වාසි වැවෙන ගෙවතු වර්ග | සිළුමිණ

වාසි වැවෙන ගෙවතු වර්ග

අතීතයේ ශ්‍රී ලාංකික ජනයා ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයකට අනුගතව සිටියහ. එපරිදි ඔවුන් තම තමන්ගේ මිදුලෙහි තමන්ට අවශ්‍ය ආහාර භෝග වගා කර තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමට පුරුදු විය. කල් යත්ම නාගරීකරණය හේතුවෙන් මිනිසුන් වෙළෙඳපොළ මුලික කර ගත් අහර රටාවකට පුරුදු වීම නිසා ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය ක්‍රමක්ක්‍රමයෙන් ගිලිහුණි. එහෙත් තම තමන්ට හැකි පරිදි ගෙවත්තක් නිර්මාණය කිරීම මඟින් නොසිතන පරිදි පුද්ගලයකුට යහපත් කායික, මානසික තත්ත්වයක් සහ සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් හිමි කර ගත හැකි ය.

ගෙවත්ත යනු පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකය වේ . එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සලකනු ලබන්නේ නැත. ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයකි.නිවස ආශ්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය වූ අංග ඇතුළත්ව ක්‍රමානුකූලව සකස් කරනු ලබයි. භෝග වගා කිරීම මෙන්ම හැකියාව අනුව සතුන් ඇති කිරීමත් එයට ඇතුළත් වේ.

එක් පුද්ගලයකුගේ ගෙවත්තක් තවත් කෙනෙකුගේ ගෙවත්තකට හැම අතින්ම සමාන වෙන්නෙ නැත.එය ප්‍රධාන වශයෙන්ම ගෙවත්ත පිහිටි දේශගුණිකකලාපය හා වගා රටාව මත මෙන්ම ගම/නගරය හා සමාජ පසුබිම අනුව වෙනස් වේ.

දේශගුණික කලාප අනුව වර්ගීකරණය

1. තෙත් කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500 වඩා වැඩිපුර ලැඛෙන ප්‍රදේශ තෙත් කලාපය ලෙස හැඳින්වේ.

තෙත් කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ නිරිතදිග මෝසමෙනි.තෙත් කලාපීය ගෙවතුවල වැඩි භෝග විවිධත්වයක් සහ වැඩි පැළ ගහණයක්දකින්න ලැබේ.

2. වියළි කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 1750 ට අඩුවෙන් ලැඛෙන ප්‍රදේශ වියළි කලාපය ලෙස හැඳින්වේ. වියළි කලාපයට වැඩිපුර වැස්ස ලැබෙන්නෙ ඊසානදිග මෝසමෙනි. වියළි කලාපීය ගෙවතුවල අඩු බෝග විවිධත්ත්වයක් සහ අඩු පැළ ගහණයක් දැකිය හැකිය. වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ත්ව සඳහා ඔරොත්තු දෙන භෝග වර්ග වේ.

3. ගම/ නගරය/ භූමිය/ සමාජ පසුබිම අනු

වර්ගීකරණය

නාගරීකරණය නොවූ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ගෙවතු ග්‍රාමීය ගෙවතු ලෙස හැඳින්වේ .මේ ගෙවතු බොහෝවිට ප්‍රමාණයෙන් විශාල වේ. භෝග වර්ග වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතරම පහසුවෙන් සතුන් ද ඇති කළ හැකි ය.

අර්ධ නාගරික ගෙවතු

වඩා නාගරීකරණය නොවූ ප්‍රදේශවල පිහිටි ගෙවතු අර්ධ නාගරික ගෙවතු ලෙස හැඳින්වේ. ග්‍රාමීය ප්‍රදේශවල තරම්ම ඉඩකඩක් දකින්නට නොලැබුනත් නාගරික ගෙවතුවලට වඩා වැඩි ඉඩකඩක් බොහෝවිට දකින්නට ලැබේ.

නාගරික ගෙවතු

බොහෝ සෙයින් නාගරීකරණය වූ ප්‍රදේශවල දකින්නට ලැබෙන ගෙවතු නාගරික ගෙවතු ලෙස හැඳින්වේ. මේ ගෙවතුවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඉතා අඩු, සීමිත ඉඩකඩක් පැවතීමයි .මහල් නිවාස, නිවාස සංකීර්ණ, සහ ඉතා සීමිත ඉඩකඩක පිහිටි නිවාසවල ගෙවතු මේ යටතට ගැනේ.

ප්‍රතිලාභ

ගෙවත්ත පවුලේ සියලූ දෙනාට ප්‍රියජනක සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට උදව් වේ. තව ද වස විස නැති, රස ගුණයෙන් පිරි, පිරිසිදු එළවළු හා පලතුරු අවශ්‍ය වෙලාවට ලබා ගත හැකි ය.හොඳින් සැළසුම් කළ ගෙවත්තකින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වෙළඳපොල ගනුදෙනුව ටිකෙන් ටික අඩුවීමයි.ඒ නිසාම, පවුලේ පෝෂණය මෙන්ම ආර්ථික තත්ත්වය ටිකෙන් ටික ඉහළ නැගේ.සැලසුම් සහගත ගෙවත්ත කෘෂිකාර්මික දැනුම, කුසලතා හුරුව හා ආකල්ප පරපුරෙන් පරපුරටත්, අසල්වැසියන්ට නෑදෑයින්ට වගේම හිතමිතුරන්ටත් ලබාදෙන කෘෂි තක්සලාවක් ලෙස කටයුතු කරයි.

ගෙවත්තක විවිධ භෝග වගා කිරීමෙන්, සතුන් ඇති කිරීමෙන්, අලූත් කෘෂිකාර්මික ක්‍රම අත්හදා බැලීමෙන් අපට නිරන්තරයෙන් අත්දැකීම් ලබා ගත හැකි ය. එමඟින් අනාගතයේදී මහා පරිමාණ වාණිජ වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා යොමුවීමට කදිම අත්වැලක් සපයාගත හැකි ය.ගෙවත්තක තියෙන සමහර ශාක අපට දර විදියට පාවිච්චි කිරීමට පුළුවන. ඒ නිසා ඉන්ධන සඳහා මුදල් වැය වන්නේ

නැත. හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් නඩත්තුකරන විට අපට ලැඛෙන විවේක කාලය සතුටින් ගත කිරීමට හැකිය.හොඳ අරමුණක් තිබෙන බැවින් අනවශ්‍ය දේවල් කරන්න, කියන්න, හිතන්න යොමුවෙන්නේ නැත. භාවනාවක් මෙන් සිතට වින්දනයක් සමඟ මානසික සුවයෙන් ගතට ව්‍යායාමයක් සමඟ නිරෝගී බවට අත්වැලක් ලබා ගැනීම මිල කරන්න බැරි තරම් වටිනවා දෙයකි.

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මෙන්ම පවුලේ සියලු දෙනාගේම නිරෝගී පැවැත්ම සඳහා ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලැබිය යුතුය .එම නිසා සමබල ආහාර වේලක තිබිය යුතු- ශක්තිජනක ආහාර ( කාබෝහයිඩ්‍රේට්), මේදය, වර්ධක ආහාර ( ප්‍රෝටීන), ආරක්ෂක ආහාර (විටමින් සහ ඛණිජ ලවණ) යන කොටස් හතරම ඇතුළත් විය යුතුය.

මන්දපෝෂණය වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදා ගැනීම සඳහා සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ ගෙවත්ත සැලැසුම් කර ගැනීමට ගෙවත්තක් හිමි සියලු දෙනාම අනිවාර්යයෙන්ම මතක ලබා ගත යුතු වේ. ඒ සදහා විවිධ පෝෂක සංඝටක අඩංගු විවිධ බෝග/ සත්ත්ව පාලනය ඔබේ ගෙවත්තට ඇතුළත් කර ගත යුතු ය.

ආහාර බෝග මඟින් භූමි අලංකරණය

මල් හා විසිතුරු පැළ වෙනුවට ආහාරයට ගත හැකි භෝග වර්ග යොදාගෙන භූමි අලංකරණය සිදුකිරීම ආහාර භෝග මඟින් භූමි අලංකරණය (Edible Landscaping) ලෙස හැඳින්වේ.ආහාරයට ගත හැකි භෝග මෙන් ම වෙනත් ප්‍රයෝජනවත් ගස්වැල් අඩංගු හොඳ සැලසුමක් තිබෙන ගෙවත්ත මෙය කලාත්මක නිර්මාණයක් වන නිසා එය භූමි අලංකරණයට නව ප්‍රවේශයක් වේ.

අතීතයේදී පර්සියානු උද්‍යාන නිර්මාණය සඳහා භෝග හා විසිතුරු පැළ යොදාගෙන ඇති බවට සාක්ෂි හමුවේ. ක්‍රි.ව. 1100 -1500 දී ආගමික උද්‍යාන (Medieval Monastic Gardens) අලංකරණයට එළවළු, පලතුරු හා ඖෂධ පැළෑටි යොදාගෙන ඇත. වතු බංගලා අවට භූමි අලංකරණය සඳහාත් එළවළු හා පලතුරු වර්ග භාවිතා කර තිබේ.

ආහාර බෝග මඟින් භූමි අලංකරණය කිරීමේ වාසි

නැවුම් එළවළු හා පලතුරු ආහාරයට ගත හැකි වේ.තව ද නිතර වෙළෙඳපොළ් දක්නට නොලැඛෙන වියදම් අධික එළවළු පලතුරු ආහාරයට ගත හැක. එය පළිබෝධනාශකවලින් තොර කාබනික ආහාර වේලක් වීම, ආහාර සුරක‍්ෂිතතාවය තහවුරු වීම මෙන් ම නිවසේ ආහාර සඳහා වැය වන වියදම අඩු කර ගැනීමටත් හේතු වේ. ගෙදරට පැමිණෙන අමුත්තන් ගෙවත්තෙහි සුන්දර වටාපිටාව දැක සතුටට පත්වන අතරම අගය කිරීම ද කරයි. එමඟින් ගෙවතු හිමියන්ට ලැඛෙන මානසික හා කායික සුවය ලැබේ.

පරිභෝජනය සඳහා භූමි අලංකරණය කළ යුතු ආකාරය

ගෙවත්තට අඩුම වශයෙන් පැය 6 ක කාලයක් සූර්ය රශ්මිය හොඳින් ලැබිය යුතු ය. තව ද හොඳින් ජලය බැස යන පසක් තිබිය යුතුය. බොහෝ එළවළු වර්ග (විශේෂයෙන්ම ගෙඩි /කරල් හටගන්නා භෝග) සෙවණේ නොවැඩේ. එහෙත් නිවිති, කිරි අල, ඉඟුරු වැනි බෝග සෙවන ඇති තැන්වල වැවිය හැකිය.භෝග මඟින් භූමි අලංකරණය ආරම්භ කිරීම සඳහා අනවශ්‍ය ගසක් වෙනුවට ප්‍රයෝජනවත් ගසක් සිටු වීමට මතක තබා ගත යුතු ය.

පාරවල් හා පාත්ති කෙළවරවල්වල සිටුවා ඇති ගඟවැරැල්ල හා දුරැන්ත වැනි ශාක වෙනුවට සලාද හෝ දම් පැහැති ගෝවා මුකුණුවැන්න සිටු වීමත්, බෑවුම් සහිත ප්‍රදේශවල වැල් ගොටුකොළ සිටු වීමත්, මල්වැල්වලින් සාදා ඇති ආරුක්කු වෙනුවට කරවිල, වැටකොළු, පතෝල වැනි වැල් වර්ග සිටු වීමටත් පෝච්චිවල සිටුවා ඇති ක්‍රෝටන්, සයිප්‍රස්, බිගෝනියා හා රෝස වැනි මල් වෙනුවට ඇඹුල් පේර, ජම්බු වැනි පලතුරු සිටු වීමටත් හැකිය. රිජිෆෝම් බක්කි/ කොහුබත් පිරවූ පෝච්චිවල බෝග වගා කර නිවස අලංකාර කළ හැකි ය. තව ද ආලින්දයේ ජනෙල් අසල, පෙට්ටිවල/එල්ලනකූඩ වල / බඳුන්වල ද භෝග සිටුවා ගත හැකි ය.

ඍජු හතරැස් මල් පාත්ති වෙනුවට විවිධ හැඩතලවලින් යුත් එළවළු පාත්ති සකස් කර ගත යුතු ය. පාත්තිවල ඉදිරිපස වැඩි උසට නොවැඩෙන එළවළු සිටු විමටත්, පිටුපසට වන්නට උස එළවළු පැළ සිටු වීමටත් එකම වර්ගයේ එළවළු වර්ග එක පේළියට වගා කිරිමත් යෝග්‍ය වේ.

එළවළු පේළි සමඟ මල් පැළ පේළි ද සිටුවීම කළ හැකි ය. (දාස්පෙතියා) එළවළු භෝග මාස කිහිපයකින් අවසාන වන නිසා වසර පුරාම විවිධ නිර්මාණ කළ හැකිය. පරිභෝජනය සඳහා භූමි අලංකරණයට විශේෂයෙන් සැකසුණු සිද්ධාන්ත පද්ධතියක් නැත. නිතරම නිර්මාණශීලී විය යුතු ය.

විවිධ බෝග වර්ග සුදුසු ලෙස යොදා ගනිමින් සුන්දර, අපූරු ගෙවත්තක් බිහි කර ගැනීමට අද සිට ම උත්සහ ගත යුතු ය.

 

උපදෙස් - ගන්නොරුව, උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ( HORDI)

 

මදාරා මුදලිගේ

අදහස්