ආප­දා­වට පෙර සූදා­න­මක් | සිළුමිණ

ආප­දා­වට පෙර සූදා­න­මක්

අචාර්ය නිෂාර ප්‍රනාන්දු අධ්‍ය­ක්ෂ‍ක සමාජ ප්‍රති­පත්ති විශේ­ෂණ හා පර්යේ­ෂණ කේන්ද්‍රය කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය

නායයාමෙන් සිදුවන ජීවිත හා දේපල හානිය දෙවෙනි වන්නේ ගංවතුර ආපදාවට පමණක් වන අතර වැඩිමනත්ම ලංකාවේ මධ්‍යම කදුකරයට අයත් භූමි ප්‍රදේශයන්ගෙනි. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් 2012 නිකුත් කල වාර්තා අනුව ශ්‍රි ලංකාවේ ප්‍රදේශයන්ගෙන් 20% පමනම නායයාමෙ තර්ජනයට මුහුනපා සිටියි.

ශ්‍රී ලංකාව විවිධ ස්වාභාවික ආපදාවලට මුහුණ දී ඇති බව නොරහසකි . විශේෂයෙන් 2004 ඉන්දීය සාගරයේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ඇති වූ විපත අපට අමතක කළ නොහැකිය. එපමණක් නොව ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශ ගංවතුර,නායයෑම්, සුළි සුළං මෙන්ම නියං තත්ත්වයන්ගෙන්ද පීඩා විඳී.මෙහිදි වඩාත් අවධානය යොමු කළයුතු කරුණ නම් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් 1990 සිට 2017 කාලයේ නිකුත් කර ඇති සංසන්දනාත්මක වාර්තා වලට අනුව ඉහත දැක්වූ ආපදාවන්වල වැඩි වර්ධනය වීමක් සිදුවීමය. එමෙන්ම ඒවායින් ජීවිත හා දේපල වලට සිදුවී ඇති හානියද ඉහළ යෑමයි. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ 2012 වාර්තා අනුව ගත් විට 2003 වසරෙන් පසු මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ .

මේ ආපදාවන් අතුරින් ගංවතුර වඩාත් පීඩාකාරී මෙන්ම සෑම වසරකම ජන ජීවිතයට බලපෑම් ඇති කරන ආපදාව බවට පත් වී ඇත. වාර්තා වලට අනුකූලව ශ්‍රි ලංකාවේ භූමියෙන් ගංවතුර තර්ජනයෙන් පූර්ණ වශයෙන් නිදහස් යැයි කිවහැක්කේ කුඩා භූමි ප්‍රමාණයක් පමණි. ගංවතුර තර්ජනයෙන් වැඩි වශයෙන්ම පීඩා විදින දිස්ත්‍රික්ක ලෙස ඉහළ වර්ෂාපතනයක් වාර්ෂිකව ලබන කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක හදුනාගත හැකිය.( DMC , 2012). ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2012 නිකුත් කළ වාර්තා අනුව 1974 ත් 2004 ත් යන කාල පරාසයේ පමණක් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රමාණය තිස් ලක්ෂයක් පමණ වේ.

නායයාමෙන් සිදුවන ජීවිත හා දේපල හානිය දෙවෙනි වන්නේ ගංවතුර ආපදාවට පමණක් වන බහුතරයක් ලංකාවේ මධ්‍යම කදුකරයට අයත් භූමි ප්‍රදේශයන්ගෙනි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2012 නිකුත් කළ වාර්තා අනුව ශ්‍රි ලංකාවේ ප්‍රදේශයන්ගෙන් 20% පමණම නායයාමෙ තර්ජනයට මුහුනපා සිටියි . ඒ අතරින් බදුල්ල, නුවරඑළිය, මාතලේ , නුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල,මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක නායයෑම් ආපදාවට වඩාත් නැඹූරුතාවක් දක්වයි.ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ 1975 සිට 2011 දක්වා දත්ත අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ ඉහත සෑම වසරකදීම පුද්ගල මරණ 108 කට ආසන්න සංඛ්‍යාවක් නායයෑම් 24 ක් මගින් සිදුවී ඇති බවයි. කෙසේ එහෙත් මෑත කාලීනව බලන විට මේ මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් ඇති බව පෙනී යයි. 2014 වර්ෂයේ මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයාමෙන් මෙන්ම 2016 අරණායක නායයාමෙන් ද සියයකට අධික සංඛ්‍යාවක් ජීවීතක්ෂයට පත්ව එයට සමාන සංඛ්‍යාවක් අතුරුදන් විය. මේ නිසා අපදාවට පෙර සූදානමක් වීම හෝ එය වැළැක්වීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මෙවැන්නකට පෙරමුණ ගැනීමට සාමාන්‍ය මහජනතාවට නොහැකිය. මේ නිසා විද්වත් කණ්ඩායමක මඟ පෙන්වීම මේ සඳහා අවශ්‍ය වේ. මේ නිසා විශ්වවිද්‍යාලීය විද්වතුන් පිරිසක් මේ සඳහා සම්බන්ධ කරගැනීමට අවධානය යොමු කර ඇත. මේ පිරිස ASCENT ව්‍යාපෘතිය මඟින් සම්බන්ධ කරගනු ලැබීය. ඊට හේතු වූ අරමුණු කීපයකි.

1. 2016- 2019 වසර තුන තුළ ආසියවේ (ශ්‍රි ලංකාව, තායිලන්තය, හා බංගලිදේශය) උසස් අධ්‍යාපන ආයතන වල පර්යේෂණ හා නවෝත්පාදන ශක්‍යතා අවශ්‍යතාවයන් හඳුනාගැනීම.

2. එම ආයතනයන්හි පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කීරිම

3. උසස් හා අන්තර්ජාතික මට්ටමේ අන්තර් විෂයානුබද්ධ පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු සදහා ආචාර්යවරුන් බලගැන්වීම.

4. ආපදා කළමණාකරණය සම්බන්ධ පර්යේෂණ හා නවෝත්පාදන ක්‍රියාදාමයන් පිළිබඳ අන්තර්ජාතික අත්දැකීම් හුවමාරු කරගැනීමට ඉඩ සැලැසීම.

5. තෝරා ගත් උසස් අධ්‍යාපන ආයතන හා ආපදා කළමනාකරණයට ආදාළ වන කර්මාන්ත සමඟ ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කිරිම සඳහා ඉඩ සැලැසීම.

6. මෙම පර්යේෂණ හා ක්‍රියාවලින්ගේන් මතුවන සොයාගැනීම් සාමාන්‍ය ජනතාව සමඟ හුවමාරු කරගැනීම හරහා ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ මහජනතාව ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කරගැනීමට ඉඩ සැලැසීම.

ඉහත අරමුණු ළඟාකරගැනීම උදෙසා ASCENT ව්‍යාපෘතිය මඟින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති අතර ඒ අනුව 2016 තෝරාගත් උසස් අධ්‍යාපන ආයතනවල ජ්‍යෙෂ්ඨ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින්, ආපදා කළමණාකරණය හා සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ප්‍රධානීන් සමඟ පවත්වනු ලැබු සම්මුඛ සාකාච්ඡා හා ප්‍රශ්නාවලියක් පදනම් කරගනිමින් උසස් අධ්‍යාපන ආයතන වල පර්යේෂණ හා නවෝත්පාදන අවශ්‍යතාවයන් හඳුනාගැනීම සිදු කළේය.

2017 සැප්තැම්බර් මසදී විශ්ව විද්‍යාල කනිෂ්ඨ ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින්ගෙන් ප්‍රශ්නාවලියක් භාවිතා කරමින් පර්යේෂණ හා නවෝත්පාදන ක්‍රම පිළිබඳව ඇති දැනුම සම්බන්ධව තොරතුරු එක්රැස් කරනු ලැබුණු අතර එම දත්ත විශ්ලේෂණය කීරිමෙන් අනතුරුව ජාතික මට්ටමේ වාර්තාවක් සකස් කරන ලදී.

එලෙස සකස් කරන වාර්තාවේ කරුණු පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උදෙසා පර්යේෂණ පුහුණු සැසි මාලාවක් ආරම්භ කෙරුණි. එහි පළමු පියවර ලෙස 2017 පෙබරවාරි මසදී රුහුණු විශ්වවිද්‍යාලයේදී ව්‍යාපෘතිය සම්බන්ධ දෙස් විදෙස් සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වුහ.පස්දින පුහුණු වැඩමුළුවක් පැවැත්වුණු අතර එහිදී ආපදා කළමනාකරණ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි ජගත් කීර්තියට පත් පර්යේෂකයින් රැසකගේ දායකත්වය ඊට ලැබිණි. මේ වැඩමුළු මාලාවේ දෙවන පියවර තායිලන්තයේ නරේසුවාන් විශ්වවිද්‍යාලයේදී පැවැති අතර එහි පර්යේෂණ විශ්ලේෂණ ක්‍රියාදාමයන් පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පුහුණුවක් ලබා දීම සිදු විය. එසේම ගංවතුර ආපදා අවම කීරිම සඳහා තායිලන්ත ආපදා කළමනාකරණ ආයතන භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක්ද එහිදි සැලැසීය.

මේ වැඩසටහන් මාලාවේ තුන්වැන්න 2018 වසරේ මැයි මාසයේදී තායිලන්තයේ චියෑං මායි විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම වැඩමුළුවට සම්බන්ධ විශ්වවිද්‍යාල සියල්ලේම ආචාර්ය මණ්ඩල සමාජිකයින් සියයකට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එම වැඩමුළුවේ අන්තර්ගතයට විශ්වවිද්‍යාල ජාත්‍යන්තරීකරණය පර්යේෂණ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයාගැනීම මෙන්ම අන්තර් විෂයානුබද්ධ පර්යේෂණවල වැදගත්භාවය ඇති කාලීනව වැදගත් මාතෘකා රැසක් අයත්වේ. දින පහක කාලයක් පුරා මේ වැඩමුළුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

ව්‍යාපෘතියේ අවසාන අදියර 2019 වර්ෂයේ මුල් කාර්තුවෙදී ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එහිදි ව්‍යාපෘතිය මඟින් එක්රැස් කරගත් දත්ත අනුකූලව සැකසු ව්‍යාපෘති වාර්තාවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ හුවමාරු කරගැනීමක් ව්‍යාපෘතිය මඟින් පර්ශවකාර උසස් අධ්‍යාපන ආයතනවල පර්යේෂණ හා නවෝත්පාදන යටිතල පහසුකම් නැංවීම, පර්යේෂණ දැනුම වැඩිදියුණු කීරිමට අන්තර් විෂයානුබද්ධ පර්යේෂණ දැනුම වැඩිදියුණු කීරිමට හා විශේෂයෙන්ම ඉහත පර්යේෂණ හා නවෝත්පාදන වැඩි වර්ධනය කීරිම හරහා ආපදා කළමනාකරණය, ආපදා අවම කරගැනීම හා ප්‍රතිස්ථතිය හා සම්බන්ධ පර්යේෂණවල උන්නතිය උදෙසා ව්‍යාපෘතිය මඟින් සිදුකර ඇති කාර්යභාරය විශ්ලේෂණයට ලක්කීරිමද සිදුවෙනු ඇත. එසේම එම පාර්ශවකාර ආයතනවල ආපදා කළමනාකරණය හා සම්බන්ධ පර්යේෂණවල ඉදිරි දැක්ම හා සැලැසුම් යනාදියද පිළිබඳව මෙහිදි සාකච්ඡා කීරිමට නියමිතය.

ASCENT ව්‍යාපෘතියට විශ්වවිද්‍යාලයන්ට සම්බන්ධ වීමට ඉඩලැබීම එම උසස් අධ්‍යාපන ආයතන්හි දියුණූව කෙරෙහි ඉතා ඉහළ බලපෑමක් කර ඇති බව ව්‍යාපෘතියට සහභාගි වු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ අදහසයි. මූලික වශයෙන් ASCENT ව්‍යාපෘතිය හරහා දේශිය විශ්ව විද්‍යාලවලට ජාත්‍යන්තර කීර්තියට පත් ඉතා ඉහළ පර්යේෂණ පරිචයකින් යුත් විදේශ විශ්වවිද්‍යාල රැසක් සමඟ අන්තර්සබඳතා ගොඩනඟා ගැනීම සඳහා පිටුවහලක් වු බව පෙන්වා දෙන ඔවුන් ඒ හරහා තම විශ්වවිද්‍යාලයන්හි ජාත්‍යන්තරීකරණය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉතා ප්‍රබල සහයෝගයක් ලැබුණු බව දක්වා සිටිති. මෙලෙස ඔවුන් ගොඩනඟාගත් සම්බන්ධතා භාවිතා කරගනිමින් මේවන විටත් දේශිය විශ්ව විද්‍යාලවල කිහිපයක්ම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ නව පර්යේෂණ ව්‍යාපෘතිය කිහිපයක් සඳහාම ගිවිසුම් සකස්කරමින් සිටින අතර අනාගතයේදි ආචාර්යමණ්ඩල හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කීරිමට එකඟතාවයන්ට පැමිණ ඇත.

එසේම පර්යේෂණ හා තාක්ෂණික වශයෙන් දියුණු යුරෝපීය විශ්වවිද්‍යාලයන්හි ජාත්‍යන්තර කීරිතියට පත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ පර්යේෂණ අත්දැකීම් නව තාක්ෂණික ක්‍රමවේද ආදිය ASCENT ව්‍යාපෘතිය හරහා උකහා ගැනීමට ඉඩ සැලැසීම හේතුවෙන් මෙරට ආපදා කළමනාකරණය හා සම්බන්ධ පර්යේෂණ කටයුතු වඩා යාවත්කාලීන කිරිමට මෙන්ම ජාත්‍යන්තර පර්යේෂණ ප්‍රමිතීන්ට අනුකූල කරගැනීමට ද ඉඩකඩ සලසා තිබේ. මේ ව්‍යාපෘතිය මඟින් අන්තර්විෂයබද්ධ පර්යේෂණවල වැදගත්භාවය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම පුළුල් වේ. එය ද පොදුවේ ජනතාවට කරනු ලබන යහපතකි. විශේෂයෙන් සමාජීය විද්‍යා ස්වාභාවික විද්‍යා ගුරු කුලයක් වන අතර එකිනෙක පර්යේෂණ ක්‍රමවේදවල ගුණාත්මකභාවය එකිනෙකට වෙනස්ය. මේ නිසා මේ පිළිබඳ ඇති ගැටුම් සමනය කිරීමට ද මේ ක්‍රමවේදය වඩාත් උචිත වේ. මේ නිසා මෙවැනි ව්‍යාපෘතියක වටිනාකම දැනුයේ අදට නොව හෙටය.

 

අදහස්