හතර වරිගයම බැබළවූ ආදිල් | Page 2 | සිළුමිණ

හතර වරිගයම බැබළවූ ආදිල්

 ජ්‍යෝතිෂයට අනුව වර්ගෝත්තම දරුවකු බිහි වන්නේ සිය හතර වරිගයම බබළවන්නටය. ඔහු පතුරුවන කීර්තිය, ගුණ සුවඳ එම පරම්පරාවෙහි මුතුමිත්තන්ට ගෞරවයකි; අනාගත පරපුරට අභිමානය ගෙන දෙන්නකි.

අතිශය ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යත්වය පිරුණ, කීර්තිමත් බාකීර් මාකාර් පරපුරේ වර්ගෝත්තමයා ආදිල්ය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිපුන් තරුණයෙකි. විශිෂ්ට හැකියාවන් රැසක් තිබුණු ආදිල් වයසට වඩා මෝරා ගිය දැනුම් ගබඩාවකට හිමිකම් කීවේය. ජාතික තරුණ සේවා සභාවේ අන්තර්ජාතික කටයුතු අංශය භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු සිය සො‍හොයුරා සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ යොවුන් පාර්ලිමේන්තුවටද දායකත්වය දුන්නේය.

මීට මාස කිහිපයකට පෙර අනාගත ලෝක නායකයන් බිහි කිරීමේ බ්‍රිතාන්‍යයේ චෙවිනිං ශිෂ්‍යත්වය දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි කරගැනීමට ආදිල්ට හැකි වුණේ මේ සුවිශේෂ දස්කම් හේතුවෙනි. සිංහල, ඉංග්‍රීසි, ද්‍රවිඩ භාෂා මැනවින් හැසිරවීමට දැන සිටි ඔහු පියාට මෙන්ම අපූර්ව වාග්පෞරුෂයක් සහ සන්නිවේදන හැකියාවක් පිහිටා තිබිණි. ආදිල්ගේ සෑම වචනයකම ආදරය, කරුණාව, දයාව ගැබ්ව තිබිණි. කිසි විටෙක කෝප නොවූ, වෛරය ක්‍රෝධය නොදැන සිටි ආදිල් දැන සිටි‍යේ මිනිසුන්ට ආදරය කරන්නට පමණි. ඔහු සමඟ දොඩමලු වුණු සෑම මොහොතකම ගලා ආවේ සිත සිහිල් කරවන මිහිරි වදන්ය. ඔහු අප ඇසුරෙහි සිටි කාටත් ඇමතුවේ අයියා, මල්ලී, අක්කා, නංගී වැනි හදවතින්ම පැනනැඟුණු ඥාති පදයකිනි. ආදිල් මොනතරම් සුන්දර තරුණයකුදැයි පසුගිය දිනෙක අප කතාබහ කළෙමු. එදා ආදිල් සැරසී සිටියේ සාම්ප්‍රදායික නිලමේ ඇඳුමේ කට්ටලයකිනි. ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේගේ දෙවැනි මනමාලයා වූ දායි. කඩවසම් දේහධාරි තරුණයකු වූ ඔහු ඒ අභිමානවත් ඇඳුමට පුර හඳ මෙන් බැබළුණේය. නව යුවළට සුබ පැතූ කවුරුත් ආදිල්ටද සුබ පැතුවේ එදා ඔහුගේ සුන්දරත්වය ගැන කියමිනි. අපේ රැහේ විහිළු-තහළුවලින්ද අඩුවක් නොවූ තැන ආදිල් සුපුරුදු සිනාවෙන් ඒ සියල්ල දරා ගෙන සිටියේය.

ඔහුට රටේ දේශපාලනය ගැන මෙන්ම ලෝක දේශපාලනය ගැනද පුළුල් දැක්මක් තිබිණි. ඉතා ඉහළ තල‍යේ ලෝක දේශපාලන නායක-කාරකාදීන්ගේ සම-වයසේ දරු‍වෝ ආදිල්ගේ මිතුරෝ වූහ. එහෙත් ඔහුට ගමේ සාමාන්‍ය තරුණ-තරුණියන් සහ මේ සුපිරි මිතුරන් අතර කිසිදු වෙනසක් නොවීය. ඔහු කිසිදු කටහඬක් අත නොහැර ඔවුනට සවන් දුන‍්නේය. කොතරම් කාර්යබහුල වුවද සිය පියා මෙන් ඕනෑම තරාතිරමේ මිනිසකු වෙනුවෙන් වෙන් කිරීමට ආදිල්ට විනාඩි කිහිපයක හෝ කාලයක් තිබිණි. පළමු වරට හමු වන ඕනෑම කෙනකුගේ හදවතේ ලැගුම් ගන්නට ඉමිතියාස් බාකීර් මාකාර් මහතාට ගත වන්නේ විනාඩි කිහිපයක් පමණක් බව කවුරුත් දනිති. ආදිල්ට ඒ සඳහා ගත වූයේ තත්පර කිහිපයකැයි කි‍ව හොත් නිවැරදිය.

දේශපාලනයෙහි අතිවිශිෂ්ට ගමනක් තිබූ සිය පියාණන්ට හරහට හිටියේ අවංකකම සහ ප්‍රතිපත්තිගරුක වීම බව ආදිල් දැන සිටි‍යේය. පියාට සාධාරණයක් ඉටු කරන නව ගමනක් ඔහු නැවතුණු තැනින් ඇරඹීමට ආදිල්ට අවශ්‍ය විය. එහෙත් සිය පරපුරේ හෝ පියාගේ නමින් බැබළීමට වඩා ගමන මුල සිට ඇරඹිය යුතුය යන අභියෝගය බාර ගන්නට තරම් හොඳ කශේරුවක් ඔහුට තිබිණි. බලයෙන් හා තරුණ මදයෙන් මත්ව රඟන දේශපාලක පුතුන්ට ආදිල්ගෙන් ඉගැනීමට හැකිව තිබූ දේ බොහෝය.

සිහිනයකිනුදු අපේක්ෂා නොකළ ඔහු පිළිබඳ දුක් මුසු පුවත සැල වන විට අප සිටියේ චීනයේ ශැංහයි නගරයේ උදෑසන ආහාරය ගනිමිනි. එම දුක්මුසු පුවත බැරෑරුම් මුහුණින් යුතුව දන්වා සිටියේ බාකිර් මාකර් පවුලේ ඉතා සමීපතමයකු වූ කථානායක කරු ජයසූරිය මහතාය. විශේෂයෙන්ම එතුමා ආදිල්ට බෙහෙවින් ඇලුම් කළ බව මම දැන සිටියෙමි. යාබද අසුන්වල සිටි ගයන්ත කරුණාතිලක ඇමතිවරයාටත්, මටත් දැනුණු කම්පනය තවදුරටත් ආහාර ගැනීමට ඉඩ නොදුන්නේය. ගයන්ත ඇමැතිවරයා වතුර උගුරක් වත් ‍බීමට නොහැකිව සෑහෙන වෙලාවක් ගොළු වී සිටියේ ය. දිගු නිහැඩියාවකට පසු ඔහු කීවේ “අනේ ඉමිතියාස් ඇමැතිතුමා හරිම සංවේදී මනුස්සයෙක්. අපිට දරාගන්නත් අමාරු නම් එතුමා මේක කොහොම දරාගනීද? මට හිතාගන්නත් බැහැ” කියාය. කථානායකතුමාට මෙන්ම අපටද ඒ මොහොතේ බාකිර් මාකර් පවුල සමීපයෙහි සිටීමට නොහැකි වීම පිළිබඳව ඇති වූයේ බලවත් වේදනාවකි. අප ආදිල් ගැනත් ඔහුගේ පියා ගැනත් ඔවුන් සතු උදාර මිනිස් ගුණධර්ම ගැනත් බොහෝ දේ කථා කළෙමු.

ආදිල් යන්නෙහි තේරුම 'අවංකකම'ය. සැබැවින්ම එය බාකිර් මාකාර් පවුලේ ජීව ගුණයම වන බව අමුතුවෙන් කිව යුතු නැත. ආදිල් සමු ගෙන ගිය අඳුරු සැඳෑවේ ජාවත්ත සුසාන භූමියේදී හමු වුණු අප සුමිතුරු නවරත්න ගමගේ, සමන් වගආරච්චි, ලාල් හේමන්ත මාවලගේ සහෘදයන් සමඟ ආදිල්ගේ ශෝක ජනක වෙන්ව යෑම ගැන කථාබහ කරමින් සිටියෙමු. කවදත් බෙහෙවින් හැඟුම්බර වාක්කෝෂයක් හිමි ලාල් අයියා ඇසූ මා නිරුත්තර වූ ප්‍රශ්නයක් මෙහි සටහන් කරමි. “මල්ලි, මිනිස්සු මල් කඩන්න ගියහම ලස්සනම මල කඩනවා. ඇයි බං දෙවියොත් ලස්සනම මල කඩාගත්තේ?” සැබැවින්ම ආදිල් යනු, බාකිර් මාකර් පරපුරේ ලස්සනම මලය. තරුණ පරපුරෙත් මුස්ලිම් සමාජයේ පමණක් නොව, කළුතර දිස්ත්‍රික්කයේ සකලවිධ මිනිසුන්ගේ ආදරය ලබමින් දේශපාලන ලෝකයට පිපෙන්නට තිබූ ලස්සනම මලය. ජීවිතයේ අවසන් හුස්ම හෙළන තුරුම එහි පිවිතුරු සුවඳ අප සමඟ රැ‍ඳෙනු ඇත. ආදරය පිරුණු දීප්තිමත් දෑසින් සුපුරුදු සිනාවෙන් ආදරණීය ආදිල් අපේ මතකයේ සැරි සරනු ඇත.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා‍ගේ මාධ්‍ය ලේකම්
චමින්ද ගමගේ 

Comments