මෙවර හැර තවත් නිදහස් කුසලාන පවත්වා තිබේ ද? | සිළුමිණ

මෙවර හැර තවත් නිදහස් කුසලාන පවත්වා තිබේ ද?

 පසුගිය 6 වැනි දා ශ්‍රී ලංකා නිදහස් දිනයට වසර 70 ක් සපිරීමට සමගාමීව නිදහස් ක්‍රසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹිණි. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියක් ලෙසිනි. මේවන විට මෙරට සියලුම ක්‍රීඩා ලෝලීන් බලා සිටින්නේ එදෙසය. පළමු තරගයේ දී ම ඉන්දියාව පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමග තරගාවලියේ උණුසුම වැඩිවීමට හේතු වී තිබේ. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට ප්‍රථමද නිදහස් කුසලානය වෙනුවෙන් ක්‍රිකට් තරගාවලි පවත්වා ඇත. මෙහිදී අපට 1998 දී පැවති නිදහස් කුසලානය සම්බන්ධයෙන් අමතක කළ නොහැක.

1997-1998 යනු ඉන්දීය උපමහද්වීපයේ රටවලට නිදහස ලැබී වසර 50 ක් සපිරීමේ කාලයයි. ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ පසුව පකිස්ථානයෙන් වෙන්ව 1971 දී ස්වාධීන රාජ්‍යක් වූ බංග්ලාදේශය ද නිදහස් කුසලාන තරගාවලි මෙම කාලයේ දී ම පැවැත්වීය. ඒ අතරින් ඉන්දිය නිදහස් දිනයට සමගාමීව පැවති නිදහස් කුසලානය හිමිකර ගන්නා ලද්දේ ශ්‍රී ලංකාව විසිනි.

ඒ සමගම ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 50 ක් පිරීම නිමිති කරගෙන තුන්කොන් එක් දින තරගාවලියක් පැවැත්වූ අතර එයට සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියව සහ නවසීලන්තය තරග වැදුණි. තරගාවලියේ මූලික වටය සඳහා තරග 9 ක් ඇතුළත් වූ අතර එක් රටක් අනිකුත් රටවල් දෙක සමග තරග තුන බැගින් තරග වැදිය යුතු විය. ඒ අනුව එක් රටකට මූලික වටයේ තරග 6 ක් හිමිවිය. ගාල්ල, එස්.එස්.සී. සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනවලදී තරග 3 බැගින් පැවතුණි. තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති දිවා රාත්‍රී තරගය සමගිනි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුළදී ලබාගත් ලකුණු 243 ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී තිබිය දී පන්දුවාර 43.4 ක දී සපුරාගත් ඉන්දියානුවන් කඩුලු 8 ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

පසුව පැවති අනෙකුත් මූලික වටයේ තරග 8 ද අවසන් වීමෙන් පසුව ප්‍රතිඵල දිස් වූයේ මේ ආකාරයට ය.

දෙවන තරගය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය - ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්

තුන්වැනි තරගය

ඉන්දියාව සහ නවසීලන්තය - වර්ෂාව නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය.

හතරවැනි තරගය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව - වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්විණි.

පස්වැනි තරගය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය - වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්විණි.

හයවැනි තරගය

ඉන්දියාව සහ නවසීලන්තය - වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්විණි.

හත්වැනි තරගය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව - ශ්‍රී ලංකාවට ලකුණු 8 ක ජයක්.

අටවැනි තරගය

ඉන්දියව සහ නවසීලන්තය - වර්ෂාව නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය.

නවවැනි තරගය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය - ශ්‍රී ලංකාවට ලකුණු 87 ක ජයක්.

පැවති තරග 9 අතරින් ගාල්ලේ පැවති තරග 3 එකදු පන්දුවක් හෝ නොයවාම අතහැර දැමීමට සිදු වූ අතර ආර්. ප්‍රේමදාස සහ එස්.එස්.සී. ක්‍රීඩාංගනවල පැවති තරග 2 ක් ද වර්ෂාව හේතුවෙන් ජයපැරදුමින් තොරව අවසන් විය. ඒ අනුව ප්‍රතිඵල සහිතව අවසන් වූ තරග සංඛ්‍යාව 4 කි. නවසීලන්තය එක් තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ අතර ඉන්දියාව එක් ජයග්‍රහණයක් වාර්තාකර තිබුණි. ශ්‍රී ලංකාවට තරග 3 ක ජය හිමි විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර තරගය ජූලි 7 වැනි දා පැවතියේ ආර්. ප්‍රේමදාස පිටියේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසිනි. අර්ජුන රණතුංග නායකත්වය දුන් ශ්‍රී ලංකා පිලට අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, මාවන් අතපත්තු, රොෂාන් මහානාම, උපුල් චන්දන, කුමාර ධර්මසේන, ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහ, නිරෝෂන් බණ්ඩාරතිලක සහ මුත්තයියා මුරලිදරන් ඇතුළත් වූ අතර ඉන්දීය පිල මොහොමඩ් අසාරුදීන් විසින් මෙහෙයවීය. සෙසු ක්‍රීඩකයින් වූයේ සචින් තෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, අජේ ජඩේජා, රොබින් සිං, අජිත් අගාකාර්, හරිෂිකේෂ් කනිට්කාර්, නයන් මොන්ගියා, අනිල් කුම්බ්ලේ, හර්බජාන් සිං සහ වෙන්කටේෂ් ප්‍රසාද් ය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ආරම්භය ඉතාමත්ම සවිමත් වාර්තාගත සම්බන්ධතාවයක් විය. පලමු කඩුල්ල සඳහා පිටියට පැමිණි සචින් තෙන්ඩුල්කාර් සහ සව්රව් ගංගුලි අතර පන්දුවාර 44 න දී ලකුණු 252 ක සම්බන්ධතාවයක් වාර්තා විය. පිතිකරුවන් දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත් විය. ගංගුලි පන්දු 136 ක දී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 109 ක් රැස් කළ අතර තෙන්ඩුල්කාර් ලබාගත් ලකුණු සංඛ්‍යාව 128 කි. එය පන්දු 131 ක දී වාර්තා වූ අතර ඔහුගේ පිත්තෙන හතරේ පහර 8 ක් ද හයේ පහර 2 ක් ද ඇතුළත් විණි. තෙන්ඩුල්කාර් සහ ගංගුලි දෙදෙනාම පන්දු 2 ක් තුළදී මුලු ලකුණු 252 ක් ව තිබිය දී දැවී ගිය ද ඉතිරි පන්දුවාර 6 තුළ දී තවත් ලකුණු 55 ක් තම පිලට එක් කිරීමට පසුව පැමිණි ඉන්දීය පිකිකරුවන් සමත් විය. ඉනිම අවසානයේ ලකුණු පුවරුව දිස් වූයේ පන්දුවාර 50 තුලදී කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලෙසිණි. පන්දු යැවීමේ දී ජයසූරිය කඩුලු 2 ක් ද මුරලිදරන් සහ උපුල් චන්දන එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

තම රටේ නිදහස් කුසලානය ජය ගැනීමේ අටියෙන් ඉනිම ඇරඹූ සනා-කළු යුගලය පන්දුවාර 7 ක දී ලකුණු 50 ක් ඉකා ඉක්මනින් ලබා ගත් අතර මුලු ලකුණු සංඛ්‍යාව 73 වන විට 11 වැනි පන්දුවාරයේ දී ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්ව සිටියහ. නමුත් බලාපොරොත්තු සහගත ලකුණු 87 ක සබඳතාවයක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් කළ අරවින්ද සහ අතපත්තු ඒ සඳහා වැය කළේ පන්දු 84 ක් පමණි. එහේත හර්බජාන් සිංගේ පන්දුවකට ලොන්ග් ඕන් හි සිටි වෙන්කටේෂ් ප්‍රසාද් අතට උඩ පන්දුවක් ලබා දුන් අතපත්තු දැවී යන විට ලකුණු පුවරුව කඩුලු 3 ක් දැවී 160 ක් ලෙස සටහන් විය. අරවින්ද ට එක්වූ නායක රණතුංග පන්දු 22 ක දී ලකුණු 23 ක් ලබා ගෙන සිටිය දී ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී පවා විශ්වාසනීයව එල්ල කරන ලේට් කට් පහරක් එල්ල කිරීමට ගොස් නයන් මොන්ගියට උඩ පන්දුවක් ලබා දී දැවීයාමත් සමගම තරගය ඉන්දීය පිල දෙසට තල්ලු වී ගියද මහානාම යළි බිඳ වැටෙමින් තිබූ ඉනිම ගොඩනගන්නට විය.

පන්දු 39 ක දී ලකුණු 36 ක් ලබා ගැනීමට තිබිය දී 5 වැනි කඩුල්ල ලෙස අරවින්ද ද සිල්වා දවා ගත් අගාකාර් නැවත තරගයේ වාසිය ඉන්දීය පිලට ලබා දුන්නේය. ඉන්පසුව තවත් කඩුලු දෙකක් දැවී ගිය ද මහානාම සටන්කාමී ඉනිමක නිරත විය. මුලු ලකුණු සංඛ්‍යාව 295 ක් ව තිබියදී ජයග්‍රහණය සඳහා පන්දු 12 ක දී ලකුණු 12 ක් අවශ්‍යව තිබිය දී අටවැනි කඩුල්ල ලෙස මහානාම දුවද්දී දැවීයාම ඉන්දියාව ජය මාවතට ප්‍රවිශ්ඨ කිරීමක් විය. මුලු ලකුණු සංඛ්‍යාව 301 ක් වන විට අවසාන කඩුල්ල් ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දැවීයාමත් සමගම ඉන්දියාවට ශ්‍රී ලංකා නිදහස් කුසලානය හිමිවූයේ ලකුණු 6 ක ජයක් ද සමගිනි. අවසාන තරගයේ වීරයා වූයේ සුපිරි ඉනිමක් ගොඩනැගූ සචින් තෙන්ඩුල්කාර්ය.

ඩබ්. ආර්. කුමාර

අදහස්