දේශගුණික සමතුලිතයට හරිතාගාර ආචරණය | සිළුමිණ

දේශගුණික සමතුලිතයට හරිතාගාර ආචරණය

වර්තමානය වනවිට ලෝකය මුහුණ දෙන ප්‍රධානතම පාරිසරික ගැටලුවක්, විපර්යාසයක් ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හැඳින්විය හැකිය.ලොව පුරා සිදු වූ කාර්මීකරණ විප්ලවයත් සමඟ අධික ලෙස පරිසරයට හරිතාගාර වායු විමෝචනය කිරීම හේතුවෙන් පරිසර පද්ධතීන්ගේ සමතුලිතභාවය බිඳ වැටීම හේතුකොටගෙන සිදුවන ව්‍යසනයන්ගේ අහිතකර බලපෑම් වලට මුහුණ දීමට මේ වනවිටද සිදුවී ඇත. දේශගුණයේ සිදුවන විපර්යාසයන්ට තුඩුදෙන විවිධ ස්වාභාවික හේතු, චක්‍ර හා ක්‍රියාවලීන් පිළිබඳ බොහෝ අධ්‍යනයන් කර ඇතත් පරිසර උෂ්ණත්වයේ ඉහළ යෑම, නැතහොත් ගෝලීය උණුසුම පිළිබඳ පැහැදිලි කිරීමට හරිතාගාර වායුන්ගේ බලපෑමද යොදාගත යුතු බව පසක් විය.

හරිතාගාර වායු...

වායුගෝලයේ ස්වාභාවිකවම ඇති, එමෙන්ම කෘතිමව නිපදවා ඇති, හිරුගෙන් මුදාහැරෙන හෝ පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන විකිරණ අවශෝෂණය කිරීමට සහ ඒවා නැවත පරිසරයට මුදාහැරීමට හැකියාව ඇති වායුන්, "හරිතාගාර වායු" ලෙස හැඳින්විය හැකිය.ගෝලීය උණුසුම් වීම සඳහා හරිතාගාර වායු කිහිපයක් දායකවන බව සහ එම වායුන් මිනිසා විසින් විවිධ ක්‍රම හරහා පරිසරයට මුදා හැරෙන බව සොයාගෙන ඇත. ප්‍රධානතම හරිතාගාර වායුන් වශයෙන් කාබන් ඩයොක්සයිඩ් ( CO2 ), මීතේන් ( CH4 ), ඕසෝන් ( O3 ), නයිට්‍රස්ඔක්සයිඩ් ( N2O ),හයිඩ්රොෆ්ලෝරෝකාබන් ( HFCs ), පර්ෆ්ලෝරෝකාබන් ( PFCs ), සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් ( SF6 ) සහ නයිට්‍රජන් ෆ්ලෝරයිඩ් ( NF3 ) ආදී වායුන් හඳුනා ගෙන ඇත.

උදාහරණ වශයෙන්, ප්‍රධානතම හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් ( CO2 ) වායුව පිටවන්නේ බොහෝසෙයින් පොසිල ඉන්ධන දහනය හේතුවෙනි. හරිතාගාර වායු සහ එරෝසොල වැනි කුඩා අංශු මඟින් දේශගුණය වෙනස් වීමට දායක වන්නේ පොළොවට වැටෙන සූර්ය කිරණ හා ඉන් පිටවෙන අධෝරක්ත කිරණ අතර වෙනසක් ඇති කිරීම මඟිනි.

දිනෙන් දින උග්‍ර වන කාර්මීකරණයේ ප්‍රතිඵල හේතුවෙන් වාතයේ පැවැති හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වීම නිසා වායුගෝලයේ සමතුලිතතාව නැතිවීමට පටන් ගත් අතරම එම හේතු දේශගුණික විපර්යාසවලට තුඩුදීමට හේතුවිය.

හරිතාගාර ආචරණය යනු?

හරිතාගාර ආචරණය යනු මිහිතලයට කිසිසේත්ම අහිතකර ක්‍රියාවලියක් නොවේ.

පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය රඳාපවතින සාධකයක් ලෙස හරිතාගාර ආචරණය හැඳින්විය හැකිය. මන්ද යත් වායුගෝලයක්/ හරිතාගාර ආචරණයක් නොමැති වුවහොත්, පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක තරම් අගයක් ගන්නා බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. එය ඉතා අඩු, මිහිමත ජීවීන්ට නුසුදුසු උෂ්ණත්වයක් බැවින් ජීවින්ගේ පැවැත්මට හරිතාගාර ආචරණය අවශ්‍ය වේ. එය හුදෙක් ස්වභාවික ක්‍රියාවලියක්ම පමණක් නොව, C02 පරිසරයට මුදාහැරීම මඟින් මිනිසාද හරිතාගාර ආචරණ ක්‍රියාවලියට සක්‍රියව දායක වන බව 1895 දී ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥයකු විසින් පෙන්වාදෙන ලදී.

හිරුගෙන් පිටවන කිරණවලින් වැඩි කොටසක් ආලෝකය ලෙස පොළවට පැමිණේ. පෘථිවි පෘෂ්ඨයෙන් එම ශක්තිය නැවත වායුගෝලයට පරාවර්තනය කරනු ලබන්නේ අධෝරක්ත කිරණ ලෙසයි.

මෙය සමතුලිත ලෙස සිදුවිය යුතු ක්‍රියාවලියකි. නමුත් වර්තමාන තත්ත්වයට අනුව වායුගෝලයේ හරිතාගාර වායු අණු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින්, පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන අධෝරක්ත කිරණ ඒවා මඟින් රඳවාගෙන ශක්තිය නැවත පෘථිවි වායුගෝලයටම මුදා හැරීම නිසා පහළ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම සිදුවේ. ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර ආචරණයේ අහිතකර පැතිකඩ මෙයයි.

මිහිමත උණුසුම ඉහළ යාමේ එක් ප්‍රතිවිපාකයක් නම්, ලොව පුරා ඇති ග්ලැසියර දියවීයෑමේ තර්ජනයට බඳුන් වීමයි. ධ්‍රැව ප්‍රදේශයන්හි අයිස් දියවීම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කුඩා දූපත් වැනි රටවල් ලෝක සිතියමෙන් බොඳ වී යාමේ ප්‍රවණතාවයක් ඇත. එපමණක් නොව අධික උෂ්ණත්වයක් සහිත දින මෙන්ම අනපේක්ෂිත ලෙස අධික තීව්‍ර වැසි ලැබීම හේතුවෙන් නිතර ලොව පුරා ආපදා තත්වයන් ඇතිවීම පැහැදිළිවම අත්දැකීමට ලැබෙන කරුණකි.මේ හේතු මඟින් මිනිසාගේ එදිනෙදා ජීවන රටාව හා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇත. මිනිසාගේ පරිභෝජන රටාවට සරිලන පරිදි ජල අවශ්‍යතාවය

නොලැබීම නිසා ආහාර සුරක්ෂිතභාවය මෙන්ම මානව සෞඛ්‍යය ද තර්ජනයට ලක්වී ඇත. මිනිසාගේ පමණක් නොව, අන්‍යොන්‍ය සහයෝගීත්වයෙන් ජීවත්වන ජීවී විශේෂයන්ගේ ජීවන රටා වෙනස්වීම ( උදා: ශාක මල්ඵල ගැනීම හා කෘමීන්ගේ පරාගනය වැනි ) නිසා පාරිසරික සමතුලිතතාව හානිවීම මෙහි අනෙකුත් ප්‍රතිවිපාක වේ.

අහිතකර බලපෑම් අවම කිරීමට නම්...

ගෝලීය උණුසුම ඉහළ යෑම අවම කිරීමට සහ හරිතාගාර වායු නිපදවීම අවම කිරීමට අප සියලු දෙනාටම පෞද්ගලික, සමාජයීය හෝ ආයතනික මට්ටමෙන් දායක විය හැකිය. ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු උපකරණ භාවිතය, අනවශ්‍ය විදුලි පහන් පරිභෝජනය අවම කිරීම, හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා භාවිතය මඟින් මෝටර් රථ/ වාහන වලින් නිකුත්කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම, ඉන්ධන භාවිතයෙන් තොර පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් වන පා පැදියට හුරු වීම, සිසිල් පරිසර තුළද වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් වැළැකීම මෙන්ම විකල්ප බලශක්ති ක්‍රම භාවිතය, හැකි උපරිමයෙන් ගස් සිටුවීම සහ සිටවා ඇති තුරු සම්පත සුරක්ෂිත කිරීම ආදිය මඟින් අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය රැකගැනීමට අද දිනයේ කැපවීමට අපට හැකියාව තවමත් නොඅඩුව ඇත.

 

කුමුදු ආරියවංශ.
කෘෂිකර්ම පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

අදහස්