දියතලාව බෝම්බය හා ‘බෝම්බ දේශපාලනය’ | සිළුමිණ

දියතලාව බෝම්බය හා ‘බෝම්බ දේශපාලනය’

 ගෙවී ගිය සතියේ බදාදා පෙරවරුවේ දුන්නෙන් මිදුණු හීයක බඳු වේගයෙන් රටපුරා පැතිර ගිය පුවතක් වූයේ දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ බෝම්බයක් පුපුරා යෑමේ සිදුවීමයි. සාමය, සංහිඳියාව ගැන කතා නිතර ඇසෙන වර්තමානයේ එලෙස බෝම්බයක් පුපුරා යෑම ඇතැම් දෙනාට එක්තරා ආකාරයක ‘බෝම්බයක්’ම විය. ඒ මෙවැනි සංසිද්ධීන් හරහා ද රට තුළ කිසියම් හෝ ව්‍යාකූල භාවයක් ඇතිවෙතැයි ඇඟිලි ගනිමින් සිටින්නන් නිසාය. එහෙත් එදා බෝම්බය පුපුරා යෑම ගැන සොයා බැලූ අපට දැනගන්නට ලැබුණු සත්‍යය මෙසේය

පසුගිය 20 වැනිදා පස්වරු 7ට පමණ හමුදා සාමාජිකයන් රැගෙන නුවරඑළිය හරහා දියතලාව බලා පිටත්වූ පෞද්ගලික බස්රථය 21 වැනිදා පාන්දර 5.20 පමණ වන විට බණ්ඩාරවෙලට ළඟා වී ඇත. අනතුරුව එම බස් රථය අයත් තැනැත්තාටම හිමි සිද්ධිය වූ NF - 9990 දරන බස් රථයට බණ්ඩාරවෙලදී මාරු වූ එම පිරිසට තවත් සිවිල් මඟීන් පිරිසක්ද බණ්ඩාරවෙලදීම එක්වීමෙන් පසුව බස්රථය දියතලාව බලා පිටත් වී තිබේ.

බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ඇති කිලෝමීටර් 6ක පමණ කෙටි දුර ප්‍රමාණය ගමන් කරමින් තිබූ බස් රථය පාන්දර 5.45ට පමණ කහගොල්ල ප්‍රදේශයට ළඟා වෙද්දී එක්වරම පිපුරුම් හඬක් නඟමින් ඇතිවූ ගින්නෙන් විනාඩි කීපයක් ඇතුළත බස් රථය මුළුමනින්ම පාහේ විනාශ වී ගොස් තිබිණ. බස් රථය තුළ සිටි මඟීන් 30 දෙනාගෙන් හමුදා සෙබළු හත්දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් පස්දෙනෙක් සහ සිවිල් වැසියන් හත්දෙනෙක් ලෙස 19 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

එසේ දියතලාව රෝහලට ඇතුළත් කළ බරපතළ තත්ත්වයේ පසුවූ දෙදෙනාගෙන් කෙනෙකුගේ පාදයක් කපා ඉවත් කළ බව ද වාර්තා විණි. ඒ අනුව මිනිස් ජීවිත කීපයකටම තුවාල සිදු කරමින් බස් රථය තුළ ගිගිරුම් හඬක් නඟමින් බෝම්බයක් පුපුරා යාමට හේතුව ලෙස වාර්තා වනුයේ රියැදුරු අසුනට පිටුපස දෙවැනි අසුනේ සිටි දෙදෙනෙක් කහගොල්ලේදී බසයෙන් බැසීමට නැගිටිද්දී එක් අයකුගේ පාර්සලයකින් වැටුණු ජීව අත්බෝම්බයක් (ග්‍රෙනේඩ්) පුපුරා යෑමයි. එදින බස් රථයක් තුළ බෝම්බයක් පුපුරා යෑමේ සිදුවීම එසේ සිදුවී හමාර විය.

එහෙත් කිසියම් හෝ ආකාරයක සිදුවීමකින් රට තුළ බෝම්බයක් පුපුරා යෑමෙන් එය රටටම පිපිරු බෝම්බයක් ලෙස හුවා දක්වමින් වාසි ලබා ගැනීමට ඇතැම් දෙනා ‘තලු’ මරමින් සිටින බවද මේ සිදුවීමෙන් මනාව පසක් වූයේය. එසේ රටේ සිදුවන ඇතැම් සිදුවීම්වලින් වාසි ලබා ගැනීමට තැත් කරන්නන්ට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පිළිතුරු දුන්නේ මෙසේ ය.

“මෙතන සිදුවූ දෙය කිසිසේත්ම ත්‍රස්තවාදී හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවෙයි. එම නිසා මම මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවලින් පටු පරමාර්ථ ඉටුකරගැනීමට උත්සාහ කරන්න එපා කියා. බෝම්බයක් පුපුරා යෑම ගැන හමුදාව තුළින් මෙන්ම රටේ නීතිය අනුව පොලීසියෙන්ද පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම සිදුවූ සියලු සිදුවීම්වල සත්‍ය කිසිදු සැඟවීමකින් තොරව රටට හෙළි කිරීමටත් අපි සැදීපැහැදි සිටිනවා. එසේම හමුදා සාමාජිකයෙකු වැරැදිකරු වුවහොත් තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවනවා‘‘ යැයි ද බ්‍රිගේඩියර්වරයා පැවැසීය.

රාජකාරි කටයුත්තකට හැර වෙනත් කිසිදු විටෙකදී කඳවුරු තුළදීවත් සෙබළුන්ට අවිආයුධ පාවිච්චිය සපුරා තහනම් බව පවසන බ්‍රිගේඩියර්වරයා මේ සිදුවීමේදී කිසියම් හෝ හමුදා සාමාජිකයෙක් එලෙස යම් පුපුරන ද්‍රව්‍යයක් හෝ අවිආයුධයක් කඳවුරෙන් පිටතට ගෙන ගොස් ඇතැයි තහවුරු වුවහොත් හමුදා නීතිය අනුව දැඩි දඬුවම් පමුණුවන බව ද අනාවරණය කළේය. එසේම රාජකාරි කටයුතු සඳහා පමණක් භාවිතයට ගැනෙන අවිආයුධ මෙන්ම පුපුරන ද්‍රව්‍ය කිසියම් හෝ හමුදා සාමාජිකයකු පිටතට රැගෙන ගොස් හෝ ළඟ තබාගෙන හසු වුවහොත් හමුදා නීතිය අනුව දැඩි දඬුවම් හිමි වන වරදක් බවද කීවේය.

එසේම දියතලාව සිදුවීම සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස රාජකාරියෙහි නියැළුණු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ආන්දෝලනාත්මක සිදුවීම අලළා කිසිදු වගකිවයුතු සහතිකයක් නොමැතිව ‘ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් ටැමිල් ඊළාම්’ නමැති හිසෙන් යුතුව සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසැරු නිවේදනය ගැනද අප විමසූ විට බ්‍රිගේඩියර්වරයා පවසා සිටියේ,

“එවැනි නිවේදනවල කිසිම සත්‍යතාවක් නැහැ. එසේම අපි එවැනි නිවේදන නිකුත් කරන අයගේ ක්‍රියා කලාපය ගැන පිළිකුලින් යුතුව තරයේ හෙළා දකිනවා. මේ මොහොත රටේ සියලුම දෙනා එකාවන්ව සාමයෙන් සහජීවනයෙන් ජීවත්වෙන කාල සමයක්‘‘යැයි ද කීවේය.

රටේ සාමය, සංහිඳියාව රජයන මෙසමයේ සිදුවන ඇතැම් සිදුවීම් පාදක කොට කරුණු හරිහැටි වටහා නොගෙන නැවතත් ජාතිවාදයට, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන දේ හුවා දක්වා රට තුළ සමාජීය කතිකාවන් ඇති නොකළ යුතුව ඇත.

අමිල මලවිසූරිය 

අදහස්