ශ්‍රී ලංකාවේ පැරණි වාරි තාක්ෂ­ණය | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පැරණි වාරි තාක්ෂ­ණය

වර්ෂා කාල­යට ජලය ගලා යන බෑවුම්  තෙත් බිමක හෝ උල්පත් ජලය ගලන බෑවුම් බිමක වළ යන ජලාශ ඉබේ හැදෙයි. නැත්නම් මිනි­සුන් විසින් සකස් කරයි. වැඩි ගැඹු­රක් නැත. ගැඹුර අඩි පහ­කට අඩු වැඩි වෙයි. ප්‍රමා­ණ­යෙන් පත­හක් කුඩා පොකු­ණක් තරම වෙයි. ඉවුරු බැඳ නැත වේලි නැත. ස්වාභා­වික ජලය තැන්පත්ව පව­තියි.

පැරණි වාරි කර්මාන්තයේ එන වළ යනු කුමක්ද?

* වළ ඉහගෙන කනවා

* කල දුටු කල වළ ඉහගන්

* පල්වළ ඉහගෙන කනවා

* ලූලා නැති වළට කණයා පණ්ඩිතයා

* මේ වළේ නැත්නම් ඉහළ වළට යනවා

මේ ජන ව්‍යවහාරවල එන ‘වළ’ යන වචනයේ අර්ථය ගැඹුරට විහිදෙයි. මේ ජන ව්‍යවහාර කාලයක් තිස්සේ භාවිතා වී ඇත.

අන්තිමට සඳහන් කළ යෙදුම කෝට්ටේ කල සිටි ශ්‍රී රාහුල හිමි පැවිදි වීමට පෙර ඇබිත්තයකු ලෙස සිටියදී කිවූවකි. පළමු වීදාගම හිමි වෙල්යායක් අද්දරින් ගමනක් යමින් සිටියදී කුඩා රාහුල වළක මාළු බාමින් සිට ඇත. ඒ දුටු වීදාගම හිමි මේ “සාර පෝයදා වළ ඉහින්නේ කොයි වල යන්නද” කියා විමසා ඇත. කටකාර කොලුවා දුන් පිළිතුර වූයේ “මේ වළේ නැත්නම් ඉහළ වළට යනවා” යනුවෙනි. කොලුවාගේ මුකරි කමට පැහැදුණු පළමු වීදාගම හිමි මේ කොලුවා ශ්‍රී රාහුල නමින් තමන් යටතේ පැවිදි කරවා ඇත.

වළක ප්‍රයෝජන

* වර්ෂා කාලයට ජලය ගලා යන බෑවුම් තෙත් බිමක හෝ උල්පත් ජලය ගලන බෑවුම් බිමක වළ යන ජලාශ ඉබේ හැදෙයි. නැත්නම් මිනිසුන් විසින් සකස් කරයි.

වැඩි ගැඹුරක් නැත. ගැඹුර අඩි පහකට අඩු වැඩි වෙයි. ප්‍රමාණයෙන් පතහක් කුඩා පොකුණක් තරම වෙයි. ඉවුරු බැඳ නැත වේලි නැත. ස්වාභාවික ජලය තැන්පත්ව පවතියි.

* බොහෝ විට වළ කුඹුරු යාය ඉස්මත්තේ - වනාත්වල - උල්පත් ආශ්‍රිතව ජලය ගලා යන පහත් බිම්වල සාදා හෝ සෑදී තිබුණි.

* ගොවිතැන් වැඩ නිමවා දහවල් කෑමට පෙර - සවස ගෙදර එනවිට ගොවියන් මුහුණ කට ඇඟ පත සෝදා ගත්තේ වළවල් වලිනි.

* වළවල කුඩා ප්‍රමාණයේ වෙල් මාළු - මිරිදිය මාළු සිටියහ. ගොවීන්ගේ ආහාරයට එකතු විය. ඉඩෝරය සැර වනවිට වළවල් ඉස ඒ මාළු කෑමට ගත්හ.

වළවල ජලය මාසයකට දෙකකට ‍ඉඩෝර කාලවල කුඹුරු යායට අවශ්‍ය ජල හා තෙතමනය සැපවූයේ ය.

* ඕලු - නෙළුම් - මානෙල් වැනි ජලජ පුෂ්ප ඒවායේ විය. ඒවා පූජාවට ආහාරය පිණිස ඒවායේ අල දඬු ද මේරූ මල්වල ඇට කැඳ හා බත් ලෙස ද සකස් විය.

* වනයේ සැරිසරන සතුන් සිය පිපාසය නිවා ගත්තේ වළවල් වලිනි. මී හරකුන් - ඌරන් වළවල ලැගීමට පුරුදුව සිටියහ.

* ගොවීන්ට අවශ්‍ය කොහිල - ලුණුවිල වැනි ඖෂධ ශාක හා වළවල් අද්දර කුඹුක් මී වැනි ජලයට හිතකර ශාක වැවුණි.

* කුරුල්ලන්ගේ හා වෙනත් සිවුපා සතුන්ගේ පිපාසය සංසිදුණු අතර ගස්වල වවුලන් ලැබීමෙන් කුඹුරු සශ්‍රීක විය.

වළවල් විනාශවී යෑමට හේතු

* තද ඉඩෝර කාලවල වළවල් සිඳී යයි. එවිට ගම්මු වළ ඉස මඩ දියර කුඹුරුවලට පා කර යවති. එසේ ම වළ පතුළේ සිටින මාළු අල්ලා ආහාරයට ගනිති.

* මාඝ රජු පොළොන්නරුව අග කල ක්‍රි.ව. 1235 රජරට ගම් බිම් වැව් වැනසූ පසු සිංහලයෝ ක්‍රමයෙන් වියළි කලාපය අතහැර තෙත් කලාපයට ක්‍රමයෙන් සංක්‍රමණය වූහ.

තෙත් කලාපයේ පළමු රාජධානිය දඹදෙණිය විය. තෙත් කලාපය කඳු හෙල් කැළෑ බහුල වූ බැවින් වළවල් ඉදිවූයේ ජලය ඇති ස්ථානවල පමණකි.

* තෙත් කලාපයේ කෝ‍ට්ටේ සීතාවක වැනි රාජධානිවල ජලය බැස නොයෙන තරම් ජලය බහුල විය. ගොහොරු බහුල විය.

* ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු කැළෑ එළි කොට මුලින් කෝපි ද පසුව තේ හා රබර් ද වගා කිරීමෙන් කැළෑ - ජල මාර්ග ජල උල්පත් - වන සතුන් විනාශ විය.

අද නඩත්තු නොවීම උල්පත් හා ජල මාර්ග සිඳී යාම 1832 රාජකාරි ක්‍රමය අහෝසි කිරීම සමඟ වළවල් ඉතිහාසයෙන් මැකී යාමට විය. උන්වහන්සේගේ වළ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1782) රජ කල ඒ රජු බොරු වළක ලා යකඩ උල් ඇනී මරණයට පත් කිරීමට පැවති කුමන්ත්‍රණයට වැලිවිට සරණංකර හිමි ද හවුල් විය. නඩු විමසා කීර්ති ශ්‍රී රජු වැලිවිට හිමි ඉතා දුෂ්කර ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කර ඇත. දුක්බර ජීවිතයක් ලෙඩ රෝග මැද ගත කළ සරණංකර හිමි එහිදී දිනපතා දිය නෑ ස්ථානය ‘උන්වහන්සේගේ වළ’ යනුවෙන් අදත් හඳුන්වයි.

ඉංග්‍රීසීන් වළ වරදවා වටහා ගැනීම

19 සියවස කුඹුරු ඉස්මත්තේ ඇති වළවල් ජලාශ ලෙස වරදවා අවබෝධ කරගත් ඉංග්‍රීසීන් වළවලට සො‍රොව් බැඳ කුඹුරුවලට ජලය සැපයීමට යොදා ගත්හ‍.

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්.කේ. ජයවර්ධන

අදහස්