වකුගඩු රැකගන්න බෝ නොවන රෝගවලින් වැළකෙන්න | සිළුමිණ

වකුගඩු රැකගන්න බෝ නොවන රෝගවලින් වැළකෙන්න

 ලෝක වකුගඩු දිනය මාර්ත මස අට වැනිදාට යෙදී තිබිණි. ලෝක කාන්තා දිනය ද මාර්තු අට වැනිදාය. මෙවර ලෝක වකුගඩු දිනයෙහි තේමාව “වකුගඩු හා කාන්තාව” (Kidney's and Women) ය. වකුගඩු රෝගය කාන්තා සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න හා ඉන් වැළැකීම, රෝගය පාලනය කරගෙන ජීවත්වන ආකාරය හා වකුගඩු සැත්කම් හා රෝගයට බඳුන්වූ රෝගීන් රැක බලාගන්නා ආකාරය යන කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වකුගඩු දිනයෙහි අරමුණය.

වකුගඩු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමින් ය යන සාවද්‍ය මතයක් සමාජයෙහි පවතී. එහෙත් ලොව පුරා නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවන්නන් අතරින් මිලියන 195 ක් කාන්තාවෝ වෙති. කාන්තා මරණවලින් ලක්ෂ හයකට හේතු වන්නේ නිදන්ගත වකුගඩු රෝගය හා ඒ ආශ්‍රිතව ඇතිවන සංකූලතාය. නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතු වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය හා ස්ථුලතාවය වැනි බෝ නොවන රෝග වේ. දියවැඩියාව 60% ක් ඊට හේතුවේ. බෝ නොවන රෝග පාලනය නොකිරීමෙන් ඇතිවන වකුගඩු අකර්ණිය හේතුවෙන් නිදන්ගත වකුගඩු රෝගය ඇතිවේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික වීම හා ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීම නිදන්ගත වකුගඩු රෝගයෙන් වැළැකීමට ඇති හොඳම පිළියම වන‍්නේ යැයි මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැසීය.

දැනට ලෝකයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එහි ජනතාවගෙන් 14.6% ක් වකුගඩු ‍රෝගවලින් පෙළෙති. ලංකාවේ වසරකට අලුතින් හඳුනා ගන්නා වකුගඩු රෝගීන් සංඛ්‍යාව 5000 කි. බස්නාහිර පළාතේ වකුගඩු රෝගීන් ගේ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වෛද්‍ය හේවගේ පවසයි. 2017 වසරේ මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයෙහි අලුතින් ලියාපදිංචි වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2830 ක් බවද වෛද්‍යවරයා පවසයි.

උතුරු නැගෙනහිර හා වයඹ පළාත්වල පවතින කෘෂිකාර්මික වකුගඩු රෝගය ‍ෙහ්තුවෙන් බස්නාහිර ඇතුළු දිවයිනේ සෙසු පළාත්වලින් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පිළිබඳ අවධානය ගිලිහී යන බැවින් ඒ ගැන මහජනතාව ගේ ‍මෙන්ම සෞඛ්‍ය අංශවලද විශේෂ අවධානය යොමු විය යුතු බවද වෛද්‍ය හේවගේ පවසයි.

කාන්තාවන් සතු සන්ධි ආබාධ දරු ප්‍රසවය ආශ්‍රිත සංකූළතා දියවැඩියාව හා අධික රුධිර පීඩනය කාන්තාවන් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවීමට හේතු වන බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසයි. පවුලක මවක හෝ බිරිඳක වකුගඩු රෝගයට ගොදුරු වූ කළ ඒ පවුලට අත්වන ඉරණම ඛේදනීය වේ. පවුලේ පියා හෝ ප්‍රධාන ආදායම් උපයන්නා වකුගඩු රෝගයට ගොදුරු වූ කල ඒ මුළු පවුලම ආර්ථික හා සාමාජීය වශයෙන් විශාල බිඳ වැටීමකට ලක්වේ. තමාගේ මෙන් ම සිය පවුලෙහි සුවපත් භාවය ගැන මව හෝ කාන්තාවන් දැනුවත්ව සිටීමෙන් රෝගය වළක්වා ගැනීම මේ බො‍‍හෝ ගැටලුවලට පිළියම බවද වෛද්‍යවරයා කියයි. දියවැඩියාව මුත්‍රාශ‍ෙය් ගල් හා අධික රුධිර පීඩනය වැනි රෝගවලින් වැළැකී සිටීම නිදන්ගත වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වේ. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර පරිභෝජනය, ව්‍යායාමවල යෙදීම මෙන්ම ආතතියෙන් වැළකී සිටී‍මෙන් බෝ නොවන රෝග වළක්වා ගත හැකිය.

වකුගඩු පරීක්ෂාවකින් අනතුරුව මාස තුනකට වැඩි කාලයක් වකුගඩුවල ව්‍යුහයේ ක්‍රියාකරීත්වයෙහි අඩුවක් වේ යැයි හෙළිවුවහොත් ඒ පුද්ගලයා නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වී ඇතැයි තීරණය කළ හැකිය. මුත්‍රා ආසාදන ඇති වන්නේද වකුගඩුවල ආබාධයක් හේතුවෙන් විය හැකිය. එහෙත් ඒවා තාවකාලික ආබාධ වේ. තීව්‍ර වකුගඩු අකරණිය ලෙස හඳුන්වන්නේ බරපතළ ආබාධිත තත්ත්ව වේ. නිදන්ගත වකුගඩු රෝග ලෙස සැලකෙන්නේ හඳුනා නොගත් හෝ බෝ නොවන රෝග හේතුවෙන් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් වකුගඩු අකරණිය ඇති වූ අවස්ථාවේදීය. වකුගඩු රෝග සඳහා අවදානම් කණ්ඩායම් වන්නේ බෝනොවන රෝග සහිත පුද්ගලයන්, පවුලේ වකුගඩු රෝගීන් සිටින සහ කෘෂිකාර්මික වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවාසීන්ය. බෝ නොවන රෝගවලින් වැළකීම මෙන්ම රුධිරයේ සීරම් ක්‍රියේටිනින් වැනි වකුගඩු රෝග සඳහා වන පරීක්ෂණ කර ගැනීමත් නිසි කලට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ද වකුගඩු රෝග වළක්වා ගැනීමට මෙන්ම සාර්ථක ලෙස පාලනය කිරීමට ද හැකි යැයි වෛද්‍ය ගීගනගේ පවසයි.

හදිසි අනතුරු හෝ වෙනත් හේතු මත මොළය මිය ගිය බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද රෝහලක දැඩි සත්කාර ඒකකයක මිය යන පුද්ගලයින් ගේ වකුගඩු පමණක් තවත් රෝගියකුට බද්ධ කිරීම සඳහා සුදුසු වන බව මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයෙහි රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාලක ගුණවංශ මහතා පවසයි. මොළය මිය ගිය බව වෛද්‍යවරුන් සහතික කළ පසු පැය 5 - 6 ක් පමණ ඇතුළත ඔවුන්ගේ අවයව ඉවත් කරගත යුතු බව පැවැසූ වෛද්‍ය ගුණවංශ මිය ගිය පුද්ගලයාගේ අවයව දන්දීම සඳහා ඥාතීන්ගේ කැමැත්ත ලබාදීමේදී සිදුවන ප්‍රමාදය නිසා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසරකට අපතේ යන වකුගඩු ප්‍රමාණය 1500 - 2000 ක් පමණ වන බවද පවසයි. මොළය මිය ගිය බව සනාථ කළ කිසිදු රෝගියකු යළි පණ නොලැබෙන හෙයින් ඥාතීන් අවයව දන්දීමට අප්‍රමාදව කැමැත්ත පළකළහොත් ඒ පුද්ගලයන්ගේ නිරෝගී අවයව යොදාගෙන රෝගීණ් බොහෝ සංඛ්‍යාවක් සුවපත් කළ හැකි බවද වෛද්‍ය ගුණවංශ පවසයි. දැනට මෙරට සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමෙන් සෞඛ්‍ය සම්පන්නව වසර 20 - 25 පමණ ජීවත්වන පුද්ගලයින් රැසක් සිටින අතර සැත්කම්වලින් පසුව ඇති විය හැකි ශාරීරික හා මානසික ගැටුල අවම කර ගැනීම සඳහා රෝගීනට ප්‍රමාණවත් තරම් පසු ප්‍රතිකාර පහසුකම් සංවර්ධනය කිරීමද කාලීන අවශ්‍යතාවක් වී ඇතැයි වෛද්‍ය ගුණවංශ වැඩිදුරටත් පැවැසීය. 

සාගරිකා දිසානායක ජයසිංහ

අදහස්