ත්‍රස්තවාදයට වඩා දරුණු ජාතිවාදය | සිළුමිණ

ත්‍රස්තවාදයට වඩා දරුණු ජාතිවාදය

 ත්‍රස්තවාදියා අවිආයුධවලින් සන්නද්ධ දාමරිකයකු ලෙස කෙනෙකුට හැඳින්විය හැකි වුවත් ජාතිවාදියා නැතිනම් අන්තවාදියා ඊට හාත්පසින් වෙනස්ව සමාජය තුළ හැසිරෙමින් රටට, ජාතියට කරන විනාශය නම් සුළු-පටු නොවේ. ලෝකයාට හොඳ මුහුණ පෙන්වමින් සියලු ජනකොටස්වලම සිටින ජාතිවාදී, අන්තවාදී සුළුතරයක් පිරිස හිස සිට දෙපතුළ දක්වා මුළු ශරීරය පුරාම දුවන රට ජාතිය කලඹන දේශද්‍රෝහී පටු ආකල්පවලින් ඉදිමී සමාජය පුරා සැරිසරන නොපෙනෙන හස්තයකි.

ත්‍රස්තවාදියාගේ බලපෑම කෙනෙකුට ඇතිවන සමාජීය වටපිටාවෙන් කල්තියා තේරුම් ගැනීමට හැකියාවක් තිබෙන බවක් පෙනේ. එහෙත් ජාතිවාදියා, අන්තවාදියා සමාජය තුළ සැරිසරමින් දේශද්‍රෝහි, ජාතිද්‍රෝහි අදහස් සමාජය පුරා පතුරන්නේ වාතය මඟින් බෝ කරන රෝගයක් විලසිනි.

ජාතිවාදියාගේ හැසිරීම එසේ හෙයින් වර්තමානයේ රට තුළ උද්ගත වී තිබෙන වටපිටාව අනුව උගත්, බුද්ධිමත් ජනතාවගේ හැසිරීම විය යුත්තේ සුළුතරයක් වන ජාතිවාදීන්ට රටට වින කරන අදහස් පතුරුවා හැරීමට ඉඩ නොතබමින් වැටකඩුලු තර කිරීමයි. ඒ සඳහා රට තුළ ජාති භේදයකින් තොරව සියලු රටවැසියාගේම සමානාත්මතාව අගයන උගත් බුද්ධිමත් විද්වත් පරපුර ඇතුළු සමස්ත ජනයාගේ යුතුකම වනුයේ සියලු ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ ද රට තුළ ජාතීන් අතර එක්සත්කම ඇති කිරීමට සාමය, සංහිඳියාව පැතිර වීමයි.

පසුගියදා වූ ආසන්නතම සිදුවීම වන මහනුවර තෙල්දෙණිය සහ දිගන පළාත්වල වූ සිද්ධියට මුල් වූ හේතු කාරණාව ලෙස වාර්තා වනුයේ කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් නොවන බවයි. හේතුව වූයේ ලොරි රථ රියැදුරකු වන එම්. ජී. කුමාරසිංහ නමැත්තා ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ නොදී පාර හරස් කරමින් ධාවනය කිරීම නිසා ඇතිවූ ගැටුමෙන් පසු ලොරි රථ රියැදුරු මියයාමයි. මෙවැනි සුළු සිදුවීමකදී කෙනෙකුට පහර දී ඝාතනය කිරීමට තරම් සමාජය කුරිරු වීම වෙනම කතා කළ යුතු මාතෘකාවකි.

එම සිදුවීම වූයේ පසුගිය 02 වැනිදා රාත්‍රියේය. එහෙත් ලොරි රථ රියැදුරු මිය යන තෙක්ම ඒ ගැන හාංකවිසියක් කතා නොකළ පිරිස් ඔහු මිය යාමෙන් අනතුරුව එය ජාතීන් අතර ගැටුමක් ලෙස හුවා දක්වමින් ‘ලේබල්’ ඇලවීමට උඩ-ගෙඩි දුන්නෙ කවුරුන් ද? එලෙස ජනතාව උසිගන්වා රටටම ‘කළු’ පැල්ලමක් එක්කිරීමේ සිදුවීම් ජාලයට මූලාරම්භය ගත්තෙ කවුරුන් ද? යන්න ගැන සඳහා රජය ඇතුළු වගකිවයුතු පාර්ශ්ව ඉක්මනින්ම පිළිතුරු සොයා රටට හෙළි කළ යුතු වේ. මන්ද මෙවැනි නොපෙනෙන බලවේග විසින් රටට කිරීමට යන විනාශය කල්තියාම හඳුනා නොගතහොත් රට නැවතත් තිස් අවුරුදු ශාපලත් යුදමය වාතාවරණයකට ගමන් කිරීම වළක්වාගත නොහැකි හෙයිනි. එම නිසා අතීතයෙන් පාඩම් උගෙන රටේ සෑම ජනකොට්ඨාසයක්ම තීන්දු තීරණ ගන්නවානම් මැනවි. වර්තමානයේ කරන කියන සියලු දේ තුළින් මතුවන ගැටලු බලපානුයේ රටේ ඉදිරි අනාගතය බාරගැනීමට සිටින සියලුම ශ්‍රී ලාංකේය ජනයාගේ අනාගත දරු පරම්පරාවට වන හෙයිනි.

මහනුවර සිදුවීමට ජාතිවාදී, අන්තවාදී ලේබලය ඇලවූයේ කිසියම් හෝ සිදුවීමක්, ව්‍යසනයක් වන තෙක් මාන බලමින් සමාජයේ සැරිසරන ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය හිස සිට දෙපතුළ දක්වා කිඳා බැස තිබෙන ඉහත කී නොපෙනෙන හස්තයයි. එම සුළුතර කණ්ඩායමක උසිගැන්වීමට හසුවන සෙසු ජනයා ද කිසිදු ආකාරයක වග-විභාගයකින් තොරව ඇතිවන ක්ෂණික කෝපය සහ කිපෙනසුලු ගති පැවැතුම් නිසා එම පාපතර සිදුවීම්වලට හවුල් වීම මේ මොහොතේ දක්නට ලැබෙන කනගාටුදායක තත්ත්වයයි. එම නිසා මෙවැනි ව්‍යසනයකදී කිසිදු ජාතියකට, ආගමකට ගැති නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා කටයුතු කිරීම සියලු දෙනාගේම යුතුකමක් සහ වගකීමක් වේ.

මෙවැනි කිසියම් සිදුවීමක් පාදකකොට ඇතැම් දෙනා සතුටු කඳුළු වගුරන්නේ එතුළින් රට අරාජික කර දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකොට පටු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනිමින් රටේ දේශපාලන වෙනසක් කළ හැකිවෙතැයි ‘දවල් සිහින’ දකිමිනි. එහෙත් එවැනි විනාශකාරී සිතුවිලි නිසා ඇතිවන ව්‍යසනය රටේ සාමය සංහිඳියාව අගයන කුදු මහත් ජනයාට පමණක් නොව එවැනි අශිෂ්ට සිතුවිලි වපුරමින් පෞද්ගලික වාසි තකන සුළු පිරිසටද එකසේ බලපාන බව ඔවුන්ට නොවැටහීම මෙහි තිබෙන ඛේදවාචකයයි. එවැනි දුර්දාන්ත සිදුවීම් තමනට ද පරාවළල්ලක් මෙන් බලපාන බව ජාතිවාදීන්ට, අන්තවාදීන්ට වැටහෙන්නේ ‘අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමන්නාක්’ මෙන් සියලු දේ සිදුවී හමාර වූ පසුවයි.

මෙවන් වටපිටාවක් ගොඩනැඟීමට උත්සාහ කරන අන්තවාදයට, ජාතිවාදයට උඩගෙඩි දෙන සුළුතරයට එරෙහිව නීතිය, සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇප-කැප වී සිටින සියලු දෙනා සෑම දෙනාටම එකසේ සමව නීතිය අකුරටම ඉටු කළ යුතු බව පසක් කළ යුතුම කරුණකි. එය කිසිදු පක්ෂ පාට, ජාති ආගම් භේදයකින් තොරව දැඩිව සිදුවිය යුතු යුගයක් ලෙස මෙසමය හැඳින්විය හැකිය. මහනුවර සිදුවීම ඇතුළුව පසුගිය දින කිහිපයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලදී ජනතාව නීතිය අතට ගැනීමට උත්සාහ කිරීමත් ජනතාව පැත්තෙන් සිදු නොවිය යුතුම ක්‍රියාදාමයකි. එවැනි දෙයින් සිදුවනුයේ රට අරාජික කිරීමට උත්සාහ දරන ජාතිවාදී දේශද්‍රෝහීන්ට මෙන්ම දේශපාලන අන්තවාදීන්ට රුකුල් දීමකි.

1983 යම් සිදුවීමක් පාදකකොට ඇතිවූ කළු ජූලි අරගලයෙන් හටගත් වර්ගවාදී කෝලහාල ගැටුම අනතුරුව ත්‍රස්තවාදී අරගලයකට පරිවර්තනය වී අපේ රටේ ජාති-ආගම්, කුල-මල, උස්-පහත්, ලොකු-පොඩි, දුප්පත්-පොහොසත් කිසිදු භේදයකින් තොරව කී දාහක් දෙනා අවුරුදු කීයක්නම් දුක් වින්දා ද? එසේ නිරපරාදේ ජීවිත පූජා කරමින්, කෝටි ප්‍රකෝටි ගණනක දේපළ අහිමි වෙමින් රටේ දියුණුව කෙතරම් කලකින් ආපස්සට ගිය වගක් වර්තමාන ජනයා අමතක නොකළ යුතුය.

කෙතරම් ගැටලු කොතෙක් විසඳා ගැනීමට තිබුණත් ජාතීන් අතර අවබෝධය ඇතිව සහයෝගයෙන්, මිත්‍රත්වයෙන් සෑම ජන කොටසකටම අයත් ජනයා ශ්‍රී ලාංකේය ජාතිය ලෙස නැඟී සිටිමින්, පෙනී සිටිමින් ජීවත්වන බවක් මෑතකාලීනව රට තුළ පෙන්නුම් කළ සුබවාදී ලක්ෂණයකි. එලෙස එදිනෙදා තම තමන්ගේ ජීවන අරගලයට සෑම ජන කොටසකගේම සහයෝගය ඇතිව අන්‍යොන්‍ය විශ්වාසයෙන් මෙරට ජනයා වර්තමානයේ ජීවත් වනුයේ සාමය, සංහිඳියාව ගැන කතා කරමිනි. එහෙත් පසුගිය දින කිහිපයේ ගිංතොට, අම්පාර, මහනුවර වැනි පෙදෙස්වලින් වාර්තා වූ සිදුවීම්වලින් පිළිබිඹු කරන්නේ කුමක් ද?

මේ නැගිටින්නට වෙර දරන නොපෙනෙන හස්තය හෙවත් ජාතිවාදීන්, අන්තවාදීන් සියලුම ජන කොටස්වල අඩු-වැඩි වශයෙන් සිටින බවක් මෙවැනි සිදුවීම්වලින් පිළිබිඹු කරන සත්‍යයයි. එහෙත් එම සුළු කොට්ඨාසයට හසු නොවී ආවේගශීලිත්වයට, කිපෙනසුලු ගති පැවැතුම්වලට වහල් නොවී බුද්ධිමත්ව රටේ සෑම ජනයාම කටයුතු කළ යුතු මොහොතක් රට තුළ උදාවී ඇති බව පෙනෙන්නට තිබේ.

අමිල මලවිසූරිය 

අදහස්