දේශපාලන ස්ථාවර බව ඉල්ලා මහ බැංකුව සටනේ | සිළුමිණ

දේශපාලන ස්ථාවර බව ඉල්ලා මහ බැංකුව සටනේ

 පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිඵලයත් සමඟම රට තුළ මෝදු වෙමින් පවත්නා දේශපාලන අස්ථාවර බව කෙරෙහි මේ වන විට දෙස් විදෙස් ආයෝජක ඇස යොමුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මුල්ම මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාව නිකුත් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද මේ බව අවධාරණය කරමින් සඳහන් කළේ රට තුළ පැන නගිමින් පවත්නා මෙම අස්ථාවරත්වය කඩිනම්න් යථා තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවයයි.

විශේෂයෙන් මේ මොහොතේ රටට අතයවශ්‍යව පවත්නා විදේශ සෘජු ආයෝජන ගෙන්වා ගැනිමටත් තීරණාත්මක අනෙකුත් අපනයන හා රාජ්‍ය ආදායම් ප්‍රවර්ධක ආර්ථීක, වාණිජ හා මූල්‍ය නිර්ණායක සපුරා ගැනිමටත් මෙම දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය කරුණක් වි තිබ

විශේෂයෙන් ඉදිරි වසර කිහිපයේ වාර්ෂිකව පියවිමට ඇති විදෙස් ණය කන්දරාව අභියස ගෝලිය බලගතු ආර්ථීකයන් ශක්තිමත් වෙමින් ඒවායේ විශේෂයෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ පොලි අනුපාතික ඉහළ යෑමේ වටාපිටාවක් ගොඩ නැගෙමින් පවතින වකවානුවක දේශිය වශයෙන් තවදුරටත් රජයේ අය-වැයට බර පැටවෙන මුල්‍ය ප්‍රතිපත්තියේ ලිහිල් කිරිමකට කිසිසේත්ම ඉඩ කඩ විවර වි නැති බවද මහ බැංකු අධිපතිවරයා එහිදි පවසා සිටියේය.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදි දිගින් දිගටම අවධාරණය කළේ දෙස් විදෙස් ආයෝජක විශ්වාශය ගොඩ නංවා ලිමටත් ශක්තිමත් ආර්ථීකයකට මං පාදා ගැනිමටත් වෙළෙඳපොළ හිතකාමි ස්ථාවර ආර්ථීක ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථවරත්වය සුසංයෝගි වු ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවයය

ඔහුට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ ව්‍යාපාරික විශ්වාශනියත්වය වැඩි වර්ධනය වි ඇති අතර මුදල් ප්‍රතිපත්ති විවරණයට සලකා බලන බොහෝ නිර්ණායක පසුගිය කාලයේ ක්‍රියාත්මක වු රාජ්‍ය මූලය ඒකාග්‍රතා (Fiscal Consolidation) වැඩ පිළිවෙල හා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරිමේ ක්‍රියාමාර්ග හමුවේ ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත. මේ අනුව තවදුරටත් අඛණ්ඩව මෙම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩ පිළිවෙල නිසි විනයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකුව නිර්දේශ කරයි.

කෙසේ වෙතත්, මහ බැංකුව පසුගිය වසර පුරා බලපෑ ගංවතුර උවදුරු, නියඟ, රටේ කෘෂීකාර්මික අංශයට බලපෑ අහිතකර තත්ත්වයන් හමුවේ 2017 වසරට සියයට 3.8 ක පමණ ආර්ථීක වෘර්ධි අගයක් අපේක්ෂා කරයි. නමුත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථීකයට සියයට 5.75 ක පමණ ආර්ථීක වෘද්ධි ශඛ්‍යාවක් පවතින බවයි.

ඒ අනුව ආර්ථීකයේ පවත්නා යෙදවුම් හා නිමැවුම් අතර ඇති විශාල පරතරය පියවිමේ අරමුණින් තවදුරටත් ආර්ථීක කටයුතුවලට සහණ සැලසිමේ පදනමින් මෙවර මහ බැංකු ප්‍රතිපත්තිමය පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගැනිමට තිරණය කර ඇති බව ඔහු කියා සිටියේය.

ඇමෙරිකාව, යුරෝපාකරයේ සහ ජපාන, චීන හා අසල්වැසි ඉන්දිය ආර්ථීකවල ශක්තිමත් විම් හා ඒවායේ වෙළෙඳපොළ පොලි අනුපාත ඉහළ යෑම් ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු නැගි ගෙන එන ආර්ථීකයන්හි ප්‍රාග්ධන හා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ ආයෝජන එම සංවර්ධිත ආර්ථීකවලට යාම වලක්වා ගැනිමේ අරමුණද මෙවර මුදල් ප්‍රතිපත්ති තිරණය කිරිමේදි සලකා බැලු බව මහ බැංකු අධිපතිවරයා කියයි. එමෙන්ම ගෝලිය බොරතෙල් වෙළෙඳපොළ මිළ ඉහළ යෑමේ ප්‍රණවනතාද මහ බැංකුව සැලකිල්ලට ගෙන ඇත.

මෙහිදි මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම ආර්ථීක පුරෝකතන අනුව ගෝලිය ආර්ථීකය 2017 වසරේ අපේක්ෂිත සියයට 3.8 ක අගයේ සිට මේ වසරේ සියයට 3.9 දක්වා ඉහළ යෑමට අපේක්ෂිත අතර එයට සාපේක්ෂව ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව හෙවත් එරට මහ බැංකුව මෙන්ම ඇමෙරිකානු මධ්‍යම බැංකුවද ස්වකිය ප්‍රතිපත්තිමය පොලි අනුපාත ඉහළ දැම්මේ සුදානමක මේ වන විට කටයුතු කරමින් පවතී.

මෙරට උද්ධමනයද මේ වන විට අපේක්ෂිත මට්ටමකට සමනය කරමින් පවතින අතරේ මේ වසරේ උද්ධමනය තනි ඉලක්ක මත මැදි අගයකට ස්ථාවර වනු ඇතැයි මහ බැංකුව විශ්වාශ කරයි.

පසුගිය වසර අවසන් වන විට මුදල් ප්‍රතිපත්තියේ වෙනසකට මූලික වශයෙන් සලකා බලන රටේ උද්ධමනකාරි පුළුල් මුදල් සැපයුමේ හා පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණයට අදාළ නිර්ණායකවල පැහැදිලි ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත.

2016 වසරේ වු සියයට 21.9 ක ඉහළ පුද්ගලික අංශයේ ණය වර්ධන අනුපාතය 2017 වසරේ සියයට 14.7 දක්වා මේ අනුව පහළ වැටි ඇත. (මෙහිදි 2016 වු සාමාන්‍යය සියයට 25.9 ක ණය වර්ධනයට සාපේක්ෂව 2017 දි මෙම ණය ප්‍රසාරණයේ සාමාන්‍ය වර්ධනය සියයට 18.3 ක් වි ඇත

කෘෂි, කාර්මාන්ත හා සේවා සඳහා ණය ලබා දිම් පහළ යද්දි පුද්ගලික ණය හා අත්තිකාරම් ඉහළ ගොස් තිබිණි.

මේ අනුව 2017 වසරේ රුපියල් බිලියන 617.4 කින් පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වෙත්දි 2016 දි එම අගය වුයේ රුපියල් බිලියන 754.9 කි. මේ වසරේ සියයට 13.5 ක එනම් රුපියල් බිලියන 650 ක පමණ ණය වර්ධනයක් මහ බැංකුව අපේක්ෂා කරයි.

පුළුල් මුදල් සැපයුම (M2b) තවදුරටත් පහළ යෑමේ ප්‍රවනතා පෙන්වමින් 2017 අඟ භාගයේදි සියයට 16.7 ක් දක්වා පහළ ගොස් තිබුණේ 2016 දි ව සියයට 18.4 ක ඉහළ අගයට සාපේක්ෂව ශුද්ධ විදේශ වත්කම් හා ශුද්ධ දේශීය වත්කම්වල වර්ධනයන් මෙම පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට බලපා තිබිණි. මේ අනුව ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 352.8 කින්ද ශුද්ධ දේශීය වත්කම් සමස්තය රුපියල් බිලියන 549.7 කින්ද 2017 වසරේ ඉහළ ගොස් තිබුණි.

මේ අතරේ පසුගිය අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි දෙකේ හැරෙන්නට සමස්තයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාත ඉතා විශාල වශයෙන් පහළ යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කර තිබිණි. කෙසේ වෙතත්, රටේ මෝදු වන දේශපාලන අස්ථාවරත්වය නිසා පසුගිය වාර දෙකේ භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳෙපොළ ඵලදා අනුපාත ඉහළ ගොස් තිබු බව අධිපතිවරයා පවසා සිටියේය.

පසුගිය වසර පුරා සියයට 2 කින් ඇමෙරිකානු ඩොලරයට සාපේකෂව අව ප්‍රමානය වු දේශිය රුපියලේ අගය මේ වසරේ මේ දක්වා සියයට 1.2 කින් අවප්‍රමාණය වි ඇත්තේ සඵල පලදා විනිමය අනුපාතයේ යම් නිවැරදි කිරිමක් සිදු වෙමින් බවද මහ බැංකුව කියයි. ජනවාරි අවසන වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 7.7 ක් වි ඇත.

ගෙවුණු 2017වසරේදි වාර්තාගත ඉහළම අපනයන ආදායම ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර ඒ අනුව 2017 දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.4ක් වි ඇත.

ඉහත වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 7.25 සහ සියයට 8.75යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR ) සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සියයට 7.50

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2018 අප්‍රේල් මස 04වැනි දින නිකුත් කිරීමට නියමිතය.

මුදිත ගමගේ 

අදහස්