රටට දැනෙන රටට ඔබින ආර්ථික සම්මුතිය | සිළුමිණ

රටට දැනෙන රටට ඔබින ආර්ථික සම්මුතිය

 ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම අද වන විට සමස්ත ජාතියම මුහුණ දී ඇති ප්‍රමුඛතම අභියෝගය වී තිබේ. ඒ පිළිබඳ කිසිවකු තුළ විවාදයක් තිබිය නොහැකිය. එහෙත් එහිදී මතුවන පළමු ප්‍රශ්නය වන්නේ ඒ සඳහා වන මාර්ග සැකැස්ම හා ක්‍රම සම්පාදනය කෙබඳු ආකාරයකට සිදුවිය යුතු ද යන්නය. එහිදී විශේෂයෙන්ම නිදහසින් පසු මේ රට පාලනය කළ ආණ්ඩු විවිධ වකවානු තුළ විවිධ නායකත්වයන් යටතේ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා උපායමාර්ග විවිධාකාර විය. එහිදී එකම පක්ෂය පවා එක් එක් කාල වකවානුවල දී අනුගමනය කර ඇති උපායමාර්ග එකිනෙකට වෙනස් කර ඇති බව කිසිවෙකු අමතක කළ යුතු නැත.

කණපිට හැරවීම

ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණ දෙකක් තිබේ. එනම්, 1965 වසරේ දී මේ රටේ ආණ්ඩු කළ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලද ආනයන ආදේශ ක්‍රමය 1977 බලයට පත්වූ එම පක්ෂයම වෙනස් කිරීම එක් උදාහරණයකි. එමෙන්ම සංවෘත ආර්ථික ව්‍යුහයක් කෙරෙහි මූලික වශයෙන් විශ්වාසය තබාගෙන කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මෙරටේ වාමාංශික දේශපාලන ධාරාව 1994 වසරේ දී එකී ප්‍රතිපත්තියෙන් සපුරාම බැහැර වී ඒ සඳහා දැක්විය හැකි දෙවන උදාහරණයයි. ඒ අනුව, ඉතා පැහැදිලි වන්නේ දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද පවත්නා සමකාලීන දේශපාලන හා ආර්ථික වාතාවරණයන්ගෙන් බැහැර වී, නොසලකා හරිමින්, කිසිදු රජයකට තම එල්බගත් ප්‍රතිපත්තිමය මූලධර්ම මත පිහිටා රටේ ආර්ථිකය හැසිරවිය නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අද වන විට ප්‍රකාශිත දැක්ම පිළිබඳ පැහැදිලි අදහසක් රට හමුවේ ඉදිරිපත් කළ එක් වැදගත් අවස්ථාවක් ලෙස තිරසර ආර්ථික සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවට අනුගතවීම දැක්විය හැකිය. ඒ අනුව, නිදහස ලැබීමෙන් පසු රටේ පාලනය ගෙන ගොස් ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වතාවට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන තම දැක්ම මත පිහිටා රටේ පාලනය භාරගෙන මේ වන විට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ.

ලෝක බැංකුව

මේ අතර පසුගිය වසරේ අග භාගයේ දී ලෝක බැංකුව සිය අර්ධ වාර්ෂික වාර්තාවෙහි ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශිත අදහස අනුව, තිරසාර සංවර්ධනය, රැකියා උත්පාදනය හා දරිද්‍රතාව අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව පෞද්ගලික අංශයේ ආයෝජන වැඩි කර ගනිමින් ආනයනය මුල්කරගත් ආර්ථික සංවර්ධන ආකෘතියක් කරා ගමන් කළ යුතුව ඇතැයි පෙන්වා දී තිබේ. එහිදී ලෝක බැංකුව අවධාරණයෙන් පෙන්වා දෙන කරුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ආකෘතියේ සාර්ථකත්වය වෙත පිවිසීම සඳහා වන ප්‍රධානතම පියවර අවදානම් කළමනාකරණය වන බවයි. එහිදී ලෝක බැංකුවේ සංවර්ධන ඇගයුම් ප්‍රකාශනයේ ප්‍රධාන කතුවරයා මෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා පත්කර ඇති ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥවරයා ද වන රැල්ෆ් වෑන් ඩූල් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ නිතර සිදුවන ස්වභාවික විපත් කෙරෙහි තවදුරටත් සූදානම්ව සිටිමින් විවිධ මට්ටම්වලදී එකී අවදානම කළමනාකරණය කිරීම වැදගත් වන බවය. ‘‘සාර්ව මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යෑම සහ (නියඟය, ගංවතුර වැනි) ස්වාභාවික විපත් සඳහා සූදානම් වීම හරහා ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් බවට පත්විය හැකිය” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකු නිරීක්ෂණ උදාහරණයට ගනිමිනි.

එහිදී 2025 දැක්ම නමින් යුත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීමේ හැකියාව රඳා පවතිනුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ බව පෙන්වා දී තිබේ. ඒ සමඟම එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන අයිඩා ස්වගානී රිචඩ් හෝග් ගේ අවධාරණය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. එනම්, ආර්ථිකයේ තරගකාරිත්වය වර්ධනය හා අපනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමෝපායන් කරා ගමන් කිරීමේ දී එකී ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වන පුරවැසියන් ආරක්ෂා කර ආර්ථික අවස්ථා උත්පාදනය කරදීම රජයේ වගකීමක් බව ඔහු එහිදී පෙන්වා දී ඇත.

අභියෝගය

ඒ සමඟම රටක් ලෙස ශ්‍රී ලංකාව අද මුහුණ දී ඇති බලවත්ම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අසීමාන්තික ලෙස ඉහළ යෑම බව අප කිසිවකු අමතක කළ යුතු නැත. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණයට අදාළව පවත්නා බරපතළම අඩුවක් ලෙස පවතින්නේ ඉදිරියේ දී පැනනැගෙන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ දාමය ක්‍රියාවට නැංවීම සඳහා වූ ආයතන ව්‍යුහයක් නොමැතිකම වන බව ද තේරුම්ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණයේ ප්‍රමුඛතම ආයතනය ලෙස ජාතික ආර්ථික සභාව (NEC) පත් කර ඇත්තේ මෙකී සියලු අභියෝග බරපතළ ලෙස සැලකිල්ලට ගැනීමෙන් පසුව විය යුතුය. විශේෂයෙන්ම රට තුළ මතුව ඇති සමාජ දේශපාලන අවශ්‍යතාද ඒ මත ගොඩනැඟෙන පෙළගැසීම් ද සලකා බලමින් විය යුතුය. එහෙත් එය මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හේතුවෙන් ඇතිවූ දේශපාලන සංඥා මත පිහිටුවා ඇති එකක් නොවන බව ද මේ මොහොතේ තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මේ රටේ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකි වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාව නිල වශයෙන් පිහිටුවනු ලැබූයේ මෙයට මාස ගණනාවකට පෙරදීය. ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවේ නායකත්වය දරන අතර එහි අනෙකුත් සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍යතුමා ද, මුදල් අමාත්‍යවරයා ද ඇතුළු රටේ ආර්ථික විෂයපථයට අදාළ විවිධ ක්ෂේත්‍ර භාරව කටයුතු කරන කැබිනට් මණ්ඩල සාමාජිකයන් ගණනාවකින් ද යුක්ත වනු ඇත. එමෙන්ම ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකුවේ අධිපති ඇතුළුව ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ද එහි සාමාජිකයන් ලෙස ක්‍රියාකරන අතර ජාතික ආර්ථික සභාවේ මහලේකම්වරයා ලෙස මෙන්ම එහි ප්‍රධාන ආර්ථික විශේෂඥවරයා ලෙස මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් ගණනාවක් ද කටයුතු කරනු ඇත. ඒ අනුව, මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාළව සෘජු තීන්දු තීරණ ගනු ලැබූ රටේ ආර්ථිකයට අදාළ ආයතන හා අමාත්‍යාංශ ගණනාවක බලතල යම් ආකාරයකට සීමා කරමින් රටේ ආර්ථිකයට අදාළ ප්‍රමුඛ හා වැදගත් සියලු තීන්දු තීරණ ගැනීමේ බලය හා ඒ සඳහා වන වගකීම ජාතික ආර්ථික සභාව වෙත පවරාගෙන තිබේ. ඒ තුළ ඒකපාර්ශ්වීය ආර්ථික දැක්මකට පැවති ඉඩකඩ ද බෙහෙවින් සීමා වනු ඇත. එමඟින් ලබා දෙන වැදගත්ම පණිවිඩය වී ඇත්තේ මේ රට පාලනය කර ඇති ආණ්ඩු දෙකම කරගසා තිබීම නිසා තහවුරු වෙමින් පැවැති විවෘත ආර්ථික ව්‍යුහයේ සියලු පැතිකඩ ඒ ආකාරයෙන්ම කරගසා ගෙන යෑමට ඇතැමුන්ට පැවති අවශ්‍යතාවන් ඒ ආකාරයෙන්ම ඉටු නොවීමට ඇති ඉඩකඩ නිර්මාණය වී ඇති බවය. විශේෂයෙන්ම නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ගෙඩිපිටින් ගැනීමේ වුවමනාව තවදුරටත් ඒ ආකාරයෙන් ඉටු නොවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවය.

අනාගත අපේක්ෂා

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයක් පිළිබඳව යම් අපේක්ෂා සහගත දැක්මකින් යුත් ආර්ථික විශේෂඥයන්ට අනුව ද සැබැවින්ම අප යොමුවිය යුතුව ඇත්තේ එබඳු ප්‍රවේශයකට ය. ආචාර්ය ඒ.ඩී.වී. ද එස්. ඉන්ද්‍රරත්න මහතා ඉතා මැනවින් පෙන්වා දී ඇති ආකාරයට ප්‍රතිපත්තිමය ව්‍යුහයන් සඳහා යොදාගන්නා ආර්ථික මොඩලයන් තෝරා ගැනීමේදී සමාජ සංචලනයන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව තිබේ. ඒ අනුව, ආණ්ඩු දෙකකම පාපයන්ට කරගසමින් මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කරන්නට උත්සාහ කළ නව ලිබරල්වාදී ආර්ථික දැක්ම තුළ පමණක් කොටුවී ක්‍රියා කිරීම තවදුරටත් අර්ථ විරහිතය. පොහොර සහනාධාරය නැවත ලබාදීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයම ඒ බව අවබෝධ කරගෙන ඇති බවට වන එක් සාධකයකි. ආචාර්ය ඉන්ද්‍රරත්නයන් පෙන්වා දෙන පරිදි ආර්ථිකය සංවෘත වන විට රජය ‘‘අත්‍යාධික” වන අතර ආර්ථිකය විවෘත වන විට “ඉතා අවම” මැදිහත්වීමකට රජයන් යොමුවේ. ඒ අනුව, අප ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් බලපෑමට ලක්වන පුරවැසියන් ආරක්ෂා කර ආර්ථික අවස්ථා උත්පාදනය කිරීම රජයේ වගකීමක් ලෙස සලකන්නේ නම් එමෙන්ම අප එළඹගෙන ඇති තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය යැයි සලකනු ලබන්නේ නම් අප ගමන් කර ඇති අන්ත දෙකෙන්ම මිදීම ඉතා වැදගත්ය. ජාතික ආර්ථික සභාව වැනි සියලු පාර්ශ්ව ඒකාබද්ධ වෙමින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ආයතනයක් රටට වැදගත් වනු ඇත්තේ ඒ අනුවය.

සුනිල් ජයසේකර

අදහස්