ලෝකයේ ප්‍රථම මාක්ස්වා­දියා මූසිල ද ? | සිළුමිණ

ලෝකයේ ප්‍රථම මාක්ස්වා­දියා මූසිල ද ?

වාදයක අරමුණ වන්නේ තමන් නිවැරදි බව පෙන්වීමටත් වඩා තමාට ද වැරදුණු තැනක් ඇත්නම් එය සොයා ගැනීමය. අප මිතුරන් අතර කතා බහ කරන්නේ බොහෝ විට එම අර්ථයෙනි. එනම් අපේ අදහස්වල යම් අඩුපාඩුවක් ඇත්දැයි සොයා ගැනීමටය. තමාගේ දැනුම හා අවබෝධය පිළිබඳ මේ නිහතමානීත්වය අප තුළ පැවතිය යුතු යැයි සිතමි. ඒ අනුව වරදකරුවා ගුත්තිල ද මූසිල ද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයක් දීම එතරම් පහසු නැත.

 

ලෝකයේ ප්‍රථම මාක්ස්වාදියා මූසිල යැයි සිතමි. ශිල්ප දැනුමින් එක හා සමාන බැවින් තමන්ට ද ගුරුවරයාට ගෙවන වැටුප ම ගෙවන මෙන් රජතුමාගෙන් ඉල්ලීමට තරම් ඔහු නිර්භීත විය.

තමා මේ ශිල්ප ඉගෙන ගැනීම වෙනුවෙන් ගුරුවරයාවන ගුත්තිල ඇදුරුතුමාට කිසිදු මිලක් නොගෙවූ බව එහි දී මූසිල ඇදුරුතුමාට අමතක විය. එසේ ම තමාට කිසිදු ගුරු මුෂ්ටියක් තබානොගෙන ම ගුත්තිල ඇදුරුතුමා ඉගැන්වූ බව ද අමතක විය. එහි දී නම් ගුත්තිල ඇදුරුතුමා ඉතා සමාජවාදී හා මාක්ස්වාදී බව මුසිල ඇදුරුතුමාට පමණක් නොව නූතනයේ කිසිදු මාක්ස්වාදීහෝ සමාජවාදී ඇදුරුතුමෙකුට මතක්වූයේ යැයි ද නොසිතමි.

කෙසේවුව ද මූසිල ඇදුරු මෙන් ම බඹදත් රජු ද මාක්ස්වාදියකු වූ බව පෙනෙන්නේ ගුරු - ගෝල සම්බන්ධය කුමක්වුව ද ශිල්ප එක සමානනම් එකම වැටුප ගෙවන්නට සිතා දෙදෙනා අතර වාදයක් පවතන්නට එකඟ වූ බැවිනි. රජතුමා ඉදිරියේ වාදනය කළත් ශිල්ප එකසමාන වන බැවින් එකසමාන වැටුප් ලැබියයුතු බව මූසිල කී විට රජතුමා ඒ තර්කය පිළිගත්තේය. ඒ අනුව බඹදත් රජතුමා ද මූසිලගෙන් පසුව මාක්ස්වාදී වූ බව පෙනෙයි.

කෙසේ හෝ මා මෙහි දී මාක්ස්වාදී හෝ සමාජවාදී යන්න භාවිත කරන්නේ එක්තරා සීමාවක් තුළය. එනම් යම් කෙනෙකුට ලෝකයේ හොඳ සියල්ල සමාජවාදී යන්නෙන් අදහස් වේ.

එවැනි සමහර අයට අනුව ඉහළ සමාජවාදියා යනු පස්පවින් පවා වෙන්වූවෙකි. බොරු නොකියන්නෙකි. සුරාපානය නොකරන්නෙකි. කාමයේ වරදවා නොහැසිරෙන්නෙකි. අනුන්ගේ දේ නොගන්නෙකි. පර පණ නොනසන්නෙකි.

එනම් එක් එක් අයගේ සිතිවිලි තුළ සමාජවාදියා යනුවෙන් අදහස්වන දේ වෙනස්ය. සමහර දාමරිකයන්ට අනුවනම් මාක්ස්වාදියා යනු මිනීමරන්නට නොපැකිලෙන්නෙකි. ඔවුන් මාක්ස්වාදයට ආදරය කරන එකම හේතුව එය විය හැකිය.

තවත් අයට ජාතිවාදය ද එබඳුය. එය අනුන් මැරීම සඳහා වන තමාගේ විනාශකාරී ආශාවට ලයිසන් එකකි.

කෙසේ හෝ මා මේ කියන්නට අදහස් කරන්නේ මෙහි දී මූසිල මාක්ස්වාදියකු යැයි කීමෙන් මා අදහස් කරන දෙය ඔබ මාක්ස්වාදය පිළිබඳව දරන අදහස අනුව වෙනස්වීමට ඉඩ ඇති බවය. එම වෙනස් අදහස්වලට ද ඉඩක් තිබියයුතු යැයි මම සිතමි.

ගුත්තිල ජාතක කාව්‍යය වැත්තෑවේ හිමියන් විසින් ලියනු ලැබුවේ මෙහි වරදකරුවා ගුත්තිල ඇදුරු තුමන් බව පෙන්වාඳිමට යැයි මතයක් මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ද ඉදිරිපත්කරනු ලැබිණි.

මේ හේතුවෙන් එකළ සුවිශාල වාදයක් හටගත් අතර යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මතය වැරැදි බව පෙන්වා දීම උදෙසා ඉදිරිපත්විය. අදට වුව ද මේ විවාදය වැදගත්ය.

කෙසේ වුවත් මෙහි දී නොපෙනෙන තවත් කරුණක් වේ. එනම් එකම විභාගයෙන් එකම සාමාර්ථයක් ලබා එකම පත්වීම ලබන්නන් අතර වැටුප් වෙනස් කම් අද ද පවතියි. එනම් ජ්‍යෙෂ්ඨතාව අනුව අවුරුදු පතා වැටුප් වැඩි වීමෙන් එය සිදුවේ.

ගෞරව ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබන අයෙකුගේ වැටුප එයට අවුරුදු පහකට පෙර එම දක්ෂතාව ම දක්වා පත්වීමක් ලද අයෙකුට වඩා අඩුය. ඒ වාර්ෂික වැටුප් වැඩිවීම් නිසාය. එනම් අද වුව ද වැටුප් ලබාදීමේ මිනුම දක්ෂතාව නොවේ. සේවය කර ඇති කාල සීමාව එහි දී ප්‍රධාන නිර්ණායකයකි.

මෙම අදහස ඉදිරිපත්කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ශ්‍රී රම්මණ්ඩල මහතා විසිනි. ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන වාසල මුදලිතුමන් විසින් රචිත ගුත්තිල කාව්‍ය වර්ණනා කෘතියේ 1962 4වන මුද්‍රණයට ආමුඛය ලියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්. ශ්‍රී රම්මණ්ඩල මහතා මෙම අදහස ඉදිරිපත්කර ඇත.

කෙසේ හෝ වරද මූසිල හෝ ගුත්තිල වුව ද ගුණවර්ධන වාසල මුදලිතුමන්ගේ මෙම කෘතිය ශාස්ත්‍රාභිලාෂීන් විසින් කියවිය යුතු ම තරම් වන වටිනා ග්‍රන්ථයකි. පාණ්ඩිත්‍යය යනු කුමක්දැයි යන්න හැඟීමක් ලබා ගැනීමට මෙම කෘතිය උපකාරී වේ.

වරදකරුවා ගුත්තිල ද මූසිල ද යන්න සෙවීම සම්බන්ධයෙන් මට හිතෙන කරුණක් වන්නේ වරද හා නිවැරද්ද අතර පරතරය ඉතා විශාල නොවන බවයි.

පව පිනෙන් වෙන්වන්නේ විශාල පරතරයකින් නොවන බවයි. ඒ පරතරය කෙස් ගසක් හා සමාන යැයි කිව හැකිය. එනම් කෙස් ගසෙන් පින, පවක් වීමට ඉඩ ඇත. පින් කිරීම, හරි දෙය කිරීම ඉතා අසීරුවන්නේ ඒනිසාය. එනම් තෝරාගැනීම ලෙහෙසි නොවන නිසාය. මේ නිසා බොහෝ දෙනා හරි දෙය යැයි සිතමින් වැරදි කරති. පින් යැයි සිතා පව් කරති. පින් කිරීම ඉතා ම උතුම් වන්නේ ද මේ නිසාය. එනම් පවෙන් පින වෙන් කිරීම ඉතා අසීරු වන බැවිනි.

බෞද්ධ සාහිත්‍යයට අනුව ගුත්තිල මූසිල ගැටුම එම ආත්මයට පමණක් සම්බන්ධ වූවක් නොවේ. බුදුවන ආත්මයේ දී දෙව්දත් වූයේ ද මූසිලය. එයට පෙර සේරිවාණිජ ජාතකයේ දී සේරිවාණිජ වූයේ ද මූසිලය. නොඑසේනම් දෙව්දත්ය.

සේරිවාණිජ ජාතකයේ දී රන්තලියට සේරිවාණිජ තුළ ලෝභකමක් ඇතිවීම එතරම් ම අතාර්කික නොවේ. එනම් ජාතක කතාව ආරම්භයේ දැක්වෙන අන්දමට සේරිවාණීජ හා කච්ඡුපුට යන වෙළෙඳුන් දෙදෙනා එම නගරයේ වෙළඳාමට යාමට පෙර දෙදෙනා විසින් වෙළඳමේ යන වීදි බෙදාගැනීම සිදු කරනු ලැබිණි.

මේ අනුව සේරිවාණිජ තමාගේ වීථිවල කච්ඡපුට වෙළඳාමේ එනු ඇතැයි අපේක්ෂා කළේ නැත. ඔහු රන් තලිය වටිනාකමක් නැතැයි බොරුවට විසිකර දමා ගියේ එහි නියම අගයට වඩා අඩු අගයක් ගෙවා පසුව ලබා ගැනීම සඳහාය. එසේ පසුවට ගැනීමට හැකියැයි ඔහු නිශ්චය කළේ මුලින් නගරයේ වීදි බෙදාගත් බැවින් කච්ඡුපුට එම වීථියට නොඑනු ඇතැයි ඔහු අපේක්ෂා කළ බැවිනි. වීදි බෙදා නොගත්තේනම් ඔහු එම අවස්ථාවේ ම හැකි තරම් අඩු අගයක් ගෙවා එම තළිය රැගෙන යාමට ඉඩ තිබිණි. අනෙක් අතට කච්ඡපුට ද නීතිය කැඩුවේ යැයි කීමට ද අපහසුය. එනම් ඔහු සේරිවාණීජ වෙළඳාමේ ගිය වීදිවලට ගියේ සේරිවාණිජ එම වීදිවල වෙළඳාම අවසන් කිරීමෙන් පසුවය. සේරිවාණිජ මෙබඳු කපටිකමක් කර ගොස් ඇතැයි ඔහු දැන සිටියේ නැත. එහෙත් වීදි බෙදාගැනීම අනුව සේරිවාණිජ කච්ඡපුට එම වීදිවලට එතැයි අපේක්ෂා නොකිරීම ද වැරැද්දක් නොවේ. එනම් රන් තලිය තමාගේ යැයි සිතා ගැනීමට යම් පදනමක් සේරිවාණිජට ඇත. එනම් පව හා පින අතර වෙනස එතරම් විශාල නොවේ. සියුම් ව ඉවසීමෙන් වෙන්කර නොගත්තොත් අමාරුවේ වැටේ.

සේරිවාණිජ ආත්මයෙන් ආත්මයට ඉදිරියට ගෙන ආවේ එම රන්තලියේ ලෝභයයි. පන්සිය පනස් ජාතක පොත අනුව මූසිල කතාව මේ සන්දර්භය තුළ ද අර්ථ දැක්විය යුතුය. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් ගුත්තිල විචාරය කෘතියෙන් මේ බව දක්වා ඇත.

කෙසේ හෝ මෙවන් කරුණක් ගැනෙ ෆේස්බුක් වැනි මාධ්‍ය ඔස්සේනම් වාදකිරීමඅපහසු යැයි සිතමි. ඒවායේ සිටින්නේ බොහෝ විට‘සියල්ල දත්’අය බැවිනි.

වාදයක අරමුණ වන්නේ තමන් නිවැරදි බව පෙන්වීමටත් වඩා තමාට ද වැරදුණු තැනක් ඇත්නම් එය සොයා ගැනීමය. අප මිතුරන් අතර කතා බහ කරන්නේ බොහෝ විට එම අර්ථයෙනි. එනම් අපේ අදහස්වල යම් අඩුපාඩුවක් ඇත්දැයි සොයා ගැනීමටය. තමාගේ දැනුම හා අවබෝධය පිළිබඳ මේ නිහතමානීත්වය අප තුළ පැවතිය යුතු යැයි සිතමි. ඒ අනුව වරදකරුවා ගුත්තිල ද මූසිල ද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයක් දීම එතරම් පහසු නැත.

වරදකරුවා පිළිබඳ ව අවසන් නිගමනයක් දෙන යම් අයකු වේනම් ඔහු වරදකරුවකු යැයි මට සිතේ.

 

අදහස්