විජය අලුත් සමා­ජ­ය­ක සොඳුරු විප්ලවවාදියා | සිළුමිණ

විජය අලුත් සමා­ජ­ය­ක සොඳුරු විප්ලවවාදියා

විජයගේ පුදුමාකාර පුද්ගලික බැඳීම් ද තිබුණි. මට මතක ආකාරයට ඔහුගේ මරණ දිනයේ එක් අයෙක් ගිනි තබා ගෙන මළේය. එබඳු පුදුම පුද්ගලික සම්බන්ධකම් ඇති කරගැනීමට ඔහුට හැකි වුණි. මේ සමාජ සටන්වල විස්තර කියවන විට ඒවා පුදුම වැදගත්කමක් පෙන්වයි. මේ සංකල්පයන් එහෙට මෙහෙට කිරීමක් නොවේ. මතු මහලත් අපට අවශ්‍ය වේ. පුද්ගලික බැඳීම් ද අවශ්‍ය වේ. මේ සියල්ලටම වඩා ඒ සඳහා කැප වූ මිනිස්සු අවශ්‍ය වේ. මිනිසත්කම හොඳයි කියා ජීවිතය ගියත් අපි වැරැදි වැඩක් නොකරන්නෙමු. මරා දැම්මත් මේ රටේ මිනිස්සු එකට සිටිය යුතුයි කියා අපි පවසන්නෙමු. මේක දකුණේ අය කරන්නේ ද නැත. උතුරේත් එම ප්‍රශ්නය ඇත.

(මහජන සහෘද සංසදය මගින් සංවිධානය කළ, 2018 පෙබරවාරි 15 දින බණ්ඩාරනයක සම්මන්ත්‍රණශාලාවේ දී පැවති විජය කුමාරතුංගයන්ගේ 30වන ගුණානුස්මරණ උත්සවයේ දී අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කළ දේශනය ඇසුරින් සකස් කළ ලිපියකි.)

 

වසර 30කට පෙර මේ රටේ අවිවාදයෙන්ම වඩාත්ම ජනප්‍රිය නළුවා හා වඩාත් ජනප්‍රිමය දේශපාලනඥයා වූ විජය කුමාරතුංග වන අපේ මිත්‍රයාගේ ඒ ඝාතනය මම දකින්නේ විකාර රූපයක් ලෙසයි. මොකද මේ ඝාතනය කළ අය වර්ෂ කීපයකට පසු එතුමා ඉදිරිපත් කළ ඒ සංකල්පය පිළි ගන්නා ලදි. ඒ ඝාතනයට මුල් වූ කරුණ පසුව පිළිගන්නා ලදි. ඒ කාලේ තිබුණු 13න් වන සංශෝධනයට ඒ මත විශාල ගැටුම් ඇති විය. එහෙත් ඒ ඝාතනය කළ අය කල්යාමේ දී ඒ නීති රීති පිළි අරගෙන පළාත් සභා පිළි අරගෙන එසේම මන්ත්‍රීවරු වී අපිට ඔප්පු කළේ මේ ලෝකයේ දාර්ශනිකයෙකු කී පරිදි එක්තරා ආකාරයක විකාර රූපයක් තියෙන බවයි. එහෙත් ඊට වඩා ගැඹුරු දෙයක් අද අපි කතා කළ යුතුයි.

විජය කුමාරතුංගයන් ඝාතනය කළේ යම් අදහසක් ඝාතනය කිරීමට අවශ්‍ය නිසාය. අතිශය ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූත් ජනප්‍රිය චරිතයක් වූත් ඉතා සුහද කෙනකු වූත් එතුමාව ශාරීරිකව ඝාතනයෙන් පමණක් ඒ ඝාතකයන් සතුටු වූවා යැයි මම නොසිතමි. ඔවුන් බලාපොරොත්තු වූයේ අදහසක් නැති කිරීමයි. ඒ අදහස කුමක් ද?

ඉතාම අඳුරු මොහොතක මේ රටේ එකිනෙකාට වෙඩි තබා ගන්නා, මරා ගන්නා, කපා කොටා ගන්නා සමයක විජය කුමාරතුංගයන් ප්‍රදීපයක් ලෙස, එළියක් ලෙස නැඟී සිට ඔහු ප්‍රකාශ කළේ මේ රටේ ඉපදෙන සියලු දෙනාම ජාති ආගම් කුල භේද නැතුව සමගි සම්පන්නව ජීවත් විය යුතු බවයි. එබඳු සමගි සම්පන්න රටක් අපේ කැප වීමෙන් නිර්මාණය කිරීමට හැකි බව එතුමා ප්‍රකාශ කරන ලදි.

එපමණක් නොව ජාති ආගම් කුල භේද නැති රටක් සියල්ලන්ගේම හැකියාවන් උපන් හපන්කම් මල්පල ගත හැකි රටක් ගොඩ නැඟීමට අපේ ජීවිතය දුන්නත් ඒක ලොකු වැඩක් ලොකු පරිත්‍යාගයක් නොවෙයි යන පණිවිඩය ලෝකයට දෙන ලදි.

රටක වටිනාකමක් තිබෙන්නේ එවැනි සුන්දර ශිෂ්ට හොඳ අදහසක් වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි මිනිසුන් ජීවත්වන රටකට පමණයි, අනාගතයක් ඇත්තේ එවැනි රටකට පමණයි යනුවෙන් එක්තරා විශ්වාසයක් තිබේ. බොහෝ විද්වත්තු මේ බව ප්‍රකාශ කරති.

එබඳු කැපවීමක් කළ නොහැකි නම් එබඳු අඳුරු කාලයක උඩුගම් බලා පීනිය නොහැකි නම්, රැල්ලට විරුද්ධව පීනිය නොහැකි නම් එවැනි වේලාවක යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ.

ඒ රටේ ඉතිහාසයේ කවදා හෝ එයට වටිනාකමක් වැදගත් කමක් ගෞරවනීය භාවයක් ආදරයක් ප්‍රකාශ කරනවා යන ඒ මතය සනාත කිරීමට මේ සියලුදෙනා පැමිණ සිටි. ඒ පරිත්‍යාෙගය කළේ එතුමාගේ භාර්යාව දරුවන් හිතමිත්‍රයින් වෙනුවෙන් පමණක් නොවේ. අපේ මිනිසුන්ට එතුමා නිතර කියු වචනයක් වූයේ ඒ මනුස්සකම රැක ගැනීමෙන් පමණක් මේ රටට අනාගතයක් වටිනාකමක් තියන බවයි.

මා හිතන්නේ අවුරුදු 30ක් නොව අවුරුදු 300ක් ගියත් මේ පණිවිඩය මේ රටට අත්‍යාවශ්‍යයයි.

මේ ගැන මම ටිකක් කල්පනා කළේ දේශපාලන හා දාර්ශනික වශයෙනි. අපි මාක්ස්වාදය අනුව බලන විට මැද පන්තියක් තිබේ යැයි සිංහලෙන් කිව හැකිය.

නිදහසට පසු ලංකාවේ කොටස් දෙකක් තිබුණි. එකක් නම් කොම්ප්‍රදෝරු පන්තියයි. ඒ අය ඒ අධිරාජ්‍යය ව්‍යුහය තුළ නොයෙක් ආකාරයේ වාසි ලබමින්, කොමිස් ලබමින් නොයෙක් ආකාරයේ ප්‍රතිලාභ ලබමින් එම බැඳීම තිබුණි.

1956දී බණ්ඩාරනායක මැතිතුමා ඒ බැඳීමෙන් විකල්ප වශයෙන් දේශීය මැද පන්තියක් නිර්මාණය කර ඒ අයට ඉදිරියට යෑමට අවකාශය සලස්වන ලදි. එවිට ඒ සාම්ප්‍රදායික ගැටුම ඒ බටහිර ගැති කොම්ප්‍රදෝරු අදහස් තියෙන අය සහ දේශීය මැද පන්තිය අතර තිබුණි. එසේම මේ දේශීය මැද පන්තිය තුළ කොටස් දෙකක් ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායික රටවල්වල සිටින පසුගාමී කොටස්වලට අයත් සියලුදෙනා බලනුයේ අතීතය දෙසයි. එය හොඳ විය හැකිය. අතීතයේ වටිනාකමක් තිබේ.

නමුත් වර්තමානයේ මේ සියලු දේ කිරීමට හැකිද කියා කල්පනා කළ යුතුවේ. එය හොඳ දෙයක් යැයි මම කල්පනා නොකරමි. ඉන් රටට ඉදිරියට යා නොහැකි. නොයෙක් ආකාරයේ ගැටුම්, අතීතයේ තිබුණු ඓතිහාසික ප්‍රශ්න නැවතත් වර්තමානයේ ඇති කිරීමට මාන බලයි. එහෙත් ඒ සමගම තව කොටසක් වන ප්‍රගතිශීලි ජාතික මැද පන්තියක් සිටි. ඒ ප්‍රගතිශීලි ජාතික මැද පන්තිය ඉදිරියට යන්නේ කෙසේද? ඒ අයට සමාජයේ ප්‍රධාන තැනක් දෙන්නේ කෙසේද? එතැනදී නැවත වරක් අපිට මාක්ස්වාදයට යන්නට සිදුවේ. එහි වාද විවාද තිබුණි.

මාක්ස් පැවසුවේ මූලික වශයෙන් ආර්ථික හේතුන් මත එහි යටිතලය මත මතු මහලක් ඇතිවන බවයි. කලාව, නාට්‍ය සහ ඒ සියල්ලටම වඩා ආගම යන ඒ මතු තලය, උසස් තලය, යනුයි. නමුත් පසුව ආපු මාක්ස්වාදී දාර්ශනිකයින් විශේෂයෙන්ම ග්‍රැතම්සි වැනි අය පැවසුවේ මේ මතු මහලත් ආර්ථික සාධකත් සමානවම අවශ්‍ය බවයි. එයද රටේ හැඟීම්වලට, හැසිරීම්වලට, ආර්ථික ක්‍රියාවලියට එකසේ බලපායි.

විජය කුමාරතුංගයන්ගේ ඒ ක්‍රියාව තුළ අප මතක තබා ගත යුතු වන්නේ ඔහුට කලාවෙන්, සංගීතයෙන්, නාට්‍යයෙන් මතු මහල තුළින් ඒ ආර්ථික ස්වරූපය විග්‍රහ කිරීමට හැකි වූ බවයි. ඒ නිසා පහළින් ඉහළට යන එකකටත් වඩා ඒ කලාත්මක ලෝකයේ තියෙන, ඒ දර්ශනයේ තියෙන, ඒ සුහදකම තුළින් හා උත්පත්තියෙන් ලබා සිටි ස්වභාවයෙන් එතුමාට ඒ මනුස්සකම සහ සමානාත්මතාවේ වැදගත්කම ඉදිරියට ගෙන යන්නට හැකි වුණි. එය දාර්ශනික වශයෙනුත් එක තර්කයකි. මා සඳහන් කළ මතු මහලේ තියෙන යම් යම් වටිනාකම් විජය කුමාරතුංගයන් මෙන් අපි ද එළියට ගෙන ආවෙමු. මේ සංකීර්ණ ව්‍යුහය තුළ අපි අනාගතයට යන්නේ කෙසේද? විශේෂයෙන්ම ඒ ජාතිකවාදී මැද පන්තිය ප්‍රගතිශීලී පිළට යන්නේ කෙසේද?

අතීතය ගැනත් ගෞරවයක් සහිතව ඒ අතීතයේ පැරණි ගැටුම් නව ලෝකයට ගෙන යන්නේ නැතුව ඒ අතීතයට සම්ප්‍රදායට ගරු කරමින් මනුස්සකමත් ඉදිරියට යන්නේ, වර්තමානයට යන්නේ කෙසේද යන ප්‍රශ්නයට විජයගේ ක්‍රියාවලිය තුළින් අපිට දැන ගත හැකි බව මම කල්පනා කරමි. එතුමා ඒ හැඟීම් සියල්ල සිනමාව හා සංගීතය තුළින් ගොනු කළේය. ඒ තුළින් ලබා ගත් ජනප්‍රියත්වය ඉතා යහපත් වටිනා අභිලාෂයන් සඳහා යොමු වුණි. සමහර අය ඒ හැකියාවන් සියල්ල යොමු කළේ ප්‍රතිගාමී අදහස් ප්‍රචාරය සඳහායි.

බොහෝ අය සිතන්නේ සිංහල කලාව, සිංහල නාට්‍ය, සිංහල කවි මේ සියල්ල අතීතය ගැන පමණක් උගන්වන දේවල් පමණක් යන්නයි.

පුවත්පත් බැලුවහොත් දුටුගැමුණූ යුගයේ කුමක්ද කළේ, මිනිසුන් මැරුවේ කෙසේද? සටන් කළේ කෙසේද? යනාදී දේවල් ඇත. ඒ ප්‍රවණතාවය අබිබවා යන තවත් දේශීය ප්‍රවණතාවයක් තිබේ. එනම් ප්‍රගතිශීලි දේශීය ප්‍රණතාවයයි. මිනිසුන්ගේ ජනප්‍රියත්වය ලබා ගන්න ගමන්, ඒ අය අමතන ගමන්, ඒ ජන මතයෙන් ප්‍රයෝජනය අරගෙන මිනිසුන් උසස් මාර්ගයට ගෙන යන්නට එම ප්‍රවර්ධනතාවය මහන්සි ගනී. එය අද ලෝකයේ තියෙන ඉතාම වැදගත් දෙයකි. ‘අප දැන් කළ යුත්තේ කුමක්ද’ යනුවෙන් ලෙනින්ගේ පොතක් තිබේ. මේ තත්වය තුළ අපි කුමක් කරන්නේද? අපේ උරුමය කුමක්ද? අපේ අනාගතය කුමක්ද? මේ පිළිබඳ අප කල්පනා කර සාධාරණ සමාජයක් හැදීමට ඒ දේශීයත්වය යොදා ගන්නේ කෙසේද? සිංහල භාෂාව විය හැකියි. රුචිකත්වය විය හැකියි. සිංහල ජනතාව චිත්‍රපටි නරඹන අය යන සියල්ලන්ගේම ආදරය දිනාගෙන ඒ ආදරයෙන් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද කියා එතුමා කල්පනා කළේය.

අපට වඩා හුඟක් ඒ ගැන චන්ද්‍රිකා මැතිනිය දනි. විජය කියු දේවල් දෙස බලන විට පෙනී යන්නේ එන්න එන්නම ඒ මානව හිමිකම් කොටසට එනම් සියලු දෙනාටම එක හා සමානව සැලැකීමේ ඒ සංකල්පයට, වැඩි වැඩියෙන් බලය ලැබුණු බවයි. යාපනයේ භයානක ත්‍රස්තවාදය රජයන සමයක ජීවිතයත් මරණයත් අතර සටනක් තිබුණේ යැයි කිව හැකි අවස්ථාවක විජය කුමාරතුංගයන් යාපනයට ගොස් රහීම් කියන කොටි නායකයා හමු වූ බව මට මතකයි. ඔහු මා උගත් ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මෙබදු අතිශයින්ම භයානක මොහොතක ත්‍රස්තවාදයෙන් වෙලී ගිය මොහොතක විජය යාපනයට ගොස්, කෝවිලට ගොස් දෙමළ ජනතාව සමග කතා කර ප්‍රසිද්ධ රැස්වීමක් අමතා කළේ ලොකු විපර්යාසයකි. වීර ක්‍රියාවකි. ඒ අංශයෙන් අප ඒ දෙස බැලිය යුතුයි. අපේ රටේ හොඳ ඉතිහාසයක් තිබේ. ජාති ආගම් කුල භේද නැතුව එකට වැඩ කරන හොඳ ඉතිහාසයක් අපේ රටට තිබේ. ඒ මත මේ සභාවේ සිටින සියලුදෙනාම නව සංකල්ප වලට අලුත් සමාජයකට අලුත් සටනකට යා යුතුයි. එසේ නැතුව මේ රට නැවත වරක් ඒ ජාතිවාදී යුද්ධයකට ගියහොත් විශාල විනාශයක් සිදුවේ. එක අතකින් මෙබඳු දෑ නූතන ලෝකයේ කිරීමටත් අපහසුයි. අවුරුදු 30ට පෙර 60ට පෙර තිබුණූ සමාජය අද නැත. එකල තිබු ආකාරයට නළු නිළියන්ට සම්පූර්ණ අධිකාරී බලයක් අද නැත. එම අවධියේ රූපවාහිනය තිබුණේ නැත. වෙනත් එවැනි දේවල් තිබුණේද නැත. එසේම එකල අයිකොනික් එසේත් නැත්නම් සන්නාමය ඇති නළු නිළියන් කියන දේ සියල්ල සියලු දෙනා පිළිගනී.

අද ඒ අයිකොනික් චරිත සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල ඇතැයි මම නොසිතමි. අවරුදු 30ට පෙර තිබුණු ඒ දැවැන්ත චරිත දැන් නැති බව අපි කල්පනා කරමු. ඒ ආකාරයේ වෙනස්වීම් තුළින් අපිට බොහෝ දේවල් අනාගතයේ ඉගෙනගත හැකිය.

පළමු දේ වනුයේ මේ මතුමහල, එනම් ගරුතර සංඝරත්නය, ආගම, කලාව, සාහිත්‍ය යන ඒවාත් අවශ්‍යවේ. සමාජ ප්‍රගමණයේ දී ඒවා අයින් කළ නොහැකිය. ඒක දේශපාලනයට සම්බන්ධ නැහැ. අවශ්‍යද නැහැ හෝ දේශපාලනඥයන් පමණයි මේ සෙල්ලම කරන්නේ කියා කිව නොහැකිය.

විජේගේ ජීවිතයෙන් ඉතා පැහැදිලිවම පෙනෙනුයේ ඒ මතු මහලේ තිබෙන කලාත්මක කටයුතු සහ ඒ ක්‍රියයාවන් දේශපාලනයට අවශ්‍යම බවයි. එය දේශපාලනයටත් බලපායි. දේශපාලනයට ජනප්‍රියත්වයක් අවශ්‍යවේ. තමන්ගේ අදහස් මහජනතාව අතරට ගෙන යන්න ජනප්‍රියත්වය ඉවහල් කර ගනු ලබයි. ඒ නිසා නව සංකල්ප තුළ මතු මහල සටනට අවශ්‍යවේ.

දෙවැන්න වනුයේ, ඒ තමන්ගේ වරප්‍රපසාද හා ජනප්‍රියත්වය, හොඳ අතට, මනුෂ්‍යත්වය අතට, සමාජ ප්‍රගමනය අතට, යොමු කිරීමත් ඒ හා සමානව අවශ්‍ය වේ.

තුන්වන කාරණය එතුමාගේ පුද්ගලික චරිත ලක්ෂණයි. සියලුදෙනා කෙරෙහිම පුදුම ආදරයක්, පුදුම ආකර්ෂණයක් තිබුණු එතුමා රටේ සමගිය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට නොබියව ඉදිරිපත් විය. එම භීෂණ කාලයේ දී බොහෝ පිරිසක් ඝාතනයට ලක් විය.

ශ්‍රී ලංකාවේ මහජන පක්ෂයේ 160 ගණනක් ද, ඊට වඩා සිය ගණනක් කොමියුනිස්ට්, සමසමාජ, ශ්‍රීල.නි.ප, පක්ෂවල ද ඝාතනයට ලක්විය.

විජයගේ පුදුමාකාර පෞද්ගලික බැඳීම් ද තිබුණි. මට මතක ආකාරයට ඔහුගේ මරණ දිනයේ එක් අයෙක් ගිනි තබා ගෙන මළේය.

එබඳු පුදුම පෞද්ගලික සම්බන්ධකම් ඇති කරගැනීමට ඔහුට හැකි වුණි. මේ සමාජ සටන්වල විස්තර කියවන විට ඒවා පුදුම වැදගත්කමක් පෙන්වයි. මේ සංකල්පයන් එහෙට මෙහෙට කිරීමක් නොවේ.

මතු මහලත් අපට අවශ්‍ය වේ. පෞද්ගලික බැඳීම් ද අවශ්‍ය වේ.

මේ සියල්ලටම වඩා ඒ සඳහා කැප වූ මිනිස්සු අවශ්‍ය වේ. මිනිසත්කම හොඳයි කියා ජීවිතය ගියත් අපි වැරැදි වැඩක් නොකරන්නෙමු.

මරා දැම්මත් මේ රටේ මිනිස්සු එකට සිටිය යුතුයි කියා අපි පවසන්නෙමු. මේක දකුණේ අය කරන්නේ ද නැත. උතුරේත් එමප්‍රශ්නය ඇත.

පළමුවෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඝාතනය කළේ කොමියුනිස්ට් පක්ෂයේත් සමසමාජ පක්ෂයේත් සර්වෝදයේත් වැනි එක්ව කටයුතු කරන අයයි.

එය දකුණේ පමණක් නොව උතුරේත් එලේසම පවති.

මා පැවසීමට උත්සාහ දරන්නේ, මේ සියල්ල අවසානයේ, වැදගත් අදහසක් වෙනුවෙන් මේ අය ජීවිත කැප කළ බවයි. එතුමාගේ ඝාතනය මගින් මා කියූ දේශිය ස්වරූපය, අලුත් අදහස් සඳහා සමාජවාදී අදහස් සඳහා, සියල්ලටම වඩා සියලු දෙනා සමග සතුටින් සිටිය යුතුය යන්න සනාථ වී ඇත.

 

අදහස්