් ආයාසකර ජීවිතයක් උරුම කර ගන්න තරම් මෝඩ වෙලා නැහැ. ඒ වගේම ඒ වෙනුවෙන් ඇයගේ දෙමවුපියන්ගේ කිසිම බලපෑමක් එල්ල වෙලා නැහැ. හොඳ වෙලාවට අමෙරිකාවේ අපේ රටේ වගේ පියපුතු දේශපාලනයකුත් නැහැ.

බිල් ක්ලින්ටන් අමෙරිකාවේ ජනාධිපති වෙලා ඉන්න කලේ ඔහුගේ දුව චෙල්සි විවාහ වුණා. ඉතාම සරල විවාහ උත්සවයක් පැවැත්වුණා.

මේ කිසිවෙක් 'බබා සංස්කෘතියේ' හිරකාරයන් වුණේ නැහැ. ඒ නිසාම ඔවුන්ට ජීවිතේ සුන්දරම තරුණ විය වෙන අරමුණු වෙනුවෙන් බිලිදෙන්න සිදුවුණේ නැහැ.

එහෙම වෙන්න නම් ඔවුන්ට තමන් ජීවිතෙන් ඇත්තටම හොයන්නේ මොනවාද කියන දේ ගැන අවබෝධයක්, හැඟීමක් තියෙන්න ඕනේ. ඒ හැඟීමට ඉඩ දීලා තමන්ගේ සිහින දරුවන් මත පටවන්නේ නැතිව ඉන්න තරම් දෙමවුපියන්ට අවබෝධයක් තියෙන්නත් අවශ්‍යමයි.

මේ කරුණු දෙකම එකට එක් වුණු තැන 'බබා සංස්කෘතියේ' අවසානය දකින්න පුළුවන් වේවි. ඒත් අනේ අපේ රටේ නම් මේ කපේදි එහෙම වෙන එකක් නැහැ.

ටිරෝනි වෑවලගේ

අදහස්