ජන­තාව අත­හැර දූෂ­ණය වැලඳ­ගත් සූමා ඉති­හා­සයේ කසළ බඳු­නට | සිළුමිණ

ජන­තාව අත­හැර දූෂ­ණය වැලඳ­ගත් සූමා ඉති­හා­සයේ කසළ බඳු­නට

“අප රට මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝග වන්නේ අපරාධ විරැකියාව හා දූෂණයයි.“ - නෙල්සන් මැන්ඩෙලා

වර්තමාන ලෝකයේ දේශපාලනඥයන් බහුතරය අවබෝධ කර නොගන්නා මූලිකම කරුණ වන්නේ දේශපාලනය ජනතා මෙහෙවර උදෙසාය යන්නයි. ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ ජනතා අභිලාෂයන් පසෙකලා ස්වාර්ථය හා හුදු පෞද්ගලික අරමුණු කරා යොමුවන්නේ නම් ඔවුන් කොතරම් බලවත් වුවද අනිවාර්යයෙන් පැවැත්ම කෙටිකාලීන වෙයි. ඉතිහාසය යළි යළිත් මේ බව පසක් කරයි. පිලිපීනයේ මාකෝස් ටියුනීසියාවේ බෙන් අලී, රුමේනියාවේ නිකොලායි චව්වෙස්කු ආදී රාජ්‍ය නායකයන් ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

දේශපාලනය හා දුෂණය යන මාතෘකාව ඉකුත්දා යළි අන්තර්ජාතික ප්‍රවෘත්ති කරළියට වඩාත් සංවාදශීලී ලෙස පැමිණියේ දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ ඇදවැටිමත් සමගයි. පක්ෂයෙන් හා ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ ජනාධිපති පදවියෙන් ඉවත් වීමට අකමැත්තෙන් හෝ ඔහුට සිදුවිය. දකුණු අප්‍රිකාවේ සිනාසෙන මිනිසාගේ දේශපාලනික භූමිකාව ඒ ආකාරයෙන් නිමාවට පත්විය. එහෙත් ඉතිරි වූ ප්‍රශ්ණවලට තවමත් විසදුම් සෙවීමේ ක්‍රියාවලිය අවසන් නැත. සූමාගේ පාලන සමයේ ක්‍රමයෙන් ගරා වැටුනු දකුණු අප්‍රිකානු ආර්ථිකය යළි නගාසිටුවීමේ අභියෝගය නව පාළනය හමුවේ පවති.

ජේකොබ් සූමා රටටත් ලෝකයටත් මෙතරම් අප්‍රිය වූයේ ඇයි. එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදි හිටපු ජනාධිපති සූමාගේ අතීතය වෙත යොමුවීම බෙහෙවින් වැදගත් වේ.

ජේකොබ් සුමා යනු දකුණු අප්‍රිකාව වර්ණබේද වාදයෙන් හා සුදු ජාතික අන්තවාදී සුළුතරයෙන් මුදාගෙන් බහුතර කළු ජාතික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන්කළ නායකයෙකි. එම කාර්යභාරය සදහා තම දිවි කැපකළ ශ්‍රේෂ්ඨතම දකුණු අප්‍රිකානු නායකයා ලෙස නෙල්සන් මැන්ඩෙලා සදාකාලික පුජනීයත්වයට පත්ව තිබේ. බොහෝ දකුණු අප්‍රිකානුවන්ගේ මුදුන් මල්කඩ ලෙස මැන්ඩෙලා ඔහුගේ මරණයෙන් පසුව අදටත් උපහාර ලබයි.

මැන්ඩෙලා මෙන්ම ජෙකොබ් සුමාද දකුණු අප්‍රිකානු නිදහස් අරගලය වෙනුවෙන් තම තරුණ විය කැපකළ අයෙකි. ඔහු ක්‍රියාකාරි දේශපාලනයේ යෙදීම හා සුදු ජාතික ආන්ඩුවට එරෙහිව තම අයිතින් උදෙසා කළු ජාතිකයන් පෙළඹවීම හා පෙළගැස්වීමෙ නිසා 1960 දශකයේදි මුල්වරට සිරබත් කෑමට සිදුවූ නායකයෙකි. අනතුරුව තම ආරක්ෂාව පතා රටින් පළායාමට ජේකොබ් සූමාට සිදුවුයේ අප්‍රිකාණු නිදහස් ව්‍යාපාරයේ පෙරමුණගත් අයට එරෙහිව එම යුගයේ නිර්මාණය වී තිබූ බිහිසුණු අනතුරුදායක වාතාවරණයයි.

ජෙකොබ් සුමා යනු ඉතා වේගවත් හා උද්යෝගිමත් ක්‍රියාකාරියෙකි. දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යාපාරයේ තිඹිරිගෙය බදු පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය වෙනුවෙන් තරුණ අවධියේදී සූමා ඉතා පුළුල් අන්දමින් සිය දිවිය කැපකළ අයෙකු බව ඉතිහාස වාර්තා මඟින් සනාථ වෙයි. ඔහු ඉතා වැදගත් භූමිකාවක් ඉටුකළේ සමාජ තලයේ ඉතා පහළ බිම් මට්ටම් වෙත යොමුවී කළු ජාතික අයිතින් සදහා එම පසුගාමි ජනකොටස් මෙහෙයවීම සදහා ගෙන ගිය වැඩපිළිවෙළ මගිනි.

සූමාගේ ජන්මය හා ඔහුගේ උපන් බිම මේ කාර්යභාරය සදහා ඔහුට ඉතා වාසිදායක වාතාවරණයක් නිර්මාණය කලේය. ජේකොබ් සුමා යනු දකුණු අප්‍රිකාවේ ඉතා දිළිදු කලාපයක් ලෙස සැළකෙන ක්වාසූලු නතාල් ප්‍රෙද්ශයේ උපත ලැබූ නායකයෙකි. ඔහු තම දිවියේ මුල් අවධිය ගතකළේ අතිශයින් පීඩිත හා අයිතින් පාගා දමනු ලැබූ ජනකොටස් අතරයි. සූමාට ඉතා පහසුවෙන් එම ජනකොටස් අතරට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ පණිවුඩය ගෙනයාමට හැකිවූයේ ඔහු ඉතා නිහතමානි හා මිත්‍රශීලී බවක් උරුම කරගත් නායකයෙකු නිසාවෙනි. නිතරමට මුව විදහා සිහන පාන මේ ක්‍රියාකාරියා දිළිදු ජනතාවගේ වීරයකු බවට කෙටි කළකදී පත්විය. විදෙස්ගතව සිට නැවතත් දකුණු අප්‍රිකාවට පැමිණීමට සූමාට හැකිවන්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නොසැලකීමට අවසන් සුදු ජාතික පාලනය වූ ජනාධිපති එෆ් ඩබ්ලිව් ඩී ක්ලර්ක්ගේ ආණ්ඩුව පියවර ගැනීමත් සමගයි. 1994 එරට ප්‍රථම නිදහස් මහමැතිවරණයෙන් ජය ලැබූ අප්‍රිකානු ජාතික කොංග්‍රස් ආණ්ඩුවේ ඇමති පදවියක් සුමාට හිමිවු අතර අසහාය නායක නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති පදවියට පත්වෙද්දී ජේකොබ් සූමා ට විශාල කාර්යභාරයක් පැවරුණේ ප්‍රචණ්ඩත්වය දරිද්‍රතාව හා නූගත්කමින් පීඩිත දකුණු අප්‍රිකානුවන් අතර සාමකාමි සහජීවනයේ පණීවුඩය ව්‍යාප්ත කිරීම සදහායි. මෙහිලා සූමාට වඩාත් හොද පසුබිමක් නිර්මාණය වී තිබුණේ ඔහු දකුණු අප්‍රිකාවේ දිළිදුතම හා ප්‍රචණ්ඩතම කලාපයක් වූ ක්වාසූලු නතාල් ප්‍ර දේශයෙන් පැවත එන්නෙකු වීම නිසාය. ඒ නිසාම ලක්ෂ සංඛ්‍යාත දිළිදු ජනතාව අතර ජෙකොබ් සුමාට විශාල පිළිගැනීමක්ද විය.

ජනතා වීරයා පසුකාලීනව ජනතා ද්‍රෝහියෙකු වූයේ කෙසේද. 2009 වසරේ මහජන ඡන්දයෙන් ජනාධිපති පදවියට පත්වන සූමා එම ජයග්‍රහණය ලබාගත්තේ පක්ෂයේ පුළුල් සහයෝගයක් නොමැතිව වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් සුමා යනු ද්විත්ව පුද්ගලානුරූප චරිතයකට හිමිකම් කියන පුද්ගලයෙකි. ඔහුගේ එක් මුහුණු වරක් වන්නේ ජනතා සේවය සදහා කැපවුණු නිදහස් වීරයෙකුගේ භූමිකාවයි. එහෙත් ඔහුගේ චරිතයේ අදුරු පැත්ත වරින්වර ඉස්මතු වුවද ජනතා ප්‍රතිරූපය තුළින් එම කළු චරිතයේ සැබෑ මුහුණුවර වසාගෙන ඉදිරියට යාමට සූමා සමත්වූයේ ඔහු සූක්ෂම දේශපාලනඥයෙකුද වූ බැවිනි. එහෙත් නීතියේ දිගු හස්තයෙන් සූමාට ගැලවීමක් නොවීය.

ජෙකොබ් සුමාට එරෙහිව නිල වශයෙන් ගොනුවී තිබු වංචා හා දූෂන චෝදනා සංඛ්‍යාව 700 ඉක්මවයි. ඔහුට එරෙහි චෝදනා අතරින් මුල්තැනක් ගන්නේ දේශපාලනික ආධාර වශයෙන් බහුල ලෙස අල්ලස් ලබාගැනීම හා ඒවා පෞද්ගලික පරිහරණය සදහා යෙදවීම, ප්‍රංශ අවි සමාගමකට දකුණු අප්‍රිකානු අවි ටෙන්ඩර ලබාදීම සදහා අල්ලස් ගැනීම, රටේ ආර්ථිකය ගුප්තා නැමති ව්‍යාපාරික පවුලකට ඇවැසි පරිදි හැසිරවීමට ඉඩ සලසමින් අයථා ලෙස මුදල් රැස් කිරීම, මුදල් විශුද්ධිකරණය, වංචනික ලෙස හුවමාරු කිරීම හා ස්ත්‍රි දූෂණ චෝදනා පවා ජෙකොබ් සුමාට එරෙහිව ගොනුවී තිබිණ. තමා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ක්වාසුලු නතාල් ප්‍ර දේශයේ ජනතාවට ජලය ලබාදෙන ව්‍යාපෘතියක මුවාවෙන් තම උපන්ගමෙහි අතිශය සුඛෝපබෝග මන්දිරයක් තැනීම හා ඒ වෙනුවෙන් කොන්ත්‍රාත් ලබාදුන් ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලබාගැනීම යන චෝදනාවද ඔහුට එරෙහිව නගා තිබිණ. සූමා වෙනුවෙන් මුදල් රැස්කිරිම පැවැරී තිබුණේ ඔහු ගේ මුල්‍ය උපදේශක ශබීර් ෂලික්ට බව පැහැදිලි වෙයි.

දේශපාලනය හා සමගාමීව වංචා හා දූෂණ වල නිරත වුවද සූමාගේ ප්‍රතිරූපයට බරපතළ හානියක් සිදුවී නොතිබූයේ ජනතාව අතර ඔහු ඇතිකරගත් පිළිගැනීම හා මහජන සබදතාවන්හි ස්වරූපය නිසාය. මේ නිසා ඇතැමි චෝදනා අධිකරණය හමුවට නොපැමිණ නිහඩ වු අවස්ථා බහුලව දක්නට ලැබිණ. ඇතැම් චෝදනා අධිකරණයේද් ඉවත්කරගනු ලැබීය. එහෙත් සුමා ගේ මුල්‍ය උපදේශක ෂලික් විවෘතවම සුමා සදහා මුදල් රැස්කරමින් සිටියදි හසුවු විට එහි ප්‍රතිළුලයක් ලෙස 2005 වසරේදී සුමා උප ජනාධිපති පදවියෙන් ඉවත් කිරීමට එවකට සිටි ජනාධිපති තාබෝ එම්බෙකි පියවර ගත්තේය. එහෙත් 2007 වනවිට තම ජනප්‍රියත්වය යලි ගොඩනගාගත් සුමා පක්ෂ නායකත්වයට තරග කොට එම්බෙකි පරදවා නායකත්වය දිනාගත් අතර 2009 වසරේ පැවති ජනාධිපතිවරණයෙන්ද ජය ලැබීය.

ජනාධිපති පදවිය ලැබු පසු ඔහුට එරෙහි චෝදනා මදක් යටපත් වූ ස්වරූපයක් පෙන්නුම් කළද සුමා දිගින් දිගටම තම පුරුදු ක්‍රියාවලියේ යෙදීම නිසා 2017 වනවිට ඔහුට එරෙහිව අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුලින්ම හඩක් නැගින. පසුගිය සතියේ ජනාධිපති පදවියෙන් ඉවත් වීමට ඔහුට සිදුවුයේ පක්ෂයේ හා ජනතා විරෝධතා උත්සන්න වීම හේතුවෙනි.

ජනාධිපතිවරයා සිතු සේ මෙහෙයවීමට සමත් වූ ඉන්දිය සම්භවයක් සහිත ගුප්තා ව්‍යාපාරික පවුල රාජ්‍ය ආයතන වල ඉහල තනතුරු සදහා තම සේවකයන් පත්කර, රජයේ කොන්ත්‍රාත් මෙහෙයවමින් හා ආර්ථික කටයුතු වලදී ඉතා වාසිදායක තත්ත්වයක් නිර්මාණයක කරගනිමින් රැන්ඩ් කෝටි සිය ගනන් අයථා ලෙස ඉපැයීමට සමත්ව සිටි බව වාර්තා වේ. ගුප්තාවරු කොතරම් බලවත්ව සිටියේදැයි කිවහොත් දකුණු අප්‍රිකාවේ වැදගත් ගුවන් කදවුරකට පෞද්ගලික ගුවන්යානාවක් ගොඩබස්වා එහි පැමිණි අමුත්තන්ද පෞද්ගලික විවාහ මංගල උත්සවයකට රැගෙන ගිය බවට චෝදනා තිබේ.මේ සදහා ඔවුන් තනිකරම යොදාගෙන තිබුනේ ජනාධිපති සුමා හා ගුප්තා පවුල අතර තිබු සබදතාවයි.

ඉහගෙන කමින් දූෂණයේ යෙදීමට උත්සුක වු සූමාට පදවිය හැරයන්නට සිදුවන්නේ ඔහුගේ නිල කාලය අවසන් වීමට වසරකට අධික කාලයක් පවතින අවස්ථාවකයි. එහෙත් ඔහුගේ විශ්‍රාම දිවිය එතරම් සතුටුදායක විය නොහැක්කේ පවතින දුෂණ නඩු විභාග හේතුවෙනි.

මේ නිසා සුමා රටින් බැහැරව යනු ඇතැයි පුළුල් විශ්වාසයක් පවතී. අප්‍රිකාන ජාතික කොංග්‍රසයද එය වැළැක්විමට ඉදිරිපත් වන බවක් නොපෙනේ. ඒ මන්ද සුමා අධිකරණයට කැදවීම අප්‍රිකාණු ජාතික කොංග්‍රසයටද අපකීර්තියක් විය හැකිය යන ආකල්පය නිසාවෙනි. එහෙත් නව ජනාධිපති සිරිල් රමපෝසා ලබාදුන් මුලික පොරොන්දුව දූෂණයට වැට බැදීමවයි. එය ප්‍රාෙයා්ගිකව ඉටු කිරිමට නව නායකයා කොතරම් දුරට සමත්වේද යන්න ප්‍රශ්නයකි.

 

අදහස්