එළුවතිව් සංවර්ධනයට පියවර රැසක් | සිළුමිණ

එළුවතිව් සංවර්ධනයට පියවර රැසක්

 ප්‍රවාහන පද්ධතිය රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් බව අපි පසුගිය සතියේ සිහිපත් කෙළෙමු. මේ ප්‍රවාහන පද්ධතිය අතර ප්‍රමුඛස්ථානයේ තිබෙන්නේ දුම්රිය හා බස් රථ සේවාවයි. එහෙත් එකම රටක වුවද ගොඩබිමින් සම්බන්ධ නොවූ දූපත් සඳහා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන්නේ දිය මත ප්‍රවාහන සේවාවයි. අපේ රටේ උතුරු කොනේ දූපත්වල දිවි ගෙවන ජනයාට වසර 30කට අධික කාලයක් තිස්සේම අරුණළු උදා වූයේ නැත. දූපත්වල සිට ගොඩබිමට ඒමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය බෝට්ටු සේවාවද නිසි පරිදි ක්‍රියාත්මක කළ නොහැකි විය. එම බෝට්ටු ඉතාම අබලන් තත්ත්වයේ ඒවා වූ අතර ගමනාගමනයද ඉතාම අන්තරාකාරී විය. එසේම හදිසි අසනීපයකදී රෝගියකු ගොඩබිමට ගෙන ඒමට පවා පහසුකම් තිබුණේ නැත. දූපත්වල සිට ගොඩබිමට එන අතර මඟදී බෝට්ටුවල දරුවන් පවා බිහිකර තිබේ.

එහෙත් දැන් ක්‍රමයෙන් මේ දූපත් ජනයාට දැන් ඒ දූපත් මානසිකත්වයෙන් මිදෙන්නට හැකියාව ලැබී ඇත.

ඒ සංවර්ධනයේ අරුණැල්ල ඒ ජනයාටද වැටී තිබීම නිසාය.

විශේෂයෙන්ම මේ දූපත් අතුරින් මුහුදු මාර්ගයෙන්ම යා යුතු අනලතිව්, ඩෙල්ප්, එළුවතිව්, හා නයනතිව් (නාගදීප) ජනතාවගෙන් බහුතරයක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ගමන් කළ අයුරු අපට හොඳින් මතකය. මෑතක් වන තුරුම මේ දූපත් 4හිම ජනතාවගේ ගමන් පහසුව එකම ආකාරයේ දුෂ්කර වූ නමුත් වන්දනාකරුවන්ගේ පැමිණීම නිසා නාගදීපයට යන ජනතාවට ප්‍රවාහන පහසුකම් එතරම් අපහසු නොවුණේ නිරතුරුවම මඟී ප්‍රවාහන බෝට්ටු ගමන් කළ නිසා මෙන්ම විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් ඒ සඳහා ගමන් කළ හැකි වූ නිසාය.

එහෙත් අනෙකුත් දූපත් සදහා යන ගමන එතරම් පහසු නොවේ. එසේ වුවත් මීට වසර 7කට 8කට පමණ පෙර තිබුණාට වඩා විශාල සංවර්ධනයක් දැන් එහි දක්නට තිබේ.

විශේෂයෙන්ම දූපත් කිහිපයකටම මගී ප්‍රවාහනයට කුඩා ප්‍රමාණයේ නෞකාවන් (මිනි ෂිප්) යොදා තිබීම මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී. නාවික හමුදාව මගින් මේ යාත්‍රා මෙහෙයුම් කටයුතු කරනු ලබන අතර කයිට්ස් ප්‍රාදේශීය සභාව විසින් අනලතිව්, හා එළුවතිව් අතර මඟී ප්‍රවාහනයට යොදා ඇති ‘එළුතාරකායි‘ නෞකාව කොළඹ ඩොක්යාඩ් ආයතනයේ නිෂ්පාදනයකි. ඒ සඳහා රුපියල් මිලියන 135ක් වැය කර ඇත.

මේ මඟී ප්‍රවාහන කුඩා නෞකාව මඟීන් වෙනුවෙන් වායු සමනය කර තිබීම විශේෂත්වයකි. කිසිදු දිනක එවන් යාත්‍රාවක් පවා නොදැක තිබූ මේ ජනතාවට ලබා දුන් මේ ප්‍රවාහන සේවාවම ඔවුන්ගේ දිවියට නව අරුතක් එක් කර ඇත්තේ අබලන් බෝට්ටුවල ගමන් කිරීමට ඇති බිය නිසා හදිසි අසනීපයකට පවා රෝහලකට යන්නට පවා බිය වූ අයට දැන් තමන්ගේ අවශ්‍යතාවන් උදෙසා ලබා දී ඇති ගමන් පහසුව නිසාය.

ප්‍රාදේශීය සභාවෙන් මේ නෞකා යාත්‍රාව සකස් කළද එය පදවාගෙන යාම ඇතුළු කටයුතු සිදු කරනු ලබන්නේ නාවික හමුදාව විසින් වන අතර එම සේවා සහාය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මේ ගමන් වාරයක් සදහා එක් අයකුගෙන් රුපියල් 35.00ක ගාස්තුවක් එක් මගියකුගෙන් ප්‍රාදේශීය සභාව විසින් අය කෙරේ.

දිනකට ගමන් වාර 4ක් කයිට්ස් කරප්පන් ජැටියේ සිට එළුවතිව් දක්වා මේ ගමන් වාර සිදු කරනු ලබන අතර ආරක්ෂාකාරී මගීන්ට පහසුවෙන් ගමන් කළ හැකි ආසනවලින් සමන්විත මගී කුටියකින් මේ නෞකාව සමන්විතය.

එසේම කරප්පන් ජැටිය දක්වා යාමට පාලම්පාරුවද මේ වන විට ක්‍රියාත්මකය. වාහන ඇතුළු සියලු බඩු බාහිරාදිය එමඟින් ප්‍රවාහනය කළ හැකි වේ.

දූපත් මානසිකත්වයෙන්ම සිටි එළුවතිව් ජනතාවගේ මීළඟ ලොකුම ගැටලුව වූයේ විදුලිය බලය ප්‍රශ්නයයි.

අන්ධකාරයේ ගිලෙමින් සිටි මේ ජනතාවට දැන් එළිය වැටී ඇත්තේ විදුලි බල මණ්ඩලය මගින් ලබා දී ඇති විදුලි බල පද්ධතිය නිසාය.

පුනර්ජනනීය බල ශක්තීන් ඔස්සේ දෙමුහුන් පද්ධතියක් ලෙස ඉඳිකර ඇති එනම් සුළං බල ශක්තිය හා, සූර්ය බල ශක්තිය හරහා එළුවතිව් ජනයාට විදුලිය බලය ලබා දී ඇත.

එසේම ඉන්ධනවලින් ක්‍රියාකරනු ලබන විදුලි බලාගාරය නිසා ඉල්ලුම වැඩි වූ අවස්ථාවලදී ගැටලුවක්ද ඇති නොවේ.

සූර්ය බල ශක්තිය හා සුළං බල ශක්තිය ප්‍රමාණවත් නොවූ විට ස්වයංක්‍රීයවම ඉන්ධන විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වේ.

පවුල් 168ක 649ක සාමාජික පිරිසක් දිවි ගෙවන මේ දූපතේ ජනතාවට දැන් දූපත් මානසිකත්වය තුළින් ඉවත්ව සිටීමට අවකාශ සැලසී ඇත.

පාලම් පාරු සේවාව මෙන්ම ප්‍රජාශාලාවක් මෙන්ම අනෙකුත් පොදු අවශ්‍යතාවන්ට මේ වන විට මූලිකත්වය ලබා දී ඇති අතර

රුපියල් 26519740 ක වියදමින් ජැටිය සහිත මාර්ගයද මේ වන විට අලුත්වැඩියා කර ඇත.

මේ ජනතාවට බල පා තිබූ තවත් බලවත්ම ගැටලුවක්ව තිබූ පානීය ජල ප්‍රශ්නයටද මේ වන විට නාවික හමුදාව හරහා ප්‍රතිආස්‍රත ජල පෙරණ පද්ධතියක් හරහා පිරිසිදු පානීය ජලය සැපයීමට කටයුතු යොදා ඇත.

දූපතේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තයට විශාල බාධාවක්ව තිබූ ඉන්දියානු ධීවර යාත්‍රා පැමිණීමද මේ වන විට සැලකිය යුතු ලෙසින් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේද නාවික හමුදා මුර යාත්‍රා මඟින් දිගින් දිගටම සිදු කරනු ලබන මෙහෙයවීම් නිසාය. මේ වන විට නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන උතුරු මුහුදේ තබා ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 200කට ආසන්නය.

මේ නිසා තම අත මිට සරු කරගෙන ධීවර කර්මාන්තයේ නියැළෙන්නට ධීවරයනට හැකියාව ලැබි ඇත. මේ ජනතාවගේ දූපත තුළ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය පා පැදිය හා යතුරු පැදියයි. යතුරු පැදි සඳහා ඉන්ධන පිරවුම්හලක් නොමැති වීම ඔවුන්ට ගැටලුවක්ව ඇති අතර ඒ සඳහාද සමුපකාර මට්ටමින් හෝ උතුරු පළාත් සභාව මඟින් අවශ්‍යතා සැපිරිය යුතු වේ.

පාසලක් ඇතත් මේ දරු දැරියන්ට ලොකුම ගැටලුව වී ඇත්තේ ක්‍රීඩා පිටියක් නොමැති වීමයි. ඒ සඳහා උතුරේ ප්‍රාදේශීය බලධාරීන්ගේ අවධානය යොමුවීමක් පෙනෙන්නට නැත. රජයෙන් මේ වන විට කළ යුතු සියලු ක්‍රියාදාමයන් සිදු කර අවසානයි. දැන් කළ යුත්තේ ප්‍රාදේශීය මට්ටමින් කළ යුතු කටයුතු සිදු කිරීමයි.

(විශේෂ ස්තුතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට)

තාරක වික්‍රමසේකර
සේයාරූ - විමල් කරුණාතිලක

Comments