බෙත්මෙ වලව්වේ ඉරණම | සිළුමිණ

බෙත්මෙ වලව්වේ ඉරණම

බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට අවසන් කොටස...

මෙතෙක් කතාව...

බෙත්මේ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' ගණවොලින් නමිනි. මොලමුරේ පෙළපත පැවතෙන්නේ එහිමියන්ගේ සොහොයුරුට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ලැබුණු 'මුලමොර' ගම්වරය නිසාය. රජුගේ ආරාධනයෙන් 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහාස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදි. රජු විසින් වැලිවිට සරණංකර හිමියන් වෙත සංඝරාජ පදවියද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය සහ වැලිවිට සරණංකර හිමියන් ඇසුරේ දැක්වූ දක්ෂතාවලට පැසසුමක් ලෙස තඹ සන්නසකින් සිරි සමනොළ ගල විහාරාධිපති පදවිය ද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්ලා සිරිපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එහි පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ සටහන් අවම වුවත් වෙනත් භාෂාවලින් ඒවා ලියැවී තිබේ. බොහෝ රජවරුන්ද සිරිපතුල නැමදීමට පැමිණ කළ විවිධ පූජා පිළිබඳ ඉතිහාස සාක්ෂිි දරයි. ඒ බෞද්ධයන්ගෙන් සිරිපා පාලනය ගිලිහුණේ 1581දීය. යළි ලබාගත් පාලනය සදහා නාහිමිවරුන් පත් කිරීමේ කාර්යය පිළිබඳ විවිධ මත පළ වුවද ජෝර්ජ් ටර්නර් වාර්තාවෙන් ඒ පදවිය සපරගමුවේ පදිංචි මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලැබූ වේහැල්ලේ පරපුරට හිමි විය යුතු බව තහවුරු කෙරිණි. කෙසේ වුවද අක්තපත්‍ර භාරදීම සහ ඒවා අවමත කිරීමේ බලය හිමි වන්නේ රජයටය

දහසකුත් එකක් බාධක බලපෑම් අබිබවා වේහැල්ලේ පරපුර යළි හිමි කරගත් ශ්‍රීපාද නායකධුරය අද දරන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ය. මේ පදවිය ලංකාව තුළ ජීවිතාන්තය දක්වා පවතින පදවි අතරින් එකකි. උන් වහන්සේ මේ පදවියට උරුමකම් දරන්නේ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ට මෙන්ම බෙත්මේ වලව්වට ඇති නෑ සබඳකමක්ද සමඟය. එයින් ප්‍රකට වන කරුණ නම් අදටත් සිරිපා පියුම රැකගැනීම සඳහා වේහැල්ලේ පරපුරට පැවරී ඇති අයිතිය සහ වගකීම වෙනස් වී නැති බවය.

ශ්‍රීපාද පද්මය හා ඒ ආශ්‍රිත කරුණු අපට ඕනෑ තරම්ය. එහෙත් වේහැල්ලේ තෝරපිටියේ ශ්‍රී වේළුවනාරාමස්ථ සඟ පරපුර හා එම විහාරය පිළිබඳ කරුණු සොයන්නකුට ඒ සඳහා මූලාශ්‍ර‍ය සොයාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නායක මහස්ථවිරයන් වහන්සේ සිය පරපුරේ මූලස්ථානය සතු ඓතිහාසික වැදගත්කම ලොවට දැන්වීම වෙනුවෙන් ශාස්ත්‍රොදය ග්‍රන්ථ මාලා අංක 70 යටතේ 1975දී සංග්‍රහ කළ 'වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න ස්වාමීන්ද්‍ර ශාසන ඉතිහාසය' ප්‍රධාන තවත් පොත් පත් අතළොස්සක ඇති කරුණු හැරුණු විට මේ තොරතුරු සොයාගැනීමට මහත් වෑයමක් දරන්නට සිදු වන බව නියතය. උන් වහන්සේ වේළුවනයට වැඩි අවස්ථාවේ පැවැති ආකාරය පිළිබඳ පොතේ සඳහන් වන්නේ මෙසේය...

'අප කැඳවාගෙන යාමට එවා තිබූ මාර්ගදේශකයනුත් සමඟ දික්වැල්ලෙන් හැරී මඟ දෙපස වැවී තිබෙන පලතුරු ගස් අතරින් හා නිල්වන් වෙල්යායවල් මැදින් වැටී ඇති ශ්‍රී ධම්මදින්න මාවත දිගේ සැතැප්ම කාලක් පමණ දුර ගමන් කරන විට පාරේ වම් පස ක්‍රමයෙන් නැඟී යන රමණීය භූමි භාගයක පිහිටි විහාරස්ථානයේ කීර්තිය අහස දක්වා විදහා පෑමක් වැනි කිරි පාටින් බබළන තිස්පස් රියන් උස චෛත්‍ය රාජයාණන් පිරිවර කොට ඇති විශාලතම ගොඩනැඟිලි රාසියකින් යුත් ඒ ඓතිහාසික ශ්‍රී වේළුවන මහා විහාරය දුරදිම දිටිමි. ... විහාර භූමිය ඉදිරියෙන් ගලා යන රිදීවන් සිසිල් දියදහර වටා ඇති වේළු (උණ) වනයෙන් ඓතිහාසික නාම සම්මුතිය තහවුරු වන අතර හඬ නඟමින් විහාරය දෙසට නැමී යන උණ පඳුරුවලින් හමන පිරිසිදු සුළඟ විහාරයට පූජෝපහාර දැක්වීම් වස් අචේතනික වස්තූන් පවා පවන් සලන ආකාරයක් විදහා පාන්නේය. ...'

හැත්තෑව දශකයේ උන් වහන්සේ දුටු ඒ වේළුවන සොබා සොඳුරු බව ඒ අයුරින් ම වසර හතළිහකට පසු එහි ගිය අපට දකින්නට ලැබුණා ද යන්න සැක සහිතය. සංවර්ධනයේ නාමයෙන් ඇති වූ බොහෝ වෙනස්කම් වේළුවනය වටා ඇති ගම්මානයටද පොදු බැවිනි. එහෙත් එහි ඓතිහාසික වටිනාකම නම් එදාටත් වඩා අද කැපී පෙනෙන බව අපට දැනිණි.

වේහැල්ලේ වේළුවනාරාමාධිපති, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හිටපු විදුහල්පති ශාස්ත්‍රපති අබේසේකරගම ගුණරතන හිමියන් පැවසූයේ පුරාවිද්‍යාස්ථානයක් බවට පත්ව ඇති බැවින් එහි තිබෙන ඇතැම් බිතුසිතුවම් ආදිය සංරක්ෂණය සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට පවා අවසර ලැබෙන තුරු සිටීම නිසා සිදු වන හානිය වැඩි බවකි. එසේම ඇතැම් බිතුසිතුවම් එහි සිත්තම් කර ඇති අරමුණ කුමක්ද යන්න ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීමකින් වටහා ගත යුතු බව පෙනී යයි.

වේහැල්ලේ පරපුරට අයත් විහාරස්ථාන සංඛ්‍යාව අතිමහත් බව අප පෙර දිනෙක සඳහන් කළෙමු. එසේම වේළුවනයට අයත් විහාරස්ථාන පිළිබඳ සැලකීමේදී ඤාණවිමල හිමියන් සඳහන් කරන ආකාරයට කැටිකැටිය විහාරය මේ වන විට අභාවයට ගොසිනි. එහෙත් ඌරුගමුවේ වෙහෙරගොඩ පුරාණ විහාරය, මාතර වේරදූවේ උඩාමුණේ පුරාණ විහාරය, කපුගම බෝමුරේ පුරාණ විහාරය, ගිරුවා පත්තුවේ බද ගලගම උණන පුරාණ විහාරය තවමත් පවතී. ගලගම විහාරයේ විශේෂත්වය වනුයේ කහකුරුලු සංදේශය කළ ගලගම සාමණේරයන් වහන්සේ විසූ ස්ථානය වීමය. වේහැල්ලේ ධම්මදින්න හිමියන් සිල්වත් සමය ගත කළ විහර අතුරින්ද එකකි මේ විහාරය. එම විහ­ාරස්ථානවලට අමතරව වේළුවනයට අයත්ව තිබූ කෙමගොඩ පුරාණ විහාරය දැන් අයත් වන්නේ අමරපුර නිකායට බවද ඤාණවිමල හිමියෝ දක්වති.

අපේ රටේ පැවැති වලව් පිළිබඳ සහ කාලයත් සමඟ සැඟව ගිය ඒවායේ රසබර මෙන්ම වටිනා තොරතුරු පාඨකයන්ට හෙළි කිරීමේ අරමුණින් වලව් සොයා යෑමට අපට මඟ පෙන්වූ අම්මඩුව කුඩාකතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතාගේ මවගේ උත්පත්තිය සිදුව ඇත්තේද බෙත්මෙ වලව්වේදීය. එහෙත් ආවාහ-විවාහවීම් සමඟ දූ-දරුවන් මහගෙවල්වලින් පිටව ගිය පසු ඒවා බොහෝ විට පාළුවට යයි.

වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ මහගෙය වූ බෙත්මෙ වලව්වේද අවසන් හිමිකාරිත්වය රජයට පැවරෙන්නේ එවැනි විසිර යෑමකිනි. අප්පුහාමි නම් වූ දෙටුපුත් මහණ දම් පුරන්නට වූයෙන් මොලමුරේ පරපුරට මුල පුරන කනිටු පුත් එහි වාසය කළේය. එසේ පැවැත ආ පරපුරේ පුරුකක් වූ බෙත්මෙ මුහන්දිරම් දොන් ජුවන් විජේසිරි ගුණතිලක වික්‍රමරත්න හාමු මහතාගේ පුත් ජෝන් හැන්රි විජේසිරි ගුණතිලක වික්‍රමරත්න හාමු සහ දෝන බර්තිනා ගුණරත්න ළමාතැනී දෙපළගේ දරුවන් වූයේ පුත් බිලී හාමු සහ දියණිය ලුසී ළමාතැනීය. බිලී හාමු කොළඹින් ගෙනා කොළඹ හාමු සමඟ වලව් වත්තේ නව නිවෙසක පදිංචි විය. ලුසී ළමා තැනී දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ අන්ද්‍රයස් කොර්නේලිස් දිශානායක මොහොට්ටි හාමු සමඟ බින්න විවාහයක් කරගනිමින් බෙත්මෙ වලව්වේ පදිංචි වූවාය. ඔවුන්ගේ දූ-දරුවන්ගෙන් බෙත්මෙ වලව්වට හිමිකම් කීවේ බැන්ටි රොබට් දිශානායක හාමුය. ඔහු ගාල්ලේ කැත්ලින් දිශානායක සමඟ විවාහ වූ පසු ගාල්ලේ පදිංචියට ගියේය. ඉන් පසු තමන්ට අයත් අක්කර හතරහමාරක පමණ චංචල නිශ්චල දේපළ රජයට පවරා දුන්නේ වැඩිහිටි නිවාසයක් වෙනුවෙනි. බැන්ටි හාමු ගාල්ලේ සිට සතියකට වරක් සියලු කෑම බීම රැගෙන වැඩිහිටියන් බලන්නට ආ බවද ඤාණවිමල හිමියන්ගේ පොතේ සඳහන් වෙයි. උන් වහන්සේ එහි වැඩි සමයේ එය වැඩි හිටි නිවාසයක් ලෙස පැවතුණද අප යන විට එහි සිටියේ විශේෂ අවශ්‍යතා සහිත එනම් ආබාධ සහිත වූ පිරිසකි. ඔවුන් රැක බලාගන්නා කණ්ඩායම අපට බොහෝ තොරතුරු ඒ නිවාසය පිළිබඳ හෙළි කළහ. ගාල්ලේ සම්බෝධි නිවාසය ලෙස පතළ ආබාධ සහිත වූවන් සඳහා වන සුරැකුම් මධ්‍යස්ථානය බැන්ටි හාමු යුවළ පදිංචිව සිටි නිවෙස බව එහිදී දැන ගන්නට ලැබිණි. වේහැල්ලේ සඟ පරපුර පිළිබඳ මෙන්ම බෙත්මෙ වලව්ව පිළිබඳ ඒ තොරතුරු රැස් කරගත් අපි කොළඹ බලා පිටත් වීමු.

පසුගිය සතියේ පළ වූ ලිපියේ ජෝජ් ටර්නර් වාර්තා අනුව ශ්‍රී පාද නායකධුරය සඳහා මල්වතු පාර්ශ්වයේ හිමිවරුන්ට කිසිදු හිමිකමක් නැත යන්න මල්වතු මහා විහාරයේ හිමිවරුන්ට කිසිදු හිමිකමක් නැත වශයෙන් නිවැරැදි විය යුතුය.

සේයාරූ - රුවන් ද සිල්වා

Comments