ජාතික ආර්ථික සභාව බල මුළු ගැන්වෙයි | සිළුමිණ

ජාතික ආර්ථික සභාව බල මුළු ගැන්වෙයි

 පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමගම රටේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවර භාවය දෙවන සතියටත් මේ රටේ සමාජ ආර්ථීක අස්ථාවරත්වයන් ඇති කළ අයුරු දක්නට විය.

පළාත් පාලන මැතිවරණයේදි ගිලිහුණු ග්‍රාමීය දේශපාලන බලය යළිත් යහපාලන සම්මුති වාදි ආණුඩුව වෙත ආකර්ශනය කරවා ගැනීමට නම් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ (එ.ජා.ප) මැති අැමතිවරු වටා ගොනු වි තිබු රටේ ආර්ථීක බලය ක්‍රමයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විද්වත් බල තුළනයක වෙත ගොනු කළ යුතුය යන්න ඇතැම් දෙනාගේ සාකච්ඡාවට බඳුන් වු කාරණාවකි. මේ අනුව පසුගිය සිකුරාදා උදැසන වන විටත් ආණ්ඩුවේ එජාප නොවන පාර්ශවයන් අපේක්ෂාවෙන් සිටියේ රටේ ආර්ථීකයට සම්බන්ධ ප්‍රමුඛ අමාත්‍යාංශවල බල තුළනයේ ප්‍රමුඛ වෙනසක් කොයි මොහොතක හෝ සිදු විය හැකි බවටය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුර්ව මැතිවරණ වේදිකාවලද සඳහන් කර සිටියේ මැතිවරණයෙන් පසුව රටේ ආර්ථීක තිරණ ගැනිමේ කටයුතු තම ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව ඔස්සේ ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවය.

මේ අනුව යමින් පළාත් පාලන මැතිවරණයෙන් පසු මුල් වරට ඉකුත් සතිය ආරම්භයේදි ජාතික ආර්ථික සභාව රැස් කිරිමට රජය කටයුතු කර තිබිණි.

මෙම හමුවට ජනාධිපති, අගමැති, මහලේකම් මෙන්ම එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ලලිත් සමරකෝන්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අගමැති ලේකම් සමන් දිසානායක, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ අනිකුත් අමාත්‍යවරුන් වන මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, රවුෆ් හකීම්, ජෝන් සෙනවිරත්න, සජිත් ප්‍රේමදාස, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා, මහින්ද අමරවීර, මලික් සමරවික්රීම හා පාටලී චම්පික රණවක, යන මහත්වරුන් සහභාගී වු බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

මැතිවරණයෙන් පසුව පැවැත්වුණු පළමු ජාතික ආර්ථික සභා රැස්වීම් වාරයේ සාකච්ඡාවට තේමා වූයේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලු පිළිබඳවය. සාමාන්‍ය ජනයා විසින් එදිනෙදා ජීවිතයේදී මුහුණ දී සිටින ආර්ථික ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූ බව එම නිවේදනයේ සදහන් විය. ඒවා අතරින් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනුණු මාතෘකා කිහිපයකි.

මිල පාලනය

ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම බව හඳුනා ගැනුණු අතර ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු ගැන සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා විය.

මේ අතුරින්, සහල් සහ පොල් මිල පාලනය ගැන අවධානය යොමු වූ අතර, ජාතික ආර්ථික සභාව, පාරිබෝගික සේවා අධිකාරිය, මහ බැංකුව සහ වෙනත් ආදාළ ආයතන සමග එක්ව කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් එමගින් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සීමා කිරීමටත් යෝජනා විය.

පොහොර හිඟය සහ පොහොර සහනාධාරය

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රධාන ගැටලු දෙකක් පිළිබඳව අවධානය යොමු කෙරි ඇත. පොහොර සහනාධාරය දැනට ලබා දෙන ක්‍රමය වන මුදල්මය වශයෙන් ආධාර ලබා දීම සංශෝධනය කිරීම සහ පොහොර හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම ඒවා ය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක මහතා යෝජනා කර ඇත්තේ නැවතත්, පොහොර සහනාධාරය පොහොර මිටි වශයෙන් ම සහන මිලට ලබා දීම වඩාත් සුදසු බවයි. ගොවියාගේ පොහොර අවශ්‍යතාව විසඳීමට කටයුතු කරන අතරතුර, කෘෂිකාර්මික පොළොව දූෂණය නොවන අයුරින් එය සිදු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජාතික ආර්ථික සභාවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කෙරිණි.

එමෙන් ම, පොහොර හිඟයක් ඇතිවීම වැළැක්වීම පිණිස, රජය විසින් පොහොර සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම යෝජනා විය. ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් හඳුනා ගැනීමට ද නිර්දේශ කෙරිණි.

යටිතල පහසුකම් සංවර්ධනය

මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් එහිදි පෙන්වා දි ඇත්තේ ජල සම්පාදනය, ප්‍රවාහනය, මළ කළමනාකරණය, බලශක්තිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමකින් තොරව, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම දුෂ්කර වනු ඇති බවයි. එමෙන් ම, ශ්‍රීලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් මුදල් ආයෝජනය සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද හෙතෙම පෙන්වා දි ඇත.

නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින්, කටුනායක ගුවන් තොටුපළේ ඇතිවී තිබෙන දැඩි තදබදය හේතුවෙන්, නව මගී පර්යන්තයක් ඉදිරිකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ජපන් ආධාර (JICA) ලැබුණ ද එය ඉතා මිලාධික වන නිසා, තාවකාලික පර්යන්තයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පෙන්වා දි ඇත්තේ රජයේ කොන්ත්‍රාත් සහ ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සිදු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සහිත ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. විවිධ රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා මේ ගැටලුව ඇති වී ඇති බැවින් බොහෝ ප්‍රමාදයන් ඇති වීමට එය බලපාන බව හෙතෙම පෙන්වා දි ඇත.

ඇමති ජෝන් සෙනවිරත්න මහතා අදහස් ප්‍රකාශ කරමින්, සබරගමු පළාත තුළ කිසිදු ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් දියත්කර නොමැති බවත්, රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ප්‍රමුඛතා ලබා දිය යුතු බවත් සඳහන් කර තිබේ.

අමාත්‍ය සරත් අමුණුගම මහතා සිය අදහස් ප්‍රකාශ කරමින්, විදේශ ආදායම් ලබාගත හැකි අංශ පිළිබඳව වැඩි අවධානය යොමුකළ යුතුබවත්, එබැවින් විදේශ විනිමය විශාල වශයෙන් ලබාදෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, ඇඟලුම් ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය සහ තේ වගාව ප්‍රමුඛ අනෙකුත් අපනයන භෝග ගැන වැඩි අවධාරණයක් ලබා දෙන ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දි ඇත.

කොළඹ ග්‍රෑන්ඩ් හයට් හා හිල්ටන් හෝටල්වල රාජ්‍ය අයිතිය විකිණිමට අදාළව ගනු-දෙනුකාර උපදේශන ආයතනයක් පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුම් පත් පසුගිය ජනවාරියේ රජය විසින් කැද වන ලදි. ඒ සඳහා අදාළ අවසන් දිනය වන විට දෙස් විදෙස් අයෝජන බැංකුකරුවන්, ගණකාධිකරණ ආයතන 15 ක් ඉල්ලුම් කර තිබු බව රජය පසුගිය සඳුදා නිවේදනය කළේය. එම සමාගම් 15 වුයේ . Fenek Limited, Dubai, U.A.E,PWC, Singapore,Colliers International (Singapore) PTE Ltd Singapore,Mayer Brown JSM Singapore PTE, Singapore,Acuity Partners (Pvt) Ltd, Colombo,RKF Hotel Experts GMBH, Austria,HotelivatePvt Ltd. India,Savills (Singapore) PTE Ltd,Lazard Asia Ltd. Singapore,DeloitteTouche Tohmatsu India, LLP, India,CIMB Investment Bank Berhad, Malaysia,Capital Alliance Partner Ltd, Colombo,Jones Lang Lasalle Property Consultants (India), Pvt Ltd, India,YSP Advisors (Pvt) Ltd. Colomboසහ KPMG, Colombo යන සමාගම්ය.

මේ අනුව ඉදිරි මසක පමණ කාලයක් ඇතුළත අදාළ ගනු-දෙනු උපදේශන ආයතනය මේ සමාගම් 15 අතුරින් තෝරා ගෙන මේ වසර අවසාන විමට පෙර කොළඹ හිල්ටන් හෝටල් සමාගමේ සියයට 49 ක කොටස් අයිතිය කොළඹ කොටස් වෙළෙඳ පොළේ විශේෂ පුවරුවක් ඔස්සේ විවෘත ලංසු කැදවා විකුණා දැම්මට රජය සැලසුම් කර ඇත. මෙයින් සේවක සහභාගිත්ව කොටස් සියයට 4 ක් දක්වා නිකුත් කිරිමටද නියමිතය. ඉදි වෙමින් පවතින කොළඹ ග්‍රාන්ඩ් හයට් හෝටලය අයත් සමාගම සම්පුර්ණ වශයෙන් ෙපෟද්ගලික ආයෝජකයෙකුට පැවරිමට නියමිතය.

2017 විදෙස් අංශයේ ක්‍රියාකාරිත්වය

විදේශීය අංශයේ හිතකර තත්ත්වයන් පෙන්නුම් කරමින් 2017 වසරේ ගෙවුම් තුලනයේ ඩොලර් බිලියන 2 ක අතිරික්තයක් වාර්තා කළේය. වෙළෙඳගිණුමේ හිඟය, 2012 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු මුල් වතාවට 2017 දෙසැම්බර් මාසයේදි ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සිමාව ඉක්ම විමට සමත් වු බව මහ බැංකුව නිවේදනය කළේය.

අපනයන ආදායම කැපි පෙනෙන ලෙස වර්ධනය වුවද අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ආනයන වියදම් වැඩිවිම නිසා 2017 වසරේ පුර්ණ වශයෙන් වෙළෙඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 9.6 දක්වා පුළුල් වි තිබේ. එහිදි 2017 වසරේ මුළු ආපනයන ඩොලර් බිලියන 11.4 ක් වෙත්දි ආනයන ඩොලර් බිලියන 21 ක් වි ඇත. මෙය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ඉහළම ආනයන හා අපනයන අගයන් බවද මහ බැංකුව කියයි.

අපනයන වර්ධනයයට GSP සහන ලැබිම් මත ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟළුම් අපනයනවල වු වර්ධනයන් බලපාන ලදි.

ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යාම ප්‍රධාන වශයෙන් ආනයන ඉහළ යාමට බලපා ඇත. එසේම රත්‍රං සහ තිරිගු ආනයනයන්ද මෙයට බලපා ඇත.

ගිය වසරේ ප්‍රධාන වශයෙන් මෙරටට භාණ්ඩ ආනයනය කළ රටවල් වුයේ ඉන්දියාව (සියයට 21.4), චීනය (සියයට 18.8), එක්සත් අරාබි එමීර් රාජ්‍ය (සියයට 7.5), සිංගප්පුරුව (සියයට 6.2) සළ ජපානය (සියයට 5.0) ආදි වශයෙනි.

2017 දෙසැම්බර් මාසයේදී විදේශසේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 671 ක් දක්වා සියයට 1.9 කින් අඩු විය. මේ අනුව 2017 වසරේ සමස්ත විදේශ ප්‍රේෂණ ලැබිම් ඩොලර් බිලියන 7.1 ක් වු අතර එය 2016 ට සාපේක්ෂව සියයට 1.1 ක අඩු විමකි. මුළිකවම ප්‍රේෂණ ලැබිම් සිදුවන රටවල පැවති දේශපාලන හා ආර්ථීක අස්ථාවරත්වයන් මෙයට ඉවහල් වි ඇත.

ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත

ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මගී, ගමන්මලු සහ ගුවන් බඩු ප්‍රවාහනයට අදාළ වන රීති සඳහා අවශ්‍ය ඒකාකාරීභාවය සහ පූර්වේක්ෂණය කළ හැකි බව ලබා දීම 'ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සඳහා වන යම් යම් රීති එක් කිරීම සඳහා වන සම්මුතියෙහි' පරමාර්ථය වේ.

1998 වර්ෂයේදී මොන්ට්‍රියල්හිදී ඇති කර ගෙන ඇති එම සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශ්ව රාජ්‍යයක් වේ. එම සම්මුතියට මෙරට තුළ බලාත්මක භාවයක් ලබා දීම සඳහා වන පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත මී‍ට පෙර ඉදිරිපත් කරන ලදුව, එය ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත යොමු කරන ලදී.

ඒ අනුව, එම අනුකමිටුව විසින් ලබා දී ඇති නිර්දේශද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද 'ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍යන මණ්ඩලය විසින් මේ සතියේ අනුමත කරන ලදී.

මුදිත ගමගේ 

අදහස්