වඳ පෙති බිය පුස්සක් | සිළුමිණ

වඳ පෙති බිය පුස්සක්

 වඳ භාවය ඇති කිරීම සඳහා වෛද්‍ය විද්‍යානුකූලව නිපදවන ලද නිශ්චිත ඖෂධයක් හෝ කිසියම් පෙත්තක් හෝ මෙරට හෝ අන් කවර රටක හෝ වෙළෙඳපළේ නොපවතින්නේ යැයි දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ‍ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අවධාරණය කරයි.

එහෙත් විවිධ රෝග සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධ හෝ ඇතැම් හෝමෝන වර්ග ද දීර්ඝ කාලයක් ලබා ගැනීමෙන් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම වඳ භාවය ඇති විය හැකි බව ද ඔහු කියයි. පුරුෂයින් ටෙස්ටස්ටෙ‍රෝන් හෝමෝනය මෙන් ම ස්ත්‍රීන්ගේ ආර්ථව චක්‍රය පාලනය කරන මොළයේ නිපදවෙන GnRH වැනි හෝමෝන වර්ග කලක පටන් නික්ෂේපන මඟින් ලබා දීමෙන් වඳ භාවය ඇති කළ හැකි ය. මෙම හෝමෝන වර්ග ලංකාවෙහි ඇත්තේ නික්ෂේපන (injection) වශයෙන් පමණි. විදෙස් රටවල මේවා පෙති වශයෙන් පැවැතිය ද වඳ භාවයට පත්වීම සඳහා බලපෑමක් සිදු කිරීමට නම් එම පෙති විශාල සංඛ්‍යාවක් එකවර ලබාගත යුතු බව ද වෛද්‍යවරයා පවසයි. මෙම හෝමෝන ලබා ගත්විට එකවර වඳ භාවයට පත් නොවන අතර ඉන් පෙර වමනය, බඩඑළිය යාම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවේ.

පිළිකා ‍රෝග සඳහා දිගු කාලීනව ලබාදෙන Cycloposamide වැනි ඖෂධ මඟින් ද මඳ සරු බවට පත් විය හැකිය. මෙම ඖෂධ මාස කිහිපයක් පුරා ගත් විට ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම දරු ඵල අඩු විය හැකි ය. මෙම ඖෂධවල අතුරු ඵල ලෙස බඩ දැවිල්ල, වමනය, ඔක්කාරය හා බඩඑළිය යාම ද ඇති විය හැකි ය.

උතුරු මැද හා දකුණ පළාත් ආශ්‍රිත කෘෂි ගම්මාන වාසී ජනතාව අතර බහුලව දක්නට ලැබෙන මද සරු භාවයට හේතුව ඒ පළාත්වල වගාවන් සඳහා යොදන කෘමිනාශක හා වල් නාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය හේතු විය හැකි බවට අනුමාන කළ හැකි බව පවසන වෛද්‍ය සුමනතිලක මේ ප්‍රදේශවල ළිං ජලය හා පස් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන මඟින් වහාම පරීක්ෂාවට ලක් කළ යුතු බව ද වෛද්‍යවරයා පැවැසීය.

කුකුළන් ගේ වර්ධනය සඳහා ඊස්ට්‍රජන් හෝමෝනය යොදන බවට මතයක් ද ඇති නමුත් මේ වනතුරු එහි සත්‍යතාව සොයා බැලීම සඳහා ද විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර නොමැති හෙයින් එවැන්නක අවශ්‍යතාව ද මතුව ඇතැයි ඔහු පවසයි‍. එලෙස කුකුළන්ට ඊස්ට්‍රජන් හෝමෝනය යොදවා ඇත්නම් එවැනි සතුන් ගේ මස් දිගු කාලයක් මුළුල්ලේ වැඩිපුර ආහාරයට ගැනීමෙන් ද දරුඵල අඩු වීමට ඉඩ ඇතැයි ද වෛද්‍ය සුමනතිලක පවසයි. 

අදහස්