පෝෂණය අඩු වුණොත් මල්වර හීනය දුරස් වෙයි | සිළුමිණ

පෝෂණය අඩු වුණොත් මල්වර හීනය දුරස් වෙයි

 සෑම ගැහැණු දරුවකුගේම ජීවිතයේ සුවිශේෂී සංසිද්ධියක් ලෙස වැඩිවියට පත් වීම හැඳින්වීමට පුළුවන. එය ගැහැණු දරුවකුගේ මුළු ජීවිත කාලයට බලපායි.මොළයෙන් පැමිණෙන හෝමෝන මඟින් ඩිමිබ කෝෂ හෝ වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය පටන් ගැනීමෙන් වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. මෙම ක්‍රියාවලියේ දී දරුවාගේ ක්‍රියාකලාපයන් සහ සිතුම් පැතුම් විවිධ විපර්යාසයයන්ට ලක් වේ. තව ද ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය දරුවකු බිහි කිරීමට හැකි තත්ත්වයකට ක්‍රමයෙන් පරිණත වීම වැඩිවියට පත් වීමෙන් සිදු වන ප්‍රධානතම කාර්යය වේ. ඇතැම් විටක දරුවා නිසි කාල සීමාවට පෙර වැඩිවියට පත් වීමත්, නිසි කාලය පසු වී වැඩිවියට පත් වීමත් සිදු වේ. මේ හේතුවෙන් මව්පියන් දැඩි කලබලයට පත් වී කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව තීරණයක් ගත නොහැකිව සීටී. දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?, සාමාන්‍යයෙන් දරුවකු වැඩිවියට පත් වීම සඳහා නිසි වයස් සීමාවක් තිබෙනවා ද? ගැහැණු දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද? යනාදී කරුණු පිළිබදව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,කොළඔ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජේෂ්ඨි කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න මහත්මිය පළකළ අදහස් මෙසේ ය.

දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

දරුවකු වැඩිවියට පත් වීම යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු ළමා අවධියේ සිට වැඩිහිටි අවධියට පිවිසීමයි.එහි දී ශාරීරික වෙනස්කම් මෙන් ම මානසික සහ සමාජික විපර්යාස රාශියකට මුහුණ දේ.

ගැහැණු දරුවකු නම් පොදු ව්‍යවහාරයේ දී වැඩිවියට පත් වීම යනුවෙන් හදුන්වන්නේ මුල් වරට ඔසප් වීමයි.නමුත් මීට වඩා පුළුල් අර්ථකථනයක් ඇත. වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මොළයෙන් පැමිණෙන හෝමෝන මඟින් ඩිම්බ කෝෂ හෝ වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය පටන් ගැනීමෙනි.

මෙහි දී ගැහැණු දරුවකුගේ නම් ඩිම්බ කෝෂ මඟින් මුලින් ම ඊස්ට්‍රජන් හෝමෝනය සහ ප්‍රොජෙස්ටරොන් හෝමොනය ස්‍රාවය වීම පටන් ගනී. ඊස්ට්‍රජන් හේමෝනය මඟින් දරුවාගේ ශරීරය ස්ත්‍රියකගේ ස්වරූපයට ක්‍රමයෙන් වෙනස් වේ. මෙය වර්ෂ 02 ක් හෝ 03 ක් අතර කාලයක් තුළ සිද්ධ වේ.

මෙහි දී හෝමෝන මගින් දරුවාගේ ක්‍රියාකලාපය, සිතුම් පැතුම්, ගති පැවතුම් ද ක්‍රමයෙන් වෙනස් වේ. තව ද ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය දරුවකු බිහි කිරීමට හැකි තත්ත්වයකට ක්‍රමයෙන් පරිණත වේ.

සාමාන්‍යෙයන් දරුවකු වැඩිවියට පත් වීම සඳහා නිසි වයස් සීමාවක් තිබෙනවා ද?

ඹව්,ගැහැණු දරුවකු නම් වැඩිවිය පත් වීමේ මුල් ලක්ෂණ ලෙස හදුනා ගනු ලබන්නේ දරුවාගේ පපුව ප්‍රදේශය වර්ධනය වීම ආරම්භ වීමයි.මෙය සාමාන්‍යෙයන් අවු 8-13 ත් අතර කාලයේ දී සිදු වේ.

වැඩිවිය පත් වීම ආරම්භ වීම වයස් පරාසය, ජානමය බලපෑම් , දරුවාගේ පෝෂණ තත්ත්වය සහ සමාජ ස්ථරය අනුව ද වෙනස් විය හැකි ය.

ගැහැණු දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද?

මේ සඳහා හේතු රාශියක් බලපෑ හැකි ය. දරුවාගේ පවුලේ අනිත් කාන්තාවන් ද ප්‍රමාදව වැඩිවිය පත් වුවා නම් එම ජානමය බලපෑම් මඟින් ඇතැම් විට මෙය සිදු විය හැකි ය.මුලින් සඳහන් කළ පරිදි දරුවාගේ පෝෂණ තත්ත්වය වැඩිවිය පත් වීම හා සම්බන්ධ ය.දරුවකු දීර්ඝ කාලීන රෝගයකින් පෙළේ නම් හෝ මන්දපෝෂණයෙන් පෙළේ නම් එම දරුවාගේ වැඩිවිය පත් වීම ප්‍රමාද විය හැකි ය.මීට අමතරව විශේෂිත රෝග කිහිපයකදී ද , දරුවකු වැඩිවිය පත් වීම හරියාකාරව සිදු නොවීමට පුළුවන.

Turner syndrome රෝගී තත්ත්වයේ දී දරුවකුගේ ඩිම්බ කෝෂ නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා වැඩිවිය පත් වීම, සිදු නොවේ.මීට අමතරව කලාතුරකින් මොළයේ ගැටිත්තක් ( පිළිකාවක් ) නිසා ද මෙය සිදු විය හැකි ය.

ගැහැණු දරුවකුට වැඩිවිය පත් වීම ප්‍රමාද වීම නිසා අනාගතයේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මොනවා ද?

ගැහැණු දරුවකුගේ වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ පෝෂණ හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් නිසා නම් සහ ප්‍රමාද වුව ද වැඩිවිය පත් වීම ස්වභාවිකව සිද්ධ වන්නේ නම් බෝහෝ විට දීර්ඝ කාලීන ගැටලු නොමැත.

නමුත් වැඩිවිය පත් වීම සිදු නොවන්නේ ඩිම්බ කෝෂවල හෝ හෝමෝනවල අඩුවක් නිසා නම් අනාගතයේ දී ගැටලු මතු වේ.

මෙහි දී වෛද්‍ය උපදෙස් අනුව ස්ත්‍රී හෝමෝන , ඊස්ට්‍රජන් පෙති වශයෙන් ක්‍රමානුකූලව දරුවාට දීමෙන් වැඩිවිය පත් විමේ ක්‍රියාවලිය සාමාන්‍ය දරුවකුගේ මෙන් ම සිදු කළ හැක.නමුත් ගැබ් ගැනීමේදී ගැටලු ඇතිවේ.

ගැහැණු දරුවන් වැඩිවියට පත් වීම ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිතා කිරීම සුදුසු ද?

නැත. මෙහි දී වැදගත් වන්නේ දරුවකුගේ පෝෂණ හා සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වා ගැනීමයි.වැඩිවිය පත් වීම නිසි වයසේ දී සිදු නොවුණහොත් ඊට හේතුව සොයා ගැනීමට කල් ඇතිව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

ගැහැණු දරුවන් වැඩිවියට පත් වීම හා සම්බන්ධව සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවා ද?

සමහර විට දරුවෙකු වැඩිවිය පත් වීම පළමු ඔසප් වීම ලෙස සැළකීමෙන් වැරදි ලෙස දරුවා වැඩිවිය පත් වී ඇතැයි මව්පියන් සළකන අවස්ථා ඇත.මෙහි දී වැදගත් වන්නේ දරුවකුගේ ඔසප් වීම සාමාන්‍යෙයන් පටන් ගත්තේ පපුව වර්ධනය ඇරඹීමෙන් වසර 1-2 ක් පමණ ගත වීමෙන් පසුව ය.

තව ද දරුවකු පළමුවන ඹසප් වීමෙන් පසු මුල් අවුරුද්ද තුළ ඇතැම් විට ක්‍රමානුකූලව, මාස් පතා ඔසප් වීම සිදු නොවිය හැක. මෙය සාමාන්‍යයෙන් වසරක් ඇතුළත යථා තත්ත්වයට පත් වීම ස්වභාවිකව සිදු වේ.

ඔසප් වීම සිදු වන දවස්වල දී කෑම රටාවේ හෝ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.දිනපතා නෑම සහ සාමාන්‍ය ආහාර අනුභව කිරීම යෝග්‍ය වේ.

ගැහැණු දරුවකුගේ වැඩිවියට පත් වීම ඉක්මන් වීමට බලපාන සාධක මොනවා ද?

අධිපෝෂණ තත්ත්වය මීට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත.මීට අමතරව පවුලේ අනෙකුත් කාන්තාවන් ද ඉක්මනින් වැඩිවියට පත් ව ඇත්නම් මෙලෙස සිදු විය හැකි ය.නමුත් දරුවකු වයස අවුරුදු 8 ට කලින් පපුව වර්ධනය වීමට පටන් ගතහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මන් ද විවිධ රෝගී තත්ත්ව නිසා ද මෙසේ සිදු විය හැකි ය.

නිසි වයසට වඩා වේලාසනින් වැඩිවියට පත් වීම මඟින් දරුවාගේ අනාගතයට බලපෑමක් ඇති විය හැකි ද?

මෙය දරුවකුගේ යම් කිසි රෝගී තත්ත්වයක පෙර ලකුණක් වීම නිසා එවැනි රෝගී තත්ත්ව විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා විනිශ්චය කර ගෙන එවැනි රෝගයක් තිබේ නම් එම රෝගයට නිසි ප්‍රතිකාර කිරීම වැදගත් වේ. මෙවැනි රෝගයක් නැති වුව ද තමා හා සම වයස්වල දැරියන්ට වඩා කලින් පරිණත වීම නිසා දරුවකු මානසිකව පීඩනයකට පත් විය හැකි ය.

මෙහි දී අන් දරුවන්ට වඩා ශරීරය මහතින් හා උසින් වැඩි වීම , මාසික ඔසප් වීම , වැනි කරුණු දරුවාට මුහුණ දීමට අපහසු විය හැකි ය.මෙවන් කරුණු සළකා විශේෂ අවස්ථාවල දී වැඩිවිය පත් වීමේ ක්‍රියාවලිය අත්හිටු වීමට ඖෂධ භාවිතා කරන අවස්ථා ද ඇත.

දරුවන් වැඩිවියට පත් වීම හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වවලට ගනු ලබන ආහාරපාන බලපානවා ද?

මුලින් අප කථා කළ පරිදි දරුවාගේ පෝෂණ තත්ත්වය, දරුවාගේ වැඩිවිය පත් වීම හා සමීප සම්බන්ධතාවන් පවතී.අධි පෝෂණයෙන් පෙළෙන දරුවෙකු වැඩිවිය පත් වීම ටිකක් කලින් සිදු වේ.සම වයස් දරුවන් හා සසඳන විට කලින් සිදු විය හැක.අවපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ වැඩිවිය පත් වීම ප්‍රමාද විය හැක. එම නිසා උසට සරිලන බරක් පවත්වා ගැනීම සඳහා සමබර ආහාර වඩාත් වැදගත් වේ. මීට අමතරව අප සඳහන් නොකළ කරුණක් නම් මාස 06 ත් අවුරුදු 02 ත් අතර දැරිවියන්ගේ සමහර විට පපුව වර්ධනය පමණක් සිදු වන අවස්ථා තිබේ. එහි දී එම දරුවන්ගේ වැඩිවිය පත් වීමේ වෙනත් ශාරිරික වෙනස්වීම් හෝ හොමෝනවල වෙනස්වීම් වන්නේ නැත.මෙය තාවකාලික තත්ත්වයක් වන අතර ඉදිරි මාස/අවුරුදු කිහිපය තුළ මෙම තත්ත්වය ස්වභාවිකවම නැති වී යයි.

සමහර විට දෙමාව්පියන් වෙළෙඳසැලේ මස්වලට හෝමෝන එන්නත් කර ඇති නිසා මෙවන් තත්ත්වයක් ඇති වේ දැයි සැක පළ කරයි. නමුත් මෙය තහවුරු කරන විද්‍යාත්මක පර්යේෂණ නොමැත. දරුවකු වැඩිවිය පත්වන කාලයේ දී සීග්‍ර වර්ධනයක් සිදු වේ. එම නිසා ශරීරයේ මාංශපේශි වර්ධනයට අවශ්‍ය තරම් ප්‍රෝටීන සහිත ආහාර ද , අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම් සහිත ආහාර ද අවශ්‍ය වේ. මීට අමතරව ඹසප් වීමේ දී ශරීරයෙන් ඉවත් වන ලේ නැවත නිෂ්පාදනය සඳහා යකඩ අඩංගු ආහාර නිසි ලෙස ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ.

මදාරා මුදලි‍ගේ

අදහස්