හිත හොඳ නම් තැන හොඳ වේ | සිළුමිණ

හිත හොඳ නම් තැන හොඳ වේ

මහා­චාර්ය ජනක රුව­න්පුර කැන­ඩාවේ කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ලයේ අන්ත­ර්ජා­තික කට­යුතු පිළි­බඳ උප­කු­ල­පති

මෙරට විශ්වවිද්‍යාලවලින් ලබන පළමු උපාධිය ලොව ඕනෑම රටක ඕනෑම ජගතෙක් සමඟ තරග කළ හැකි මට්ටමේ දැනුමක් ලැබෙන උපාධියක් බව පවසා සිටියේ මහාචාර්ය ජානක යසන්ත රුවන්පුර මහතායි. කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ අතිරේක උපකුලපති ලෙස කටයුතු කරන මහාචාර්ය රුවන්පුර මෙරටින් බිහිව තම නාමය දසත පතුරුවන තවත් උගතෙක්, බුද්ධිමතෙක් ලෙස හැඳින්විය හැකිය.පසුගියදා කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි මොහොතේ මහාචාර්යවරයා සමඟ කතාබස් කිරීමේ අවස්ථාවක් ලැබිණි.

“මම සාමාන්‍යයෙන් ලංකාවට අනිවාර්යයෙන්ම අවුරුද්දකට සැරයක් ඇවිල්ලා යන්න එනවා. ඒ එන සෑම විටම රටට මගෙන් ලබාදිය හැකි ඉහළම පලදායි යමක් ලබාදීමටයි උත්සාහ කරන්නෙ. වර්තමානයේ ලංකාවේ තිබෙන සාමය සංහිඳියාව රටේ සංවර්ධනයට, දියුණු රාජ්‍යයක් වීමට හොඳ රුකුලක්.” යැයි පවසමින් කතාබහ ආරම්භ කළ මහාචාර්යවරයා කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ කරන කාර්යභාරයද මෙසේ පවසා සිටියේය.

“මං කැනඩාවේ ව්‍යාපෘති කළමනාකාරිත්වය පිළිබඳ මහාචාර්යවරයෙක් වගේම වරලත් ඉංජිනේරුවරයකු මෙන්ම වරලත් ප්‍රමාණ සමීක්ෂකවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම වරලත් ප්‍රමාණ සමීක්ෂකවරයෙක් ලෙස ලංකාවේ සහ එංගලන්තයේ කටයුතු කරනවා. කැනඩාවේ අවුරුදු 12ක පමණ කාලයක් මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කිරීමෙන් පසුව පරිපාලන කටයුතුවලට යොමු වීමෙන් තමයි අතිරේක උපකුලපති අන්තර්ජාතික සබඳතා කියන වර්තමාන තනතුරට පත්වුණේ. මෙහෙමයි, එතැනදී වෙන්නෙ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙළ. සාමාන්‍යයෙන් කැනඩාව කියන්නෙ ලෝකයේ කුමන රටක හෝ ‍උගත්, බුද්ධිමත් තැනැත්තෙකු එරටට පැමිණි විට ඒ රටේම රඳවා ගැනීමටයි උත්සාහ කරන්නෙ. මොකද කැනඩාව ලෝකයේ විශාල රටක් වුණාට ජනගහනය අඩුයි.

ලංකාවේ විශ්වවිද්‍යාලවල හැම දෙයක්ම කරන්නෙ උපකුලපතිනේ. එහෙත් ඒ රටවල විශ්වවිද්‍යාලවල උපකුලපති සහ පීඨාධිපති අතර තවත් තනතුරු තියෙනවා. මොකද තනි පුද්ගලයකුට හැම දෙයක්ම කරන්න බැහැනේ. පීඨාධිපති සහ උපකුලපති අතර තිබෙන අතිරේක උපකුලපති තනතුරේ කීප දෙනෙක් සිටිනවා. අධ්‍යාත්මික කටයුතුවලට, පර්යේෂණ, අන්තර්ජාතික කටයුතුවලට, සිසුන්ගේ ගැටලු විසඳීමට, පශ්චාත් උපාධි සිසුන්ගේ කටයුතුවලට ලෙස. එංගලන්තයේ මගේ තනතුරට කියන්නෙ ෆ්‍රෝ වයිස් චාන්සලර් කියලා. අපේ විශ්වවිද්‍යාලවල එහෙම තනතුරු නැතිකමයි මම දකින ලොකුම දුර්වලකම. ඒ නිසායි අපේ රටේ විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිය හොඳ වුණත් ලෝකයේ විශ්වවිද්‍යාල හා තරග කරද්දී අපේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් පහළට යන්නෙ.”

දියුණු රාජ්‍යයන්හි විශ්වවිද්‍යාලවල සැකැස්ම හොඳින් අවධාරණය කළ මහාචාර්ය රුවන්පුර මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කළේ තරමක වේදනාත්මක ස්වරූපයෙනි.

“බලන්න අපේ රටේ විශ්වවිද්‍යාලවලින් ලැබෙන පළමු උපාධිය. ඉස්තරම්ම ඉහළ උපාධියක්. ලෝකෙ කොහේ ගියත් මෙරටින් උපාධියක් රැගෙන යන දරුවෝ නම්බර් වන්. අපේ රටට ඕනෑ තරම් ශ්‍රම සම්පත, බුද්ධි සම්පත, ස්වාභාවික ව්‍යසනවලින් අඩු සම්පත් තියෙනවා. හැබැයි අපේ විශ්වවිද්‍යාලවල තියෙන ලොකුම ගැටලුව ඉගැන්වීමයි උපදේශකත්වයයි විතරයි. පර්යේෂණ කරන්නෙ නෑ. පර්යේෂණ කරන්නෙ නැතිව විශ්වවිද්‍යාලයකට ඉදිරියට යන්න බෑ.

ශ්‍රේණිගත කිරීම්වලට හසුවන්නෙ නෑ. අන්න ඒ නිසයි අපේ විශ්වවිද්‍යාල හැමදාම පහළින්ම ‍ශ්‍රේණිගත වන්නෙ. සාමාන්‍යයෙන් දියුණු රටවල විශ්වවිද්‍යාලවල කරන්නෙ උගන්වනවාට වඩා පර්යේෂණ කිරීම. හැබැයි පර්යේෂණ තුළින් පුළුවන් උපදේශකත්වය කරන්ඩත්. ඒකයි මම කියන්නෙ, අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තනිකරම උඩුයටිකුරු විය යුතුයි කියා. ඇත්ත... පීඨාධිපතිටයි උපකුලපතිටයි මේ හැම දෙයක්ම කරන්න බැහැ. මං කියන්නෙ දියුණු රටවල විශ්වවිද්‍යාලවල වගේ අතිරේක උපකුලපතිවරු ඇතිකළ යුතුයි.

එසේ කිරීමෙන් වැඩ බෙදෙනවා. දැන් බලන්න කැල්ගරි අපේ විශ්වවිද්‍යාලයේ මම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක උපකුලපති. මට තියෙන්නෙ විශ්ව විද්‍යාලය සමඟ ලෝකයේ වෙනත් රටවල් හා සමඟ සබඳතා ගොඩනඟා ගැනීමයි. මම ඒ හරහා මේ වන විට ලෝකයේ දියුණුම රාජ්‍යයන් වන චීනය, ජර්මනිය, මෙක්සිකෝව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව වැනි රටවල් විශාල ගණනකට ගිහිල්ලා සබඳතා ගොඩනඟාගෙන තියෙනවා.

තව කාරණයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවේ රටේ සෑම තැනකදීම මිනිසුන් බලන්නෙ හැම දෙයක්ම ඉක්මනින්ම කරගන්ඩයි. එහෙත් ඒ රටවල පර්යේෂණ කරමින් සෑම පර්යේෂණයක්ම සිසුන්ගේ පශ්චාත් උපාධිවලට සම්බන්ධ කරමින් අවුරුදු තුන, හතර කල් ගන්නවා. ලංකාවේ බලන්නෙ මාස තුන, හතරකින් කරගන්න. ඒ වගේම අපිත් මහාචාර්යවරු වුණාට ඉගෙන ගන්නෙ සිසුන්ගෙන්. අපි කරන්නෙ උපදෙස් දීම, ළමයි තමයි පර්යේෂණ කරන්නෙ. ඒක තමයි ඇත්ත.

මට තියෙන කනගාටුව අපේ රටේ හැම සම්පතක්ම තියෙනවා, ඒත් ඇයි මෙහෙම වෙලා තියෙන එක ගැන.. මම අදටත් ලාංකිකයෙක් ලෙස ලාංකිකයන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම, අවංක වන්න, තමන්, තමන්ට අවංක වන්න. එච්චරයි. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේ රට ඉතාම කෙටි කාලයක් තුළ සුරපුරයක් වෙනවා. ඒකාන්තයි, නිසැකයි.

මං මේ දේවල් කියන්නෙ විශාල රටවල් ගණනාවක ඇවිදිමින් ලැබු අත්දැකීම් සන්සන්දනය කරමින්. අපේ රටේ මිනිස්සු තුළ හැකියාව තියෙනවා, කැපවීමයි අඩුයි. ඒ වගේම මේ රටේ ප්‍රතිපත්ති දීර්ඝකාලීන විය යුතුයි. අර ඇමැති එනකොට හකුළුවා ගන්නා, මේ ඇමැති එනකොට අලුත් ප්‍රතිපත්ති ගෙනෙන ඒවා වැඩක් නැහැ. දැන් බලන්න, මහපොළ, මහවැලි වැනි දේවල්. මොන තරම් දීර්ඝ කාලීන ප්‍රතිපත්තිද... තාමත් ඉතාම හොඳින් පවතිනවානේ.

ඒ වගේම අධිවේගී මාර්ග පද්ධතිය ඉතාම හොඳ වැඩක්... ඒ දේවල් අර ආණ්ඩුව, මේ ආණ්ඩුව ආවා කියලා නතර කරන්න හොඳ නැහැ. එහෙම උපාය මාර්ගික කෙටි කාලීන සහ දිගු කාලීන සැලැසුම් තමයි රටක දියුණුවට සැදිය යුත්තෙ.

බලන්න අපේ රටේ මිනිස්සුන්ට මොනතරම් හදිසියක්ද තියෙන්නෙ කියලා... වර්ණ සංඥාවල කොළ පාට වැටෙන්නට පෙර රිය පදවනවා. ඔය හදිසිය රට දියුණු කරන්නත් තිබේනම්?

දැන් බලන්න මේ රටේ කොතැනක හෝ පේළියකට සිටිනවානම් කී දෙනෙක් පෝලිම පනිනවද? කැනඩාවේත් ඕනෑතරම් පෝලිම්, හැබැයි එවැනි අශෝභන සිදුවීම් කිසි විටෙක දකින්න නැහැ. ඒ වගේමයි පෞද්ගලිකත්වය. දෙන්නෙක් කතා කරනවානම්, තුන්වැන්නා මීටර් ගාණක් ඈතින් ඉන්නෙ. අපේ රටට ඓතිහාසික සංස්කෘතියක් තිබුණට, ශිෂ්ට සම්පන්න බවින් සාරධර්ම අතින් බොහෝ පිරිහිලා. ඒක ලොකු ඛේදවාචකයක්. මං ලෝකෙ බොහෝ රටවලට යන නිසා දකිනවා, සමහර හොඳට තිබුණ රටවල් අද පහළට වැටිලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ වගේම මං කැනඩාවට හරි කැමැති පුදුමාකාර විදිහට මිනිසුන්ට ගෞරව කරනවා ඒ රටේ.”

ඇත්තටම අපිට ලොකු අතීතයක්, සංස්කෘතියක් තියෙනවා තමයි. ඒ වුණාට කැනඩාවට තියෙන්නෙ අවුරුදු 150ක පමණ අතීතයක්. එහෙත් 150ට කරලා තියෙන වැඩ කොටස දැක්කම කොහොමද මේ විදිහට දියුණු වෙලා තියෙන්නෙ කියලා කෙනෙක් සොයා බැලිය යුතුමයි. මං දකින එහි රහස තමයි ඒ මිනිස්සු පිළිවෙළට, වෙලාවට හරි විදිහට වැඩේ කිරීම. කිසිම කෙනෙක් කිසි විටෙක හොර වැඩ කරන්න පෙලඹෙන්නෙම නෑ. හරිම බයයි එවැනි දේට. වේලාව දෙකනම් දෙකයි. අඩුත් නෑ, වැඩිත් නෑ.

පවුලේ එකම දරුවා ලෙසින් කොළඹදී උපන් 51 හැවිරිදි ජනක රුවන්පුර නාලන්දා විද්‍යාලයෙන් සිප්සතර හදාරා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රමාණ සමීක්ෂක උපාධිධරයකු ලෙස 1995 වර්ෂයේදී ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාවට ගොස් තිබේ.

“අවුරුදු 4ම විශ්වවිද්‍යාලයේ බැජ් ටොප් මම. ඒ වුණාට මට පාසලේදී එතරම් ඉගෙන ගන්න හැකියාවක් තිබුණේ නෑ. අපොස සාමාන්‍ය පෙළට ඩී තුනයි සී පහයි. උසස් පෙළට සී තුනයි එස් එකයි. ලොකු ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. මගේ හොඳම අධ්‍යාපන අවදිය විශ්ව විද්‍යාල සමය. 92 උපාධිය ගත්තෙ. පස්සෙ මං, මගේ සමකාලීන අතිදක්ෂයෝ සමඟ තරග කරලා ශිෂ්‍යත්ව දෙකක්ම දිනාගැනීමට සමත් වුණා. ඒ ජනාධිපති ශිෂ්‍යත්වයක් සහ අමෙරිකාවෙන් ලැබෙන ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක්.

එහෙමයි මං ඇමෙරිකාවට ගියේ. ඒ ගියේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි කළමනාකරණ පශ්චාත් උපාධියට. ඒක අවුරුදු දෙකක් කිරීමෙන් පස්සෙ කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයෙන් අවස්ථාවක් ලැබුණා ආචාර්ය උපාධිය කරන්න. ආචාර්ය උපාධියට කළේ ගොඩනැඟිලි ඉංජිනේරු සහ කළමනාකාරිත්වය කියන විෂයන්.

හැබැයි ඒක අවසන් කිරීමටත් ප්‍රථම 2001 වර්ෂයේදී මට රැකියාවක් ලැබුණා සහාය මහාචාර්යවරයෙක් ලෙස. ඒ මං වර්තමානයේ සේවය කරන කැල්ගරි විශ්වවිද්‍යාලයෙන්. 2001 සිට 2006 වන තුරුම ඒ තනතුර දැරුවා. 2006 දී අතිරේක මහාචාර්යවරයෙක් වුණා. 2007 දී මගේ ජීවිතයේ පර්යේෂණ සඳහා ලැබුණ ලොකුම තනතුර ලැබුණා.

කැනඩාවේ තියෙනවා 'කැනඩා රිසර්ච් චෙයාර්' කියලා එකක්. ඒ කියන්නෙ කැනේඩියානු පර්යේෂණ අධිපතිවරුන්. එය පටන්ගත්තෙ කැනඩා රජය 2000 වර්ෂයේදී ගත් තීන්දුවක් අනුව. එවැනි දෙයක් ආරම්භ කිරීමට හේතුව, ලොව පුරා සිටින විවිධ ඉසව් ඔස්සේ ඉහළතම උගතුන් 2000ක් එරටට සංක්‍රමණය කරවා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා.

ඒ අතරේ එරට රජය කළ දෙයක් තමයි, කැනඩාව තුළ සිටින වෙනත් රටවලින් පැමිණි උගතුන්ද ඒ සඳහා එකතු කරගත්තා. අන්න එහෙමයි, 2007 දී මට ඒ අවස්ථාව ලැබුණේ. 2011 දී මහාචාර්යවරයෙක් වුණා. 2012 සිට වර්තමාන තනතුරට පත්වුණා.”

“මම ඉන්න ප්‍රාන්තයේ තනිකරම තියෙන්නෙ තෙල්. හැබැයි ඒ තෙල් තියෙන්නෙ පසත් සමඟයි. ඒ පස් පිරිසුදු කරලා තෙල් ගන්නෙ. ඒ ප්‍රාන්තයේ තියෙන තෙල් ප්‍රමාණය කොතරම්ද කීවොත් මුළු ලෝකයටම තව අවුරුදු සීයකට ඒ ප්‍රාන්තයෙන් තෙල් දිය හැකි බවයි කියන‍්නෙ.”

කැනඩාවෙන් බොහෝ වෘත්තිය ගෞරව නාම ලබා තිබෙන මහාචාර්යවරයාට ලොස් ඇන්ජලිස්හි ශ්‍රී ලංකා පදනමෙන් ගිය වර්ෂයේදී ලැබුණු ජීවිතයේ එක්වරක් පිරිනැමෙන ‘ලයිෆ් ටයිම් ඇචිව්මන්ට්’ සම්මානය ගැන ඔහුට තිබෙන්නෙ නිහතමානී සතුටකි.

“සාමාන්‍යයෙන් ඒ සම්මානය පිරිනමන්නෙ අවුරුදු 70, 80 පැනපු අයට. ඒත් මට ඒක අවුරුදු 50දී ලැබුණා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙන්නෙ. මොකද මට එයින් හැඟෙනවා මං රටට ලෝකයට යමක් කරලා තියෙනවා කියලා.” එසේම මහාචාර්යවරයාගෙන් ලොවට සිදුවූ සේවය ගැනද අවසන ඔහු මෙසේ කීවේය.

මං ගොඩක්ම කරලා තියෙන්නෙ අඩු කාල පරාසයකින් උපරීම පලදායකත්වයක් ලබාගන්නෙ කෙසේද යන්න ගැන පර්යේෂණයි. ඒ වගේම මා යටතේ ආචාර්ය උපාධි විසි එක්දෙනෙක් අවසන් කොට තිබෙනවා. පශ්චාත් උපාධිධාරීන් සීයකට වැඩිය ඉන්නවා. අපේ රටේ දරුවන් කිහිප දෙනෙකුටම මම කැනඩාවට ශිෂ්‍යත්ව ලබා දුන්නා... මොරටුව, පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලවලට. ඒ වගේම කැනඩාවේ සිසුන් කීප දෙනෙකුත් ගිය වර්ෂයේ ආවා මොරටුව විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න.

මම කියන්නෙ නැහැ ලංකාවේ සංවර්ධන කටයුතු සිදු නොවනවා කියා. නමුත් යන්නෙ ඉබි ගමනක්. අද ලෝකයේ වෙනත් රටවල් දියුණුව කරා යන විදිහට අපි යන්නෙ බොහෝම සෙමින් ගමනක්. කැනඩාව අපි කරන බොහෝ පර්යේෂණවලින් උපරීම ප්‍රයෝජන ගන්නවා. ඒ දේවල් මම සෑම විටම ලංකාවටත් දෙනවා. වරක් බ්‍රිගේඩියර් මධුර විජේවික්‍රම සමඟ මම ලොකු වැඩ කොටසක් කරන්න උත්සාහ කළා. එහෙත් වැඩක් වුණේ නෑ.

හැබැයි මං චීනයේ සහ මෙක්සිකෝවේ විශ්වවිද්‍යාලවල බලශක්තිය පිළිබඳ පර්යේෂණායතන දෙකක් ගොඩනැඟුවා. ලංකාව කියන්නෙ ඉතාම හොඳින් දියුණු කළ හැකි රටක්. මං දකින හැටියට 77 සිට 82 කාලය තමයි ලංකාව දියුණුව පටන්ගත් හොඳම කාලය. නමුත් 83 අර්බුදය සමඟ රටම ආපස්සට ගියා. ඒ ආපස්සට යෑමෙන් තවම බැරිවෙලා තියෙනවා අපට ගොඩ එන්න.

හැබැයි මං හිතුවා යුද්දෙන් පස්සෙ නැවතත් ඉතාම හොඳ තත්ත්වයකට එයි කියලා. ඒත් හරිම දුකයි යුද අවසානයත් සමඟ ඇතිවූ තත්ත්වය ගැන. දැන් මේ රටේ කිසිම යුද්ධයක් නැහැ. සාමය සංහිඳියාව සාමාන්‍ය මිනිසුන් තුළ හොඳටම තියෙනවා. හැබැයි නිලධාරීන්ට, බලධාරීන්ට රට දියුණු කරන්න කිසිම වුවමනාවක් නැති පාටක් පේන්නෙ. අපේ රටට දකුණු ආසියාවේ දියුණුම රාජ්‍යය වීමට ඉතාම පහසුවෙන් හැකියාව තියෙනවා තිබේයැයි මහාචාර්ය රුවන්පුර මහතා අවධාරණය කොට සිටියේය.

 

අදහස්