දිවිය ජයගන්න සවිය අවියක් කරගන්න | සිළුමිණ

දිවිය ජයගන්න සවිය අවියක් කරගන්න

කස්තුරි විල්සන්

‘ගැහැනුකමට’ අපේ සමාජයෙන් ලැබෙන සැලකීම හා හැදියාවෙන් ප්‍රයෝජන ගෙන අභියෝග ජයගන්නට පුළුවන්. ගැහැනියට දෙවැනි තැන දෙන්නට පිරිමින් කැමැතියි. එහෙත් ඈ සතු හැකියාව, ශක්තිය හා අවංක බව හමුවේ ඒ සියල්ල පරාජය කළ හැකියි.

දුක දිනා ජයගත් බොහෝ දෙනකු අතුරින් අප වැඩිපුර කතා කරන්නේ පිරිමින් ගැනය. අතීතයේ පටන් අද දක්වාම දක්ෂයන් වීරයන් හා බලවතුන් ගැන කතා කරන තරමට අපේ ජාතිය උදෙසා දිවිදුන්, අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් හා බාධා වැටකඩුලු බිඳගෙන ඇතැම් විට පිරිමින්ද අබිබවා ජය ගත් කාන්තාවන් ගැන කතා කරන්නේ කලාතුරකිනි. කාන්තාවන්ගේ ශක්තිය හෝ මහිමය බොහෝ විට අපට සිහියට නැ‍ඟෙන්නේ අන්තර්ජාතික කාන්තා දිනය (මාර්තු 8) හෝ ලෝක ගැහැනු ළමයින්ගේ දිනය (ඔක්තෝබර් 11) වැනි දිනයන්හිදී ය. එහෙත් සැබැවින් ම මෙලොව පැවැත්ම උදෙසා දරුවන් බිහි කර, ලේ කිරි කර පොවා උස් මහත් කොට සිප් නැණ ද ගුණ දම් ද වඩා යහපත් මිනිසුන් ලෝකයට දායාද කරන මවුවරුන්ගේ කාන්තාවන්ගේ ශක්තිය ධෛර්යය හා වටිනාකම එලෙස නම් කරන ලද දිනයකට ලඝු කොට තැබිය යුත‍්තක් නොවේ.‍

ජීවිතයේ ගිරි දුර්ග තරණය කරන්නට ගැහැනියක සතු ශක්තිය කිසිසේත්ම පිරිමියකුට දෙවැනි නොවන නැතහොත් පිරිමින් අබිබවා ගිය අවස්ථා අප සමාජයෙන් ම බොහෝ විට හමු වෙයි. දුක දිනා ජයගෙන දුක් කඳුළු සතුටු කඳුළු බවට පෙරළාගෙන සිනාසෙන ගැහැනුන් අප අතර බොහෝ ය. එවන් දිරිමත් සොඳුරු කාන්තාවකගේ කතාවෙහි අභියෝග හමුවෙහි සැලී හැකිළෙන ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ලද හැකි අගනා පාඩම් බොහෝ ය. කඳුළ පිසඳා දිවිය ජයගන්නට වෙර දරන බොහෝ දෙනාගේ හිත් දිරි ගන්වනු පිණිස වරින් වර ඒ කතා අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

පිරිමින්ට පමණක් කළ හැකි යැයි සම්මත වී තිබුණු පිරිමින්ම රජකළ ක්ෂේත්‍රයකට ලාබාල වියෙහිදීම පිවිස ස්ව ශක්තියෙන් පිරිමින්ගේ හැකියාවට අභියෝග කළ අයෝමය කාන්තාවක ලෙස අපි ඇය හඳුන්වමු. 2013 වසරේ ශ්‍රී ලංකා කළමනාකරණ ක්ෂේත්‍රයේ ආදර්ශවත් වෘත්තීය කාන්තාව ලෙස ‘විමෙන් ඉන් මැනේජ්මන්ට්’ සංවිධානය මඟින් තෝරාගත් ඇය ලංකාවේ බලවත්ම කාන්තාවන් පනස් දෙනා අතුරින් අට වැනි තැන හිමි කරගත්තා ය. 2015 - 2016 වසරවල ඉන්දියාවේ මුම්බායි නුවරදී ජගත් කාන්තා නායකත්ව සම්මේලනය මඟින් පැවැත්වුණු සම්මාන උලෙළේදී ඇය ලෝකයේ කැපී පෙනෙන කාන්තා නායිකාවට හිමි සම්මානයෙන් ද පුදනු ලැබුවා ය. ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශයන්හිදී පෞද්ගලික අංශයේ පරිපාලන ක්ෂේත්‍රයන්හි දක්ෂ කාර්යක්ෂම නියමුවරියක ලෙස පතළ කීර්තියක් ඇති ඇය හේමාස් සමූහ සමාගමේ නාවික සේවා ප්‍රවර්ධන, තොරතුරු තාක්ෂණ හා ඖෂධ අංශයේ විධායක අධ්‍යක්ෂිකා කස්තුරි විල්සන්ය.

තවමත් තාරුණ්‍යය පියමං නොකළ කස්තුරි දශක තුනකට වැඩි කාල පරාසයක් මුළුල්ලේ සාර්ථකත්වය කරා පැමිණි මාර්ගය මල් පියවිලි ඇතිරූ සුවපහසු මාවතක් වූයේ නැත.

දහ අට හැවිරිදි හිරිමල් යොවුන් වියේදීම වෘත්තීය දිවියට අවතීර්ණ වූ කස්තුරි ගණකාධිකරණය හා මූල්‍ය සේවා පරිපාලන, නාවික හා ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණ හා ඖෂධ යන එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර රැසක සිය දැනුම හැකියාව සහ කාර්යක්ෂමතාව හා කළමනාකාරිත්වය තුළින් ඒ ක්ෂේත්‍රයන්හි පතළව සිටි දැවැන්තයින් රැසක් අබිබවා පෙරට එන්නට‍ සමත්වීමේ රහස ඇගේ දිවි සැරිය තුළ සැඟව ඇතැයි මට සිතිණි. උත්සාහවත් අධිෂ්ඨානශීලී ඇගේ කතාව ඔබට කියන්නට කස්තුරි නොපැකිළ ඉදිරිපත් වූවාය.

“මම කස්තුරි විල්සන්. වැල්ලවත්තේ පහළ මධ්‍යම පාන්තික ද්‍රවිඩ පවුලක දෙවැනි දියණිය ලෙස උපත ලැබුවා‍‍. මට වැඩිමල් සහෝදරියක් සිටිනවා. මගේ පියා රැකියාවක් කළත් ‍ඔහුගෙන් අපේ පවුලේ ආර්ථිකයට එතරම් ලොකු පිටිවහලක් නොලැබුණේ ඔහු දැඩි ලෙස මත් ලෝලීව සිටි නිසයි. මම ඉගෙනුම ලැබුවේ බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ. මගේ මව පියාගෙන් වුණු අඩුපාඩුවත් මකාගෙන අපි දෙන්නාට පුළුවන් තරම් හොඳ අධ්‍යාපනයක් ‍ෙදන්නට උත්සාහ කළා‍. පවුලේ නඩත්තුවටත් අපේ අධ්‍යාපනයටත් වියදම් කරන්න මුදල් හොයාගන්න එකවර රැකියා තුනක් කළා. ගේදොර වැඩපළ සියල්ල හා තාත්තාගේ වැඩ යුතුකම් වගකීම් සියල්ල කරට ගත් අම්මා අපිට උගන්වන්නට ළමයින්ට පෞද්ගලික පන්ති පැවැත්වීමේ පටන් රස කැවිලි හදා විකිණීම දක්වා වූ පුංචි පුංචි දේවල් පවා කළා. කස්තුරිට ඇගේ සිත, කය සවිමත් කළ යෝධ බල ‍‍යෝධ හයිය උරුම වූ හැටි හිතාගන්න ඇගේ කටුක ජීවිත කතාවේ ආරම්භක වැකි කිහිපයම ප්‍රමාණවත්.

තාත්තාගෙන් වූ අඩුපාඩුව මකා ගන්න පුංචි අපිට දුක නොදී සැප දෙන්න අම්මා දරන වෑයම දෑහින් අහන දකින හැම මොහොතෙම “මේ දුක දිනන්නට ඇති හොඳම මග ඉගෙනීම’ යන්න මගේ හිතට වැටුණේ පුංචිම කාලේ පටන්. මගේ යෙහෙළියන් පාසලට වාහනවල එනවිට මම බස් එකේ ගියා. බස් එකේ යන්න සල්ලි මදි නම් පයින් ගියා. ඒත් පන්තියේදී හොඳට ඉගෙන ගත්තා. පිට්ටනියේදී හොඳට සෙල්ලම් කළා. වාසනාවට මට දෙවියෝ මොළෙයි හිතේ හයියයි දෙකම එක සමව දීලා තිබුණා. මම අධ්‍යාපනයට වගේ ම ක්‍රීඩාවටත් උපරිම දස්කම් දැක්වූවා. පන්තියේ පළමුවැනියා වගේ ම පැසි පන්දු කණ්ඩායමේ නායිකාව, ජවන හා පිටියේ ක්‍රීඩා සියල්ලමත් කළා.‍

අතීත‍යට සමවැදුණු කස්තුරිගේ දෙනෙත් අග සිහින් කඳුළු පටලයක් දැවටෙනවා. හේමාස් ෆාමසියුටිකල්ස් අංශයේ විධායක අධ්‍යක්ෂිකාවට හිමි සුඛෝපභෝගී සුව පහසු කුටියේ විසල් වීදුරු කවුළුවෙන් එපිට මුහුදු තෙරගින් බැස යන රාස්සිගේ අව්රැල්ලක පඬු පැහැයෙන් ඇගේ නෙත් කැල්ම තවත් ආලෝකවත් වෙනවා. ක්ෂිතිජ ඉම ඉසව්වේ රැඳුණු ඇගේ මතක පොතේ පිටු එකිනෙක දිග හැරෙනවා.

“මම උසස් පෙළ ගණිත අංශය තෝරා ගත්තේ මට ඉංජිනේරුවරියක් වෙන්න වුවමනා වුණු නිසා නොවෙයි. මගේ අම්මාට, මගේ ගුරුවරුන්ට වගේ ම වැඩිහිටියන්ට ඕනෑ වුණු නිසා. ඒ කාලෙ එහෙමයි. ළමයින්ට කැමැති, ළමයින් දස්කම් දක්වාපු ක්ෂේත්‍රයක් තෝරා ගන්න අපිට නිදහසක් තිබුණේ නෑ. අධ්‍යාපනයට තරම්ම ක්‍රීඩාවටත් ඇලුම් කරපු මට ඉංජිනේරු පීඨයට යන්න ලකුණු කීපයක් මදි වුණා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට ඇතුල් වුණා. ඒ අතරේ මම ගිණුම්කරණය හදාරන්නත් යොමු වුණා. විශ්වවිද්‍යාලෙ යන අතරෙම මම CIMA විභාගයටත් සූදානම් වුණා. මගේ අධ්‍යාපනයට මුදල් සොයාගන්නට වුවමනා නිසා මා 1987 දී සෝමේශ්වරන් සහ ජයවික්‍රම විගණන සමාගමේ රැකියාවකට බැදුණා. රැකියාව කරන ආයතනය වෙනුවෙන් මම ක්‍රීඩා කළා. ක්‍රීඩාවට මා දැක්වූ සමත්කම් පුංචි කාලේ පටන් අද දක්වාම මගේ ජීවිත අභියෝග ජයගන්න උපකාර වුණා. ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නත් මම සේවය කළ ආයතන මට විශාල සහයෝගයක් දුන්නා.

ක්‍රීඩාව නිසා මට බොහෝ වටිනා අවස්ථා හිමි වෙලා තිබෙනවා. මගේ ක්‍රීඩා හැකියාව නිසා ම හැටන් නැෂනල් බැංකුවේ මට රැකියාවක් ලැබුණා. ඒ රැකියාව මා තෝරා ගත්තේ ‍උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නටයි. ඒ වනවිට මා සමස්ත ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් සිටියා. මේ අතර මට වරින් වර විදේශ රටවල ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්නත් අවස්ථාවන් ලැබුණා. මුල් කාලේ මට ඒවාට යන්න සල්ලි හොයාගන්න අම්මා අතේ දමාපු රන් වළලු උකස් කරලා සල්ලි දුන්නු හැටි මට තවම මතකයි.”

ඇගේ දෑසග නලියන කඳුළක් දෑස් කෙවෙණි අගින් ගිලිහෙන්නට වැර දරනවා.

“මම බොහොම ඉක්මනින් ජීවිතේ කඩඉම් පසු කළ ගැහැනියක්‍.‍ අවුරුදු 18 දී රැකියාවක් කරපු මම අවුරුදු 23 දී විවාහ වුණා. අවුරුදු 26 දී පුතුන් දෙදෙනකුට අම්මා වුණු මම අවුරුදු 29 වනවිට නීතියෙන් විවාහයෙන් වෙන්වූ තනි අම්මා කෙනෙක්.” කස්තුරි ඇගේ ජීවිතයේ දෙවැනි කටුක දුර්ගයේ වතගොත ද නොපැකිළ හෙළි කළා.

“විවාහ බැම්මෙන් මිදෙන්නට මා තීරණය කළේ ආදර‍ෙයන් බැඳුණු දෙදෙනෙක් සණ්ඩු - සරුවල් මැද නොහොඳ - නෝක්කාඩුකම් මැද ගෙවන ජීවිතයේ කටුක අත්දැකීම්වලට දරුවන් ගොදුරු විය යුතු නැතැයි සිතූ නිසයි. අම්මා - තාත්තාගේ ගැටුම් පුංචි දරුවන්ගේ සිත් තුළ ඇති කරන හැඟීම් කොයි තරම් කටුක දැයි මා හොඳින් දන්නවා. ඒ අමිහිරි අත්දැකීම් මගේ පුතුන් දෙදෙනාට ලබාදෙන්න මා කැමති වුණේ නෑ. මා ජීවිතයට දිරිමත්ව මුහුණ ‍දුන්නා.

දරුවන් දෙදෙනාට ම ඉතා හොඳින් අධ්‍යාපනය ලබාදුන්නා. නිදහස්ව සිතන්නට, ස්ව ශක්තියෙන් අභියෝගවලට මුහුණ දෙන්නට ඔවුන් පුරුදු පුහුණු කළා. අම්මා සහ පුතුන්ට වඩා, යෙහෙළියක මෙන් මා ‍ඔවුන්ට සමීපව කටයුතු කළා. දරුවන් ලොකු මහත් වෙන තුරුම ඔවුන් රැක බලා ගනිමින් මගේ දෙමවුපියන් මට විශාල ශක්තියක් වුණා‍. අදත් මගේ වියපත් මවුපියන් මට විශාල සවියක්. අද මමත් ඔවුන්ට සවියක්.

* තරුණ සුන්දර කාන්තාවක් විදිහට සමාජයෙන් එල්ල වුණු අභියෝගවලට ඔබ මුහුණ දුන්නේ කොහොමද? මම ඇගේ කතාවට බාධා කළා.

“මම නියැළෙන්නේ සම්පූර්ණයෙන් ම පිරිමින් රජ කළ ක්ෂේත්‍ර කිහිපයක. මුලින් ම රැකියා කළ තැන්වලදීත් මට බොහෝ දෙනෙකු සහයෝගය දුන්නා. මම කරන්නේ කවර රාජකාරියක් වුණත් එය සියයට සීයක් ම නිවැරැදිව, අවංකව හා අනලස්ව ඉටු කිරීම මගේ ස්වභාවයයි. රැකියාව කුමක් වුවත් මා ඊට අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම වර්ධනය කරගන්නවා.‍ හැම තැනකම මට උසස්වීම් ලබාදුන්නේ ඉල්ලීමකට අනුව නොවෙයි. වයසින් හා ප්‍රමාණයෙන් පුංචි වුණත් මගේ හැකියාව හා කැපවීම මත විශ්වාසය තබා මාහට විශාල වගකීම් භාරදුන් හැම ප්‍රධානියකුටම මම කෘතඥ වෙනවා.”

හේමාස් සමාගමට මම බැඳුණේ 2002 වසරේදී. ඉන් පෙර විවිධ ආයතනවල විධායක මට්ටමේ තනතුරු දරා ලද අත්දැකීම් සමඟ හේමාස් සමාගමට මා එක් වූයේ හෙම් ටුවර්ස් හි මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙසයි. එය අලුත් අත්දැකීමක්. සංචාරක හා ප්‍රවාහන සේවාවන් පිළිබඳ ඉන් පෙර අත්දැකීම් නොලත් මා එම ක්ෂේත්‍රය පිළිබඳ වැඩ කරන අතරේම දැනුම වර්ධනය කරගත්තා. 2005 දී සමාගමේ හවුල් සේවා අංශයේ (Hema’s Shared Service Unit, Vishwa BPO) ප්‍රධානියා ලෙසත් 2007 දී හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ තොරතුරු තාක්ෂණ හා මෙහෙයුම් අංශයේ (Chief Process Officer, Group’s Process and IT) ප්‍රධානියා ලෙසත් කටයුතු කළා. 2011 දී හේමාස් ප්‍රවාහන අංශයේ කළමනාකාර අධ්‍යක්ෂිකාව බවට පත් වුණා. 2016 අප්‍රේල් මාසයේදී හේමාස් ඖෂධ (Hema’s Pharmaceutical) අංශයේ ප්‍රධානියා මෙන් ම නාවුක සේවා ප්‍රවර්ධන (Logishtics and Maritime) අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයත් මා වෙත පිරිනමනු ලැබුවා. 2017 පටන් මොරිසන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසත් කටයුතු කරනවා.

වයස අවුරුදු 18 දී සෝමේශ්වරන් සහ ජයවික්‍රම සමාගමේ පුහුණුව ලබන විගණන ශිල්පිනියක ලෙස වෘත්තීය දිවියට පිළිපන් කස්තුරි අවසා‍නයේ එයින් ඉවත් වන විට විගණන කළමනාකාරිණියක මෙන් ම උපදේශක අධ්‍යක්ෂකවරියක්. කලක් ඇරැමෙක්ස් එයාබෝන් ලංකා සමාගමේ මූල්‍ය පාලක ලෙසත්, කොන්ෆිෆි හෝටල් සමාගමේ මූල්‍ය පාලකවරිය ලෙසත් කටයුතු කර තිබෙනවා. එක්සත් රාජධානියේ වරළත් පරිපාලන ගණකාධිකාරිවරුන් ගේ ආයතනයේ සම්මාන සාමාජිකාවක් වන ඇය සිමා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසත් කටයුතු කර තිබෙනවා. සමස්ත ලංකා වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කමිටුවේ සාමාජිකාවක මෙන් ම ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ ද සාමාජිකාවක ලෙස කටයුතු කරනවා. වර්තමානයෙහි ශ්‍රී ලංකා ඖෂධ සැපැයුම්කරුවන්ගේ වාණිජ මණ්ඩලයෙහි උප සභාපතිනිය ද වන කස්තුරි කැපිටල් එලායන්ස් සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂකවරියක ලෙස ද කටයුතු කරනවා.

වයසින් හා පෙනුමෙන් පුංචි මේ කාන්තාව තුළ සැඟව ඇති යෝධ බලය ලෙස ඇය දකින්නේ උනන්දුව කැපවීම සහ හැකියාව. ජීවිතයේ හමුවූ බොහෝ අභියෝග ජය ගන්නට ක්‍රීඩාවෙන් පුරුදු පුහුණු කරන ලද ඉවසීම, බෙදා හදා ගැනීම, දරා ගැනීම මෙන් ම කණ්ඩායම් හැඟීම ද මහෝපකාරී වූ බව කස්තුරි විශ්වාස කරනවා. ‘ගැහැනුකමට’ අපේ සමාජයෙන් ලැබෙන සැලකීම හා හැදියාවෙන් ප්‍රයෝජන ගෙන අභියෝග ජයගන්නට පුළුවන්. ගැහැනියට දෙවැනි තැන දෙන්නට පිරිමින් කැමැතියි. එහෙත් ඈ සතු හැකියාව, ශක්තිය හා අවංක බව හමුවේ ඒ සියල්ල පරාජය කළ හැකියි. සෑම කාන්තාවක සතුවම කුමක් හෝ හැකියාවක්, ශක්තියක් තිබෙනවා. තමා තුළ වන ඒ ශක්තිය හඳුනාගෙන එය වර්ධනය කරගෙන දිරියෙන් දිවිය ජය ගන්න කුඩා කල පටන් ම ගැහැනු දරුවන් මෙන් ම පිරිමි දරුවන් ද පුරුදු පුහුණු කළ යුතු යැයි මා සිතනවා” කස්තුරි අපට සමුදෙමින් පැවසුවා.

ඡායාරූප - තිලක් පෙරේරා

අදහස්