කාර්මික ශිල්පීන්ගේ හා තාක‍්ෂණික නිලධාරීන්ගේ හිඟය ඉදිකිරීම් කර්මාන්තයේ ඉදිරි ගමනට බාධාවක් | සිළුමිණ

කාර්මික ශිල්පීන්ගේ හා තාක‍්ෂණික නිලධාරීන්ගේ හිඟය ඉදිකිරීම් කර්මාන්තයේ ඉදිරි ගමනට බාධාවක්

 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ගැටලුවක්ව පවතින කාර්මික ශිල්පීන්ගේ හා තාක‍්ෂණික නිලධාරීන්ගේ හිඟය කර්මාන්තයේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පවසයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක හිඟය 350000ක් වන බවද ගණන් බලා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය රජයට කලාපීය රටවලින් ඉදිකිරීම් කාර්මික ශිල්පීන් මෙරටට ගෙන්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එයට ප්‍රතිචාර වශයෙන් රජය ඉදිකිරීම් කර්මාන්ත ශිල්පීන් 2500ක් නේපාල් රජයෙන් හා මියන්මාර් රාජ්‍යයෙන් ගෙන්වීමට මණ්ඩලයට අවසරය ලබා දී ඇත. මේ වන විට ඉදිකිරීම් කාර්මික ශිල්පීන් ගෙන්වීම ආරම්භ කර ඇති අතර මේ වසරේ මාර්තු අවසන් වීමට ප්‍රථම සේවකයන් 500ක් ගෙන්වීමට කටයුතු කරනු ඇත. ඉහත 2500ක කණ්ඩායම ගෙන්වීමෙන් පසු තව දුරටත් කාර්මික ශීල්පීන් ගෙන්වීම සඳහා රජයේ අවසරය ලබා ගැනීමටද කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පවසයි.

ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ පවතින කාර්මික ශිල්පීන්ගේ හා තාක‍්ෂණික නිලධාරීන්ගේ හිඟයට මූලික හේතුව වී ඇත්තේ වර්තමානයේ පාසල් හැර යන තරුණ තරුණියන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වෘත්තීය පුහුණු වලට යොමුවීම ඉතා අල්ප වීමයි. ඔවුන් වඩා කැමැත්තක් දක්වන්නේ රජයේ රැකියා හෝ පෞද්ගලික අංශ වල වඩා පහසු මුදල් උපයා ගැනීමේ ක්‍රියාමාර්ග වල, ත්‍රීවීල් රියදුරු රැකියා හා පුද්ගලික ආරක‍්ෂක රැකියා වල යොමුවීම සඳහාය.

2001 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ විශේෂිත අත්දැකීම් හා දැනුම හුවමාරුවට හා සංවර්ධනයට ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරන අතර නැවුම් සහ පරිසර හිතකාමී සංකල්ප, සමාජ වගකීම හා කර්මාන්ත ක්ෂේත්‍රයේ තත්ත්වය තවදුරටත් ඔසවා තැබීම සඳහා දැනුවත් භාවයත් ප්‍රවර්ධනයත් අරමුණු කරයි. වර්තමානයේ මෙම කර්මාන්ත මණ්ඩලය සමස්ථ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම නියෝජිත ආයතනය ලෙස රජය විසින් පිළිගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය වනාහි ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීවේදී සහ වාණිජ සංවිධාන 12 කින් සහ අමතර සමාගම් 300ක් පමණ සාමාජිකත්වය දරන ආයතනයකි. ඉදිකිරීම් සමාගම්, වාස්තු විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, නගර සැලසුම්කරුවන් ආදී ප්‍රමුඛ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරන සියලූම

පාර්ශ්වයන් සම්බන්ධ වූ එකම ජාතික තලයේ ආයතනය වන අතර ක්ෂේත්‍රයේ හඬ ලෙසද සැලකේ. වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව රජයට උපදෙස් ලබා දෙන තත්ත්වයක් ද ශ්‍රි ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය හිමිකරගෙන සිටී.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරු උපදේශන ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක‍්ෂකයින්ගේ ආයතනය, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය, ශ්‍රී ලංකා නගර නිර්මාණකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා මිනින්දෝරුවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා රක‍ෂණ සංගමය, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය මහා පරිමාණ හා විශේෂිත ඉදිකිරීම්කරුවන්ගේ සංගමය, අභ්‍යන්තර නිර්මාණකරුවන්ගේ සංගමය, ලංකා රෙඩි මික්ස් කොන්ක්‍රීට්කරුවන්ගේ ආයතනය,ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධානතම ක්‍රියාකාරීකමක් වන මෙරට දැවැන්තම නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය අඛන්ඩව 14 වෙනි වරටත් 2018 මැයි මස 18,19 හා 20 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රදර්ශනකරුවන් සහභාගී වන මෙම ප්‍රදර්ශනය ක්ෂේත්‍රයේ ප්‍රවීන පාර්ශවකරුවන් මෙන්ම තීරණ ගනුලබන්නන් ද ඒකරාශී කරගත් මෙම ප්‍රදර්ශනය නව සබඳතා ගොඩනඟා ගැනීමටත් ව්‍යාපාර අවස්ථා ලබාගැනීමටත් නව නිෂ්පාදන හා නවීන තාක‍්ෂණික දැනුම පිළිබඳ අවබෝධය ලැබීමටත් කදිම වේදිකාවක් නිර්මාණය කර ඇත.

නව නිෂ්පාදන එළිදැක්වීම්, නව අංග එකතුකිරීමට අමතරව නවීනතම නිෂ්පාදන හා දේශීය වෙළෙඳපොළ තුළ දක්නට නොමැති නිෂ්පාදන ලබාගැනීමේ අටියෙන් මෙම ප්‍රදර්ශනය සඳහා 20,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක්වෙතැයි ගණන් බලා තිබේ.

තවද මෙම ප්‍රදර්ශනය රටවල් කීපයක සමාගම් රැසක ප්‍රදර්ශන භාණඩ රැසක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙවර ප්‍රදර්ශනයේ නැවුම් අංගයක් ලෙස එක් රටක් සඳහා වෙනම ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබීම දැක්විය හැක. ඒ චීන සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශන කුටි රැගත් China Pavilion ප්‍රදර්ශන කලාපය යි. මෙම දැවැන්ත ප්‍රදර්ශනය හරහා ජාත්‍යන්තර සමාගම් වලට තම නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව සැලසෙනවා සේම දේශීය ජාත්‍යන්තර දෙපාර්ශ­්වයටම වාසි දායක තත්ත්වයක් නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයකි.

චන්දිමා එදිරිමාන්න 

අදහස්